ආණ්ඩුව ගේන ඡන්දදායකයන්ගේ දිවිරකින පනත! සොරි වැරදීමක්, ගව ඝාතනය වළක්වන පනත කිරි කර්මාන්තය වනසයිද?

දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නංවන්න කියලා ගේන්න යන, ඒත් ඇත්තටම දේශීය කිරි කර්මාන්තයට හෙණහුරෙක් විය හැකි ගව ඝාතනය තහනම් කරන පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා. ඒ අනුව පනත ගැසට් කරන්න නියමිතයි.

මේක ගැන ටිකක් දරුණු වචන ටිකක් ලියන්න කලින් පැහැදිලි කරන්න ඕනෑ මේක මේ මොහොතේ ගේන්නේම ඇත්ත ප්‍රශ්න අමතක කරලා අපේ රටේ සමාජ මාධ්‍යවල ඉන්න පිරිස් දෙකට බෙදිලා රණ්ඩු වෙනවා බලන්න ආණ්ඩුවට ඕනෑ නිසා. ගවමස් කර්මාන්තය හොඳයි සහ නරකයි කියලා දෙකට බෙදිලා අපි රණ්ඩුවෙන අස්සේ හෙටානිද්දා ඉන්ධන මිලත් වැඩි වේවි.

විශේෂයෙන් ලංකාවේ මුස්ලිම් සහ කතෝලික ජනතාව බහුලවත්, අපි වගේ ගොඩක් හින්දු සහ බෞද්ධ අයත් ආහාරයක් විදියට හරක් මස් වැඩිපුර පරිභෝජනය කරනවා. එවැනි අය මිලියන ගණනක් මේ රටේ ඉන්නවා. ජනගහනයෙන් සීයට 9.7ක් මුස්ලිම් ජාතිකයන්. සීයට 6.1ක් කතෝලික. මේ වැඩෙන් ඒ මිලියන ගණනක මිනිසුන්ගේ ආහාර රටාවට පහර වදිනවා. ඕක ගැන කතා කළාම මේ ආණ්ඩුවේ හරක් මීට කලින් කියා තිබුණේ හරක් මස් ඕනෑ නම් පිටරටින් ගේන්න කියලා. ඕං අප්පා ටිකිරි මොළේ.

කොහොම නමුත්, ආණ්ඩුව අටවන උගුලේ අපට යම් දුරකට පැටලෙන්නත් සිද්ධ වෙනවා. ඇත්ත ප්‍රශ්න අමතක නොකරම අපි මේ පනත ගැනත් සංවාද කරන එක වැදගත්.

අපි මීට කලින් බ්ලොග් ලිපියකිනුත් පෙන්වා දුන් පරිදි, හින්දු ආගම මත හරකුන්ට වදින ඉන්දියාව පවා ලෝකයේ ලොකුම ගවමස් අපනයනය කරන රටක්. මොකද අපි පොල්තෙල් සහ පොල් කිරි ආදිය පාවිච්චි කරනවාටත් වඩා ඉන්දියානුවන් පස්ගෝරස මත යැපෙනවා. කිරි, තෙල් ආදී බොහෝ දේ එළදෙනුන්ගෙන් ගන්නවා. අච්චර හින්දු ජාතිකවාදය අවුස්සලා බලයට ආපු නරේන්ද්‍ර මෝඩි ආණ්ඩුවවත් ගවමස් තහනම් කරන්න තරම් මෝඩ වුණේ නෑ.

ඉන්දියානුවන් වෙනුවෙන් ඔය කියන තරම් දැවැන්ත ගව නිෂ්පාදන කරන්නට නම් මහා පරිමාණයෙන් හරකුන් ඇති කරන්න සිද්ධවෙනවා. ඒ හරකුන්ගේ ප්‍රයෝජන අවසන් වූ පසු, මස්වලට යොමු කිරීම කර්මාන්තයක් විදියට ඒවා ගැන හිතනවා නම් කරන්න වෙන දෙයක්.

දැන් මෙහේ ගවයන් මැරීම තහනම් කළාට පස්සේ වයසට ගිය එළදෙනුන්ව කන්න දීලා ගෙදර තියාගන්න කියලද කිරි ගොවියන්ට කියන්නේ? කිරි ගොවියන් මේක කරන්නේ විනෝදාංශයක් විදියට කියලා හිතුවාද? නැත්නම් ඇමතිකමක් දීලා හෝ ආයතන ප්‍රධානීකමක් දීලා ඒ හරකුන්ව ආණ්ඩුව ඇතුළට ගන්න ඉන්නවද? නැත්නම් හම්බන්තොට කාල්ටන් ගෙදර හදපු මහජන දේපළවලින් ආතල් ගන්න හරක් පැටව් තුන්දෙනා කසාද බන්දපු හින්දා, ඔය හරකුන්ව එහේ මහගෙදර ගෙන්වාගන්නවාද?

අනෙක් පැත්තෙන් ලක්ෂ ගාණක් වන ගවමස් කර්මාන්තයේ යෙදුණ මිනිසුන්ට රස්සා නැති වෙන එක මරුද? දැනට ලක්ෂ ගණනක් ලංකාවේ ලෙදර් කර්මාන්තයේ යෙදෙනවා. ගවමස් කර්මාන්තයේ අතුරුඵලයක් තමයි ඔවුන්ගේ යෙදවුම වෙන්නේ.

කැබිනට් තීන්දුව තිබුණේ මෙහෙමයි.

‘දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝාතනය කිරීම තහනම් කිරීමටත්, ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම ගව ඝාතනයට අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමටත්, 2020 සැප්තැම්බර් 28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව පහත සඳහන් පනත්/ආඥාපනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත් සම්පාදනය කර ඇත.

272 අධිකාරිය වන 1893 අංක 9 දරන ගෝ ඝාතක ආඥා පනත

1958 අංක 29 දරන සත්ත්ව පනත

252 අධිකාරිය වන මහනගර සභා ආඥාපනත

255 අධිකාරිය වන නගර සභා ආඥාපනත

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත

එකී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනනුකූල නොවන බව නීතිපතිතුමා විසින් සහතික කර තිබේ. ඒ අනුව, එකී පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා සහ කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.’