ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නෑ! ඒත්! – පක්ෂයේ ලොක්කෙක් අපට කී දේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ඇමතිකම් ආදිය අතාරින්න සූදානම් නැති සමහරුන් ඉන්න නිසා ළඟදී ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් නෑලු. ඒත්, ඉදිරියේදී වෙනම ඉල්ලන්න ඉඩ තියෙනවාලු.

අන්තිමට පැවැත්වූ මධ්‍යම කාරක සභා රැස්වීම්වලදී නිශ්චිතව වෙනම ඉදිරිපත් වෙනවා කියලා තීන්දුවක් ගත්තේ නැහැලු. ඒත්, වෙනම ඉල්ලන්න අවකාශය හැදුණොත් ඒ සඳහා පසුබිම හදාගන්න ඕනෑ බව දැඩිව අදහස් ඉදිරිපත් වෙලාලු තියෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ පවත්වන පළාත් සභා මැතිවරණයේදී වෙනම තරග කරන්නට සූදානමක් තියෙනවාද? ආණ්ඩුවෙන් යනවාද? යන නිශ්චිත ප්‍රශ්න අපි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකුගෙන් විමසුව වෙලාවේ ඔහු ඔය දේවල් කීවා. ඔහු ඒ පක්ෂයේ ඉහළම තනතුරුලාභියෙක්.

සැප්තැම්බර් 15 වැනිදා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමක් තිබුණා. ඒකෙන් එළියට ඇවිත් තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍යවලට වොයිස්කට් දෙමින්, ඡන්දය පවත්වාවිද කියලත් හරියට නොදන්නා බව කීවේ.

අපිත් එක්ක කතා කරපු ජ්‍යෙෂ්ඨයා පෙන්වා දුන්නේ ශ්‍රීලනිපය ඇතුළේ ඇමතිකම් අතාරින්න කැමති නැති පිරිසක් ඉන්න බව. ඒ වගේ අය නම් වෙනම ඉල්ලනවාටත් කැමැත්තක් නොදක්වන බව.

ඒත්, ශ්‍රීලනිපයේ පහළ මට්ටමේ සාමාජිකයන්ගෙන් සහ ප්‍රාදේශීය සභාවල අයගෙන් අඩු තරමේ ඊළඟ මැතිවරණයට වෙනම ඉල්ලන්න කියලා එන බලපෑම සුළුපටු නැහැලු. ඒ නිසා අන්තිමට තිබුණු මධ්‍යම කාරක සභා රැස්වීමේදීත් දැඩිව කීවේ වෙනම ඉල්ලීමේ අවශ්‍යතාවලු. දයාසිරි ජයසේකර වැනි නායකයන් වෙනම ඉල්ලීමේ යෝජනාවට ලොකු උනන්දුවක් දක්වනවාලු. ඒ නිසාලු ඔහු වයඹ පළාත් සභාවට ඉල්ලීම ගැනත් කීවේ.

අපි එක්ක මධ්‍යම කාරක සභිකයා වැඩිදුරටත් මෙහෙම කීවා.

‘මේ ප්‍රතිපත්ති එක්ක ආණ්ඩුවේ එකට ඉන්න බැරි වෙමින් තියෙන්නේ. ආණ්ඩුවේ පිරිස් වෙනම රැස් වෙමින් ඉන්නේ.

ශ්‍රීලනිපය එක්ක අනෙකුත් පක්ෂ රැස් වෙනවා. යුගදනවි, වරාය, වෙනත් දේවල්, ගොඩනැගිලි බදු දෙනවා. මේවාට විරුද්ධව උද්ඝෝෂණ. විරෝධතා. ඉල්ලීම්. මූලික සාකච්ඡා. යෑමේ සීමාවක් තියෙනවා. ඒවා තුළ කොහොමද නිර්මාණය වෙන්නේ. ඒවා එක්ක ඉන්න කැමති අය ඉන්නවා. යන්න බෑ කියන අය ගැළවිලා යන්න පටන් ගනීවි. දේශපාලන වාතාවරණය විසින් රෝඩ් මැප් එක නිර්මාණය කරනවා.

දැනුවත් කිරීමේ වැඩසටහන්, කතිකාවක්, වැරදි කරපු අය එළිදරව් වෙන්න ගන්නවා. අද වෙන්න ඕනෑ මේක.

දැනුවත් කිරීමේ එකක්. අනුබද්ධ සංවිධාන රටේ ප්‍රශ්න මතු කරනවා. ශිෂ්‍ය හා වෘත්තිය කණ්ඩායම්. උත්තර දෙනවා. විශාල දේශපාලන පෙළගැස්මකට සමාජය තල්ලු කරනවා.

දේශපාලන පක්ෂ ඇතුළේ වරප්‍රසාද වෙනුවෙන් ඉන්න පුළුවන්. ඒක අපටත් පොදුයි. හැම පක්ෂයකම ඉන්නවා. මේක තුලනය කිරීම තමයි දේශපාලන මණ්ඩලවලදී කෙරෙන්නේ.’