ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සහ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ අත්සන් කරමින් ගුරු-විදුහල්පති වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය නිවේදනයක් නිකුත් කරලා. ඒකෙන් ඉදිරියේදී ගන්න පියවර පැහැදිලි කරලා තියෙනවා.
සිසුන් 200ට අඩු ඉස්කෝල 21 වැනිදා විවෘත කරනවානේ. ඒත්, එදාට පාසල් නොගොස් වර්ජනය කරන්න ගුරුවරුන් තීන්දු කරලා. ඒත්, අඛණ්ඩ වැඩ වර්ජනය 25 වැනිදා අවසන් කරමින් පාසල් යන්න ඔවුන් තීන්දු කරලා. ඒ කියන්නේ ගුරුවරුන් ඉස්කෝල යනවා.
කෙහොම නමුත් මෑත දේශපාලන ඉතිහාසයේ ‘උං දෙන දෙයක් කාලා වෙන දෙයක් බලං ඉන්න’ චින්තනයට අනුගත නොවූ ගුරුවරුන්ගේ සටන අවසන් නැහැ. ඔවුන් 25 වැනිදායින් පස්සේ පාසල්වල මාපියන් පවා එකතු කරගෙන පුළුල් විරෝධතා මාලාවක් දියත් කරනවා.
ඇත්තටම මේ ගුරුවරුන් නේද කියා අපට වැටහෙන්නේ මෙවන් තීන්දුවලදී. ඔවුන් වසංගතය මැද වුණත් තමන්ගේ අයිතීන් වෙනුවෙන් නිර්භීතව සටන් කළා. ඒත්, වසංගතය වැඩිවෙද්දී වගකීම් සහගතව ඒවා නැවැත්වුවා. ඉන්පසු කොහේටත් නැති ඔන්ලයින් අධ්‍යාපනය මැද තමන්ගේ වර්ජන ව්‍යාපෘතිය කරගෙන ගියා. මොකද, ඔන්ලයින් ඉගැන්වීම් කරනවා කීවත් ඇත්තටම එහෙම එකක් සිදු වුණේ නෑ. ඒක බොරු රංගනයක් වෙලයි තිබුණේ. ගුරු සංගම් දිගටම පෙන්වුවා දැනට ආණ්ඩුව ගෙනියන ක්‍රමවේදය අකාර්යක්ෂම බව.
ඒත්, පාසල් විවෘත කරද්දී ගුරුවරුන් විදියට වගකීම් සහගත වෙමින් ඔවුන් 25 වැනිදා පාසල් යනවා. එතකොට ගුරුවරුන්ගේ නම්බුනාම කැත කරන්න ආණ්ඩුව ගන්න උත්සාහය අසාර්ථක වේවි.
ගුරු සංගම් නිවේදනය පහතින්,
‘2021.10.21 සහ 22 දිනයන්හි ගුරු විදුහල්පතිවරු වැඩවර්ජනය ස්ථිරයි
වසර 24 ක් තිස්සේ පවතින ගුරු-විදුහල්පති සේවාවල වැටුප් විෂමතා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස්කරන ලද ‘සුබෝධනී’ වාර්තාව මත පදනම්ව ඉවත් කරන ලෙස ඉල්ලමින් සියලූ ගුරු විදුහල්පතිවරු මේ වන විටත් වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරතව සිටින අතර, ඊළග කි‍්‍රයාමාර්ගය ලෙස 2021.10.21 සහ 22 දිනයන්හි ගුරු විදුහල්පතිවරු පාසල්වල සේවයට වාර්තා නොකර වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
මාස 3 කට වැඩි කාලයක් අඛණ්ඩව වෘත්තීය කි‍්‍රයාමාර්ග පෙරට ගෙන එමින් තිබියදී ගුරු විදුහල්පති වැටුප් ගැටලූවලට විසඳුම් ලබා නොදී කෝවිඞ් 19 වසංගත තත්වය මත වසා දමා ඇති පාසල් අදියර වශයෙන් නැවත විවෘත කිරීමටත්, පළමු අදියර ලෙස සිසුන් 200 ට අඩු පාසල් 2021.10.21 දින විවෘත කිරීමටත් ආණ්ඩුව තීරණය කර ඇත. එම තීරණයට අනුව කටයුතු නොකර සිසුන් 200 ට අඩු පාසල්වල විදුහල්පතිවරු සහ ගුරුවරු 21 දින සහ 22 දින පාසල්වල සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර ඇත.
අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් යෝජනා කර ඇති, 2018 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවකට පැවති වැටුප් කොමිසමට ලබාදුන් වාර්තාවේ ඇතුළත් වැටුප කොටස් 3 ක් යටතේ 2022 සහ 2023 වසර වල ලබාදෙන බව ප්‍රකාශ කර ඇත. එම වැටුප කොටස් වශයෙන් නොව සුභෝධනී වැටුප් යෝජනාවේ පළමු අදියර ලෙස එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් අපගේ වෘත්තීය කි‍්‍රයාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතර, නොවැම්බර් 12 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් එම වැටුප ලබා දීමට බල කරමින් පහත වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරත වීමට අප තීරණය කර ඇත.
ඒ අනුව,
2021.10.21 දින සහ 22 දින ආරම්භ කරන පාසල්වල ගුරු විදුහල්පතිවරු පාසල්වල රාජකාරියට වාර්තා නොකර වැඩවර්ජනයේ නිරත වීම.
2021.10.25 දින පාසල් ආරම්භ කිරීමෙන් පසු ගුරු විදුහල්පතිවරු දිවයින පුරා උද්ඝෝෂණවල නිතර වීම
2021.11.02 දින ආරම්භ කළ පාසල් ඉදිරිපිට දෙමාපියන් සමග ඒකාබද්ධ උද්ඝෝෂණයක නිරත වීම
ආණ්ඩුව දිගින් දිගටම ගුරු විදුහල්පති වැටුප් ගැටලූවට පිළිගත හැකි විසඳුමක් ලබා නොදෙමින් පාසල් ආරම්භ කිරීමටත්, ආණ්ඩුවේ විවිධ පාර්ශව ලවා ගුරු විදුහල්පතිවරු මර්දනය කිරීමට කටයුතු කිරීමත් හැර වසර 2 කට ආසන්න කාලයක් අහිමිව ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යාමට කටයුතු කර නැත. මේ තත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමු කර ගුරු විදුහල්පතිවරු ඔක්තෝම්බර් 25 දින පළමු අදියරේ ආරම්භ වන පාසල් වල සේවයට වාර්තා කරන අතර, පාසල් තුළ සිටිමින් වැටුප් ගැටලූවට විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වෘත්තීය කි‍්‍රයාමාර්ග පෙරට ගෙන යන බව ප්‍රකාශ කර සිටිමු. 21 දින ආරම්භ වන්නේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සිසුන් 200 ට අඩු පාසල් 3000 ක පමණ ප්‍රමාණයක ප්‍රාථමික ශ්‍රේණි පමණක් වන අතර, ගැටලූවට විසඳුම් ලබා නොදෙන්නේ නම් සියලූ පාසල් ආරම්භ කිරීමෙන් පසු වැඩවර්ජන කි‍්‍රයාමාර්ගවල නිරත වන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිමු.
මෙයට
ජෝසප් ස්ටාලින්
මහින්ද ජයසිංහ’