දහම් පොළොන්නරුවේ ශ්‍රීලනිප රැස්වීම්වල මුලසුනේ! මහඇමතිකමට ඉල්ලයිද? (Photos)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරු දිස්ත්‍රික් රැස්වීම් කිහිපයකට මෑත දවස්වල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන සහභාගී වී සිටිනු දක්නට ලැබුණේ 2015 ජනාධිපතිවරණයේදී ඔහු පරදවනවායැයි කියූ පවුල් පාලනය නම් ‘මකරා’ බවට ඔහුත් පත්ව සිටින බව තවදුරටත් තහවුරු කරමින්.

ඔහු ශ්‍රීලනිප පොළොන්නරු දිස්ත්‍රික් තරුණ පෙරමුණේ සභාපති වුණාලු. ඒක වුණේ මෙහෙමයි.

ඔක්තෝබර් 17 වැනිදා පොළොන්නරුවේදී තරුණ පෙරමුණ සහ කාන්තා පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනකට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සහභාගී වුණා. ඔහුත් එක්ක පුත් දහම් සිරිසේනත් සහභාගී වෙලා තිබුණා.

ඊටත් කලින් ඔක්තෝබර් 16 වැනිදා මින්නේරියේ තිබුණ රැස්වීමේ මුලසුනේ හිටියේත් දහම් සිරිසේන. ඔහු ප්‍රධාන කථිකයෙක් විදියට කතාවකුත් පවත්වලා තිබුණා.

මේ වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම මැතිවරණවලට ඉදිරිපත් වෙන්න සූදානම් වෙමින් විවිධාකාර සංවිධාන කටයුතු කරනවා. ඒ අතර තරුණ, කාන්තා වගේම වෘත්තිය සමිති සංවිධාන ආපහු පිහිටුවලා කට්ටිය එකතු කරගැනීමේ වැඩසටහන විශේෂයි. ‘විසඳුමකට ජවයක්, නව ඇරඹුමකට සවියක්’ කියන ඔය වැඩසටහනේ තේමා පාඨයෙන්ම පේන්න තියෙනවා මෙදා පාර අලුත්  ආරම්භයක් ගන්න එයාලා උත්සාහ කරන බව.

අන්තිම මොහොතේ කටුවට රිංගාගෙන පොහොට්ටුවේ අයිතිකාර පවුලේ හාමු මහත්තුරුන්ගේ දෙපා මුල වැටුණේ නැත්නම්, ඒ ඒ දිස්ත්‍රික්වල නායකයන් තමයි ඔය වැඩසටහන් සංවිධානය කරමින් ඉන්නේ ලොකු පෙරළියකට තමයි.

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී හැම පළාතටම වාගේ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වෙලා තරග කරන්න ඉන්නවාලු. එහෙම පසුබිමක ශ්‍රීලනිපයෙනුත් ප්‍රබල අපේක්ෂකයන් ඉදිරිපත් කරන්න සිදුවේවි.

හිටපු මෛත්‍රී හිතවතෙක් වෙච්ච උතුරමැද පළාත් හිටපු ආණ්ඩුකාර පේෂල පවා දැන් ඉන්නේ චන්ද්‍රිකා පිළේ. ඉතින්, ශ්‍රීලනිපය පැත්තෙන් බැලුවොත් දහම් සිරිසේන ඊළඟ මහඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ ඉඩක් තියෙනවා. හැබැයි මේ දහම් මහඇමතිකමට ඉල්ලන කතන්දරේ කරුණක් විදියට අපට කවුරුත් තහවුරු කරපු දෙයක් නෙවෙයි. හුදෙක් අනුමාන පළ කිරීමක් විතරයි. එහෙම වුණොත් පුදුම වෙන්න දෙයක් නම් නෑ.

යෝෂිත වයඹට ඉල්ලන්න ඉඩක් තියෙන බව අපේ ඔලුගෙඩිවල වැඩ කරලා සතියක් යද්දී දහම් සිරිසේන ඉල්ලන බව හැඟෙද්දී හරිම උත්ප්‍රාසජනකයි.

මකරාක්ෂයා කතාවේ මූලික ප්ලොට් එක තමයි යම් ප්‍රදේශයකට හානි කරමින්, මිනිසුන් පීඩාවට පත් කරමින් ඉන්න මකරෙක් පරද්දන්න කියලා වීරයෙක් ඉදිරිපත් වීම. ඒ මකරා පරදවන වීරයා අන්තිමේ මකරා බවට පත් වෙනවා. මේක ලෝක දේශපාලනයේ පීඩාකාරී පාලකයන් එළවන්නට ඉදිරිපත්වෙන ගොඩක් වීරයන් ගැන කතා කරන්න පාවිච්චි කරන ප්‍රකට සංකේතාත්මක කතාවක්.

මකරා එළවන්න එන කෙනා මකරා බවට පත් වීම.

අන්තිමේ ගත්තාම 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විරුද්ධ වූ හැමදෙයක්ම බවට ඔහු පත්වෙලා. ඔහු දූෂිතයන් රකින කුහකයෙක් බව ගිං-නිල්වලා කොමිස් කාක්කන්ගේ නම් හංගාගැනීමෙන් පෙනුණා. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීම දක්වා ඔහුගේ අකාර්යක්ෂමතාවත්, කුහකකමත් පෙන්නුවා. පටු අරමුණුවලට තනතුරේ බලය පාවිච්චි කළා. දූෂණ වංචා චෝදනාවලට පවා මුහුණදෙමින් ඔහුගේම කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් චෝදනාවලට අහු වුණා. ශ්‍රීලනිපය නම් වූ දේශපාලන පක්ෂය තමන්ගේ පටු අරමුණුවලට පාවිච්චි කළා.

අන්තිමේ පවුල් පාලනය විවේචනය කළ ඔහු, තමන්ගේ පුතාව දේශපාලනයට ගෙන ඒමෙන් නාමල් රාජපක්ෂ කළ දේ යළිත් සිදු කරන බව පෙනුණා.

මින්නේරියේදී
පොළොන්නරුවේදී