බිලියන ගාණක ව්‍යාපෘතියක අමුතු සෙල්ලමක් ගැන චමල්ගේ අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කරලා

ආසියානු සංවර්ධන බැංකුවේ ණයක් ලබාගෙන සිදුකරන, මොරගහකන්ද ජලාශය සහ මහකනදරා වැව යා කරන උමඟක් ඇතුළත් වාරිමාර්ග ව්‍යාපෘතියක සැකසහිත තැන් පිළිබඳව රාජපක්ෂ පවුලේ ලොකු අයියා වන චමල් රාජපක්ෂ මහතාට අයත් වාරිමාර්ග අමාත්‍යාංශයෙන් රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරලා.

මේ ව්‍යාපෘතිය චීන කම්පැණියකින් තමයි කරන්නේ.

දිවයින සහ සන්ඩේ ටයිම්ස් පුවත්පත් මෙම සිදුවීම වාර්තා කරලා තිබුණා.

මේ කියන ප්‍රශ්න කිරීමට ලක් වූ උමඟ ලංකාවේ දිගම උමඟ වීමට නියමිතයිලු. උමං ව්‍යාපෘතියට අදාල නියමිත ක්‍රමවේදවලට පිටින් කටයුතු කිරීම පිළිබඳ තමයි විමසීම කරලා තිබුණේ. රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව උක්ත ප්‍රශ්න කිරීම කරලා තිබුණේ වාරිමාර්ග අමාත්‍යාංශය වෙතින්.

ව්‍යාපෘතිය දැනට තියෙන නීතියට අනුව දාපු ‘තාක්ෂණික ඇගයීම් කමිටුව’ ලවා පරීක්ෂා කරමින් ඒ උපදෙස් අනුව ණය ලබා නොගෙන, මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වෙනම ‘විශේෂ තාක්ෂණ ඇගයීම් කමිටුවක්’ දැම්මේ ඇයිද කියලා තමයි විමසලා තිබුණේ.

කතාව පැහැදිලි කරන්න කලින් අපි තේරුම් ගන්න ඕනෑ. මේ වගේ ව්‍යාපෘති ගැන තීන්දු ගනිද්දී කැබිනට් මණ්ඩලය පත් කරන ප්‍රසම්පාදන කමිටු සහ ගිවිසුම් පිලිබඳ සංවාද කිරීම සඳහා කමිටු තියෙනවා. ව්‍යාපෘති වෙනුවෙන් ඒවා වෙනම පත් කරන්නත් පුළුවන්. නැත්නම් කැබිනට් මණ්ඩලය පත් කරපු ‘ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවත්’ තියෙනවා. ඔය කට්ටිය තමයි මහජන මුදල් වියදම් කිරීම ගැන සාකච්ඡා කරලා තීන්දු ගන්නේ. දේශපාලනයේදී දූෂණය වළක්වන්නයි ඔහොම අය පත් කරන්නේ.

හැබැයි රජයේ මුදල් ගැන තීන්දු ගන්නට ඉන්න ඔය උදවිය අදාල ව්‍යාපෘතියට අදාල ක්ෂේත්‍රයේ විශේෂඥයෝ නෙවෙයිනේ. ඒ නිසා ප්‍රසම්පාදන කමිටුව ඒ හැරුණාම මේවාට තාක්ෂණික ඇගයීම් කමිටු දානවා. උදාහරණයකට ව්‍යාපෘතිය වාරිමාර්ග එකක් නම්, ඔය ප්‍රසම්පාදන කමිටුවේ අය වාරිමාර්ග ඉංජිනේරු විෂය දන්නේ නෑනේ. ඒ නිසා විෂය දන්නඅය ඇතුළත් ‘තාක්ෂණික ඇගයීම් කමිටුවක්’ දානවා. එයාලාගේ නිර්දේශ අනුව තමයි අර සල්ලි වියදම් කරන හැටි, ණය ගන්න හැටි තීන්දු කරන ප්‍රසම්පාදන කමිටුව කටයුතු කරන්නේ. ඔය ඔක්කොම නිර්දේශ එක්ක තමයි කැබිනට් මණ්ඩලය කටයුතු කරන්නේ.

මේ ප්‍රවෘත්තියේ සඳහන් විමසීම කරන්න හේතු වෙලා තිබුණේ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක අලුතින් විශේෂ තාක්ෂණ ඇගයීම් කමිටුවක් දාන්නද කියා අවසර ඉල්ලීමෙන් පස්සේ. මේකට ප්‍රතිචාර විදියට රාජ්‍ය ගිණුම් අධ්‍යක්ෂ නරාල් ජේ.සී. වැලිගමගේ පිළිතුරු දීලා තිබුණේ 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පදනම් කරගෙන. ඒ මාර්ගෝපදේශ අනුව කැබිනට් මණ්ඩලය පත් කරපු ප්‍රසම්පාදන කමිටුවකට අයිතිය ලැබෙන්නේ නිත්‍යානුකූලව පත් කරපු තාක්ෂණ ඇගයීම් කමිටුවේ නිර්දේශ අනුව තීන්දු ගන්න.

ඒත්, දැන් මේ ඉල්ලලා තියෙන්නේ නිත්‍යානුකූලව පත් කරපු තාක්ෂණ ඇගයීම් කමිටුවට පිටින්, අමුතු එකක් පත් කරන්න.

ඉතින්, රාජ්‍ය ගිණුම් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උත්තරයෙන් පොදුවේ කියලා තියෙන්නේ ‘එහෙම පත් කරන්න බැහැ’ කියන එක තමා.

මේ කියන තාක්ෂණ ඇගයීම් කමිටුව එකපාරම එපා වෙන්නට හේතුව මොකක්ද? අමුතු ඒවා පත් කොරන්න හේතුව මොකක්ද? අන්න ඒක තමයි අප්පා ප්‍රශ්නය.

මීට කලින් තාක්ෂණ ඇගයීම් කමිටුව, කැබිනෙට්ටුවෙන් පත් කරපු ප්‍රසම්පාදන කමිටුවට යැව්වා නිර්දේශයක්. ඒ ඇවිල්ලා ව්‍යාපෘතියේ මිල ගණන්වලට වෙනස් කරන්න ගත්තු උත්සාහයකට එරෙහිව, ඒ මිල ගණන් වෙනස් කිරීම ගැන සැක මතු කරමින් දුන්න නිර්දේශයක්.

ඒ කියන්නේ මෙහෙමයි.

මේ ව්‍යාපෘතිය සඳහා දැනට නියම කරලා තියෙන ඩොලර් මිලියන 243ක මුදලට අමතරව, ‘විචල්‍යයක්’ කියලා සඳහන් කරමින් ඩොලර් මිලියන 35ක් වැඩි කරලා.

ඒ කියන්නේ ඩොලර් එක රුපියල් 200ට හැදුවොත් දැනට නියමිත රුපියල් මිලියන 48,600 ක් වන මිලට වඩා, තවත් රුපියල් මිලියන 7000ක් වැඩි කරලා. සෙල්ලම් නෑ. බිලියන 7ක්ම ‘විචල්‍යයක්’ කියලා වැඩි කරලා.

ඉතින් මේ කියන වැඩි කිරීම ‘බරපතල සංකා’ මතු කරන බව තමයි තාක්ෂණ ඇගයීම් කමිටුව කියලා තිබුණේ. මේක අක්‍රමිකතා සහ වියදම පිළිබඳ සැක සංකා මතු කරන තත්වයක් කියලා එයාලාගේ නිර්දේශවලට විශේෂයෙන් සදහන් කරලා තිබුණාලු.

ඉතින්, ඔහොම වාත වෙන්න ගියාම ඒ කමිටුව එපා වෙනවා නොවැ. වාත නොවෙන අලුත් එකක් පත් කරගන්නම වෙනවා නොවැ.

චමල් මහත්තයායි චීන කම්පැණියි අතර සම්බන්ධතා අපට එච්චර විශ්වාස නෑ. අපට මතකයි ගිං-නිල්වලා සැකසහිත ව්‍යාපෘතියේත් ආරම්භක චරිතය වුණේ ඔබතුමා බව. මුලින්ම අන්දොස් ගිවිසුමක් ගැහුවේ චමල් ඇමතිවරයාගේ කාලේ.

මොකක්ද අප්පා මේ ව්‍යාපෘතිය කියලා කෙනෙක් විමසාවි. මේ වගේ ව්‍යාපෘතිවලට එක එක ආණ්ඩු තමන්ගේ නම් දානවා, ලේබල් ගහනවා. ඉතින් සාමාන්‍ය අයට තියා, ඔය ව්‍යාපෘති ගැන ඇහැ ගහගෙන ඉන්න අපි වගේ අයට පවා ඔය නම් ගම් සහ ලේබල් මතක තියාගන්නත් අමාරුයි.

මේ ව්‍යාපෘතියත් විවිධාකාර ලේබල් තියෙනවා. එක් පැත්තකින් මේක ‘මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය’ හෙවත් ඔරිජිනල් මහවැලියේ හයවැනි අදියරේ කෑල්ලක්.ඒක නම් කරලා තිබුණේ ‘උතුරු මැද පළාත් ඇළ ව්‍යාපෘතිය’ කියලා. 

අනෙක් පැත්තෙන් මේක ඇතුළු තවත් උප ව්‍යාපෘති ගොඩක් ‘මහවැලි ජල සුරක්ෂිතතා හා ආයෝජන වැඩසටහන’ කියන පුළුල් ව්‍යාපෘති නාමය යටතේ ‘උතුරු පළාත් ඇළ ව්‍යාපෘතිය’ කියන නමෙන්ම මෑත කාලයේ ලේබල් වෙලා තිබුණා. මේවා පරණ ව්‍යාපෘති වුණාට ගෝඨාභය රාජපක්ෂ මහතා එද්දී ‘සෞභාග්‍යයේ දැක්ම’ කියලා අලුත් බ්‍රෑන්ඩ් නේම් එකක් ගෙනාවානේ. ඒ යටතේ මේක ‘වාරි සෞභාග්‍යා’ යටතේ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් කියලත් දැන් ලේබල් කරනවා.

ඔය උතුරු පළාත් ඇළ ව්‍යාපෘතිය කියන එක යටතේත් තියෙනවා උතුරු ඇළහැර ඇළ ව්‍යාපෘතිය කියලා එකක්. හරියටම කීවොත් උමඟ අයිති වෙන්නේ ඔන්න ඔය කොටසට.

ඉතින්, පහුගිය කාලයක් තිස්සේ ඔය ලේබල් යටතේ දිගම දිග උමගක් ගැන ප්‍රවෘත්ති හෝ විශේෂාංග වැඩසටහන් මොනවාහරි දැක්කා නම්, ඔන්න මේ තමයි බඩු. මොන ලේබල් එක ගැහුවත් දැවැන්ත ණය ලබාගනිමින් සිදු කරන ලංකාවේ දැවැන්තම ව්‍යාපෘතියක් මේක.

‍චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත 2020 දෙසැම්බරයේ මේ ව්‍යාපෘතිය ලබා දී තිබුණා. ඒ අඩුම මිලගණන් ඉදිරිපත් කරපු සමාගම විදියට. හැබැයි අඩුම මිල ගණන් දාපු අය කියලා එයාලාව තෝරාගෙන, ඊට පස්සේ ‘විචල්‍යයන්’ කියලා ව්‍යාපෘතියේ ගාණ වැඩි කරගැනීම කැත වැඩ නේද අප්පා??

අවුරුදු හයක් තුළ 2027 මාර්තු වෙද්දී උමඟ හාරන සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත බව කීවා. මේ උමඟට දෙපැත්තෙන් තියෙන කිලෝමීටර් හැට ගාණක විතර ඇළ මාර්ගය ඊටත් කලින්, ඒ කියන්නේ 2025 වෙද්දී ඉවර කරන්න නියමිත බව කීවා.