විමල් පිළ ආණ්ඩුවෙන් යනවාද? කැබිනට් ඇමති අපට කීව කතාව

‘අයවැයත්, ඉදිරියේදී අපට දක්වන සැලකිල්ලත් මත තමයි මේ ආණ්ඩුව එක්ක එකමුතුව ඉන්නවාද, නැද්ද කියන  තීන්දු වෙන්නේ.’ යනුවෙන් අපිත් එක්ක කීවේ ආණ්ඩුවේ සාමාජික දේශපාලන පක්ෂ නායකයෙක් වගේම කැබිනට් ඇමතිවරයෙක්.

අපි ඔහුගෙන් නිශ්චිතව ඇහුවා, තවදුරටත් ආණ්ඩුවත් එක්ක ඉන්නවාද? වෙනත් තීන්දුවක් ගන්නවාද? යන පැනය. ඔහු ඒකට ඍජු උත්තරයක් දුන්නේ නෑ. ඒ වෙනුවට ඔහු දැන් පවතින ප්‍රවණතා කිහිපයක් ගැන කතා කළා.

මේ පක්ෂ නායක, කැබිනට් ඇමතිවරයා වැඩිදුරටත් කී දේවල් මෙහෙමයි.

‘මේ වෙද්දී පළාත් සභා ඡන්දය ස්ථීරයි.

සන්ධානයක් හැදේවිද?

පළාත් සභා ඡන්දය එද්දී වෙනම සන්ධානයකින් ඉදිරිපත් වෙනවාද, නැද්ද කියන එක පවා තියෙන්නේ නැවත ලොකු පක්ෂ ගන්න තීරණය කියන එක උඩ. එයාලා අපව අකොමඩේට් කරනවා නම් අපට පුළුවනි නිතරඟ තත්වයකට එන්න. අකමොඩේට් නොකරනවා නම් නිතරඟ තත්වයක් ඉතිරි වෙන්නේ නෑ.

රජයේ තීන්දු ගැනීමේ පැත්තෙන් සහ සන්ධානයක් ගොඩනැගීම පැත්තෙන් අපිව බාරගැනීමේ ක්‍රියාවලියකට යොමු වෙන්න ඕනෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ අදහස් එක්ක මේ වෙද්දී සමීප වෙමින් ඉන්නේ.

සාකච්ඡාවක් ඉල්ලීම

පාර්ලිමේන්තුව රැස් වෙන පළවැනි අඟහරුවාදා හැන්දෑවේ අපේ පක්ෂ සති පතා රැස් වෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවේ තීන්දු තීරණ ගැනීම සඳහා නිතර පවත්වන සාකච්ඡාවක්. සතිපතා හෝ සති දෙකකට වතාවක්.

අපි මීට කලින් කිහිප වතාවක් ඒ ඉල්ලීම කරලා තියෙනවා. මෑත කාලයේ කැබිනට් සාකච්ඡාවලදීත් ආණ්ඩුවේ නායකයන්ගේ රැස්වීමක් අපි ඉල්ලලා තියෙනවා.

ඒ ඉල්ලීමට උත්තර දුන්නානේ ජනාධිපතිතුමා.

ජනාධිපතිගේ ප්‍රතිචාරය

ජනාධිපතිතුමා කිව්වා මම දේශපාලන එක්කෙනෙක් නෙවෙයි කියලා. (සිනහසෙයි) මම වෙන විදියේ එක්කෙනෙක්නේ කියලා කිව්වා. අර විශේෂ කැබිනට් රැස්වීමේදී. (ඔක්තෝබර් 7 බ්‍රහස්පතින්දා පැවැත්වූ.)

ඒකට ප්‍රතිචාර විදියට තමයි කීවේ තමන්ට දේශපාලන අත්දැකීම් අඩුයි, මහින්දට තමයි ඕක පුළුවන් කියලා. මහින්ද එක්ක කරන්න වාගේ එකක් කිව්වා. ඒත්, ඒක වුණත් පැහැදිලිව කීවේ නෑ. තමන් දේශපාලනය කරන්නේ නෑ කියන එක තමයි අවධාරණය කරලා කීවේ.

ජනාධිපතිවරයාගේ අරමුණ බව පේන්නේ තමන්ගේම දර්ශනයක් උඩ, එයා පිළිගන්නා වූ ක්‍රම අනුව, එයාගේ වටිනාකම් අනුව එයා කටයුතු කරන පාලනයක් ගැන තමයි හැඟෙව්වේ.

අයවැය

අයවැයේදී අපි බලාපොරොත්තු වෙන දේවල් කිහිපයක් තියෙනවා. මේ වෙද්දී අඩු ආදායම්ලාභීන් නැහිලා. ඔවුන් සම්පූර්ණයෙන්ම විනාසයි. ජීවිත අර්බුදයක්. ඉතින්, උත්තරය හැටියට තියෙන්නේ අඩු ආදායම්ලාභීන්ට සහන මිලකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දෙන්න. ආණ්ඩුව සතු වගකීම තමයි ව්‍යාපාරිකයන්ට සීමා දැමීම වෙනුවට අසීරුකම් තියෙන අයට සේවා සැපයීම. ව්‍යාපාරිකයන් කරන දේවල් අපට වැඩක් නෑනේ. මේ මිනිසුන්ගේ දුක බලන්න විතරයිනේ අපට තියෙන්නේ.

අපි කැබිනට් මණ්ඩලයේදීත් ඒ ගැන කතා කළා. ඒ ඔක්කෝම අයවැය පැත්තට හැරවුණා. අයවැයේදී ඒවාට වුවමනා තීරණ ලැබෙයි වගේ කීවේ. ඒ අනුව අපි අයවැයේදී කුමක් සිදුවේද කියා බලා ඉන්නවා.

බලාගාරය ගැන සාකච්ඡා නෑ

කෙළවරපිටිය බලාගාරය ගැන වෙනසක් වෙන්න සිද්ධවේවි කියලයි හිතන්නේ. ස්ට්‍රයික් එකක් එයි. ඔය ගිවිසුම උඩ නම් යන්න බැහැ. අපේ ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ තියෙනවා අපි පටන් ගන්න පළවැනි ගෑස් බලාගාරය රජය සතු විය යුතු බව. තවමත් ඒ ගැන අලුත් ප්‍රතිචාරයක් නම් නැහැ. දේශපාලන සාකච්ඡාවක් ඉල්ලුවේ ඔය කරුණු කාරණා ඉතා පැහැදිලිව පෙළගස්වන්න.

ඕවායේ තියෙන විශාල අවාසි. අපේ ස්වෛරීභාවයට තියෙන අරමුණ. ඒවා මොනවාට පටහැණිද. ඒවායේ අලාභය ආදිය තමයි අපි ලියුමක ලියලා දුන්නේ. ඒකට තවම ප්‍රතිචාරයක් නෑ. මම දන්න හැටියට නෑ.’

ඔය තමයි කැබිනට් ඇමතිවරයාගේ අදහස්.

මේ බලාගාරයේ කේස් එක ගැන පහුගිය සතියේදී ටිරාන් අලස් මහතාගේ ගෙදරදී ඔය පක්ෂ දහයේ නායකයන් අතර සාකච්ඡාවකුත් තිබුණේ ඔය අස්සේ. ජනාධිපතිවරයාගෙන් ප්‍රතිචාරයක් නැතිකම ගැන තමයි ඒකෙදීත් කතා කරලා තිබුණේ. මේකට අමතරව කාබනික ගොවිතැන් ප්‍රොජෙක්ට් එකත් හරියන්නේ නෑ, ඒකට විරුද්ධ වෙන්න ඕනෑ කියලා එතැනදී කතා කරලා තිබුණා.

ඔබ දකින්න ඇති විමල් වීරවංශ මහතා කරපු කතාවකදීත් මේ කාරණා ගැන කීවා. ඊට අමතරව උදය ගම්මන්පිළ අමාත්‍යවරයා ‘එළියට බහින්න සූදානම්’ බව හැඟවෙන ප්‍රකාශයකුත් කළා. ශ්‍රීලනිපයේ නායකයන් දැන් පොහොර ප්‍රශ්නය ආදිය විසඳිය යුතු බව කියන්න පටන් අරන්. පොහොර ප්‍රශ්නය, බඩු මිල, යුගදනවි කියන ප්‍රධාන සිදුවීම් තුන අල්ලාගෙන අලුත් දේශපාලන ව්‍යාපාරය පත්තු වීමේ ලොකු ඉඩක් තියෙනවා. ඒත් අනාගතය අපැහැදිලියි. සියල්ල තීන්දු වෙන්නේ නුදුරු දේශපාලන සිදුවීම් අනුවයි.