මෑත වසර ගණනාවක් තිස්සේ ලංකාවෙන් කෝටි ගණනක ධීවර සම්පත් කොල්ලකමින්, අනාගතයේ අපට පාවිච්චි කරන්න තිබූ ධීවර සම්පත් විශාල ප්‍රමාණයක් විනාශ කරමින් ඉන්දියානු ධීවරයන් කරන මංකොල්ලය නවත්වන්න අසමත් වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට විරුද්ධව දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ පිරිසක් බෝට්ටු විරෝධයක් දියත් කරලා.
ඉන්දීය ධීවරයන් පැමිණීම නැවැත්වීමට නම් හොඳම විසඳුම විදියට විශේෂඥයන් යෝජනා කරන්නේ හැකි තරම් ඉන්දීය ට්‍රෝලර් බෝට්ටු අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීම. ටික දිනක් රඳවා තබාගැනීමෙන් පස්සේ ධීවරයන් නිදහස් කොට බෝට්ටු බාර නොදී ලංකාවේ තබාගැනීම. මේකට හේතුව ලංකාවේ මුහුදු සීමාවට එන ධීවරයන් දුප්පතුන් වීමත්, ට්‍රෝලර් බෝට්ටු හිමියන් දකුණු ඉන්දියාවේ අතිශය ධනවත් ව්‍යාපාරිකයන් වීමත්.
එසේ නීතිය ක්‍රියාත්මක නොකර, ඉන්දියාවේ හොඳ හිත දිනාගන්න ලංකාවේ මධ්‍යම ආණ්ඩුව මෑත කාලය පුරාම වරින් වර බෝට්ටු සහ ධීවරයන් නිදහස් කළා. හරිහැටි අත්අඩංගුවට ගැනීම් කළේ නෑ. අපේ මුහුදු සීමාව රැකගන්න උත්සාහ නොකරන මේ පතෝල ප්‍රතිපත්ති නිසා ඉන්දියාවේ ධනවත් ට්‍රෝලර් බෝට්ටු හිමියන් තරම් පහසුකම් නැති, සාම්ප්‍රදායික ක්‍රමවලට වැඩිපුර මුහුදු යන උතුරේ ධීවරයන් මහත් පීඩාවක් විඳිනවා. ඒත් කවදාවත් ලංකාවේ මධ්‍යම ආණ්ඩුවලට ඒ ප්‍රශ්නය විසඳන්න අවංක වුවමනාවක් තිබුණේ නෑ.
මොකද උතුරේ ඡන්ද පවා ඔවුන්ට අදාල නැති නිසා.
අපි මේ සටහනට පහළින් 2018 වසරේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් තොරතුරු වගුවල ඡායාරූප දාලා තියෙනවා. බලන්න, ලංකාවේ වැඩිම සාම්ප්‍රදායික බෝට්ටු තියෙන්නේ උතුරු, නැගෙනහිර දිස්ත්‍රික්කවල. වැඩිම ධීවර පිරිසක් ඉන්නවා වගේම, වැඩිම මත්ස්‍ය සම්පත් ආදායමක් උපයන්න බලාපොරොත්තු වෙන්නේත් ඒ පැතිවලින්.
යුද්ධ කාලය තිස්සේ ධීවර කටයුතු නොකොට වර්ධනය වූ සශ්‍රීක ධීවර සම්පතක් ඔය කලාපයේ තිබුණා. ඒ නිසා යුරෝපය ආදී රටවලට පවා අපනයනය කරන්න හොඳම ධීවර සම්පතක් ඔය පැතිවල තිබුණා. උතුරේ සංවර්ධනයට වගේම රටේ සංවර්ධනයට ඒවා පාවිච්චි කරන්න තිබුණා.
ඉන්දියාවේ මංකොල්ලකාරයන් නැවැත්වීමත්, යුද්ධය ආදී හේතු නිසා දුප්පත් වෙච්ච උතුරේ ධීවරයන්ට වරායන් හදා දීම සහ බෝට්ටු ආදී සම්පත් සැපයීම තමයි කරන්න තිබුණේ. ඒත්, ඒවා සිදු නොවීමෙන් මහත් අසාධාරණයක් රටටත් ඒ මිනිසුන්ටත් සිද්ධ වෙලා.
කෙසේ වෙතත් උතුරෙන් ධීවර ඇමතිවරයෙක් පත් වුණ පසුවවත්, ඒ ප්‍රශ්නය විසඳේවියැයි සමහරුන් අනුමාන කළා. ඒත්, ඒක බොරුවක් වෙලා.
මුලතිව් සිට පේදුරු තුඩුවට බෝට්ටු මගින් ගමන් කරමින් සිදුකරන එම විරෝධයට සහභාගී වූ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් ට්විටර් වෙබ් අඩවියට වීඩියෝවක් එකතු කරමින් මෙම විරෝධය ගැන අදහස් දක්වා තිබුණේ මෙහෙම.
‘අද දවසේදී අපි මුලතිව් සිට පේදුරු තුඩුව දක්වා බෝට්ටුවලින් ගරු ඇමතිතුමාට විරුද්ධව, ඩග්ලස් දේවානන්දා ඇමතිතුමාගේ වැඩකටයුතු හරියට නොකිරීමට විරුද්ධව අපි අද දවසේ මේ උද්ඝෝෂණය පටන් අරන් තියෙනවා බෝට්ටුවලින් මුලතිව් සිට පේදුරු තුඩුව දක්වා. අද සියගණන් බෝට්ටු අපිත් එක්ක එකතු වෙලා ගමන් කරමින් සිටිනවා. උතුරු නැගෙනහිර ධීවර ජනතාවගේ එදිනෙදා ජීවිතයේ, ඔවුන්ගේ මාළු ඇල්ලීමට තියෙන අවකාශය නැති කිරීම, ඇමතිතුමා කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීමට විරුද්ධව තමයි අපි ක්‍රියා කරන්නේ.
ඇමතිතුමා ඉන්දියාවේ ඉන්න ධීවරයන් ඇවිල්ලා ලංකාවේ නීතිවිරෝධී වැඩ කරනකල් මොනවාද බලා ඉන්නේ ඇමතිතුමා. එහෙනම් ගෙදර යන්න ඕනෑ ඇමතිතුමා. අපේ උතුරු නැගෙනහිර ධීවර ජනතාව පීඩා විඳිනවා. අනෙක කුඹුරු කරන ගොවි ජනතාව. පොහොර නෑ. අපි ඒක වෙනුවෙනුත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරනවා.
මේ ධීවර ජනතාවගේ ගැටළු විසඳන්න නීති ක්‍රියාත්මක කරන්න ඕනෑ.’



