රජයට නීතිවලින් හොල්ලන්න අමාරු, වෙළදපොළ කියන්නේ මොකක්ද? විද්‍යාත්මක විග්‍රහයක්

Woman holding shopping basket
කථිකාචාර්ය සුදර්ශණි කුමාරි දමුණුපොල

අද අපගේ එදිනෙදා ජීවිතයේ අත්දකින, මුහුණදෙන හා මනාව හඳුනන,

  1. රාජ්‍ය
  2. සමාජය
  3. වෙළඳපොළ

යන බල ආකෘති ත්‍රිත්වය ගෝලීයකරණයේ සෘජු බලපෑමට නතුව පවතී.

නූතන ආර්ථික ක්‍රමය පිළිබද මනා අවබෝධයක් ලබාගැනීමට මෙම ත්‍රිත්වය සම්බන්ධ න්‍යාත්මක පැහැදිලි කිරිම් මොනවාදැයි නිවරදිව අවබෝධකරගැනීම වැදගත්ය. ඒ අනුව රාජ්‍ය යනු දේශපාලන විද්‍යාවේ ප්‍රධාන පෙලේ මාතෘකාවක් වන අතර, සමාජය යන්න සමාජ විද්‍යාවන්හි ප්‍රධාන පෙලේ තේමාවක් වන අතර, වෙළඳපොළ යන්න ආර්ථික විද්‍යාව තුළ ප්‍රධාන පෙලේ තේමාවකි.

රාජ්‍යය

රාජ්‍ය අප හැමදෙනාගේම ජීවිත කෙරෙහි සෘජුව හෝ වක්‍රව බලපානු ලබන සමාජ ආයතනයකි.

මෙහිදී ඕනෑම පුද්ගලයෙක් කිසියම් වූ සමාජයක ජීවත් වනු ලබන අතර ඔවුනට රාජ්‍යයේ බලපෑමට හසුනොවී ජීවත් වීම කළ නොහැකිය.

රාජ්‍ය සමග සබඳකම් නොපවැත්වීමට නම් මිනිසකු විසින් කළ යුත්තේ සමාජ ජීවිතයෙන් වෙන්වී හුදකලා තාපස ජීවිතයක් ගතකිරීමය.

පුද්ගල ජීවිතයේ ඉපදීමේ සිට මරණය තෙක් රාජ්‍ය සමග නිබඳව සබඳකම් පවතී. මෙහිදී කුඩා කාලයේ සිටම පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් සන්තර්පණය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය කරන හෝ නොකරන මැදිහත්වීම්, ඒවා සම්බන්ධ රාජ්‍යයේ ප්‍රත්පත්ති, කෙනෙකුගේ ජීවිතයට පමණක් නොව මුලුමහත් සමාජයටම බලපානු ලබයි.

වෙළඳපොළ

මෙහිදී නූතනයේ පුද්ගල ආශාවන්, අභිලාෂ සන්තර්පණයේ මූලික ස්ථානය වී ඇත්තේ වෙළඳපොළයි.

ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති මගින් රාජ්‍ය මැදිහත්වනු ලබන්නේ වෙළඳපොළ සම්බන්ධයෙනි. එහිදී පුද්ගලයන්ට සමාජයේ ලැබියයුතු අයිතිවාසිකම්, වගකීම්, වරප්‍රසාද ආදී මෙකී සියලු දෑ තීරණය වනු ලබන්නේ වෙළඳපොළ මගින් බලාත්මක කරනු ලබන රාජ්‍ය ප්‍රතිපත්ති ඇතුලතය. ඒ අනුව උදාහරණයක් ලෙස දක්වන්නේ නම් හාල් කිලෝවක මිල තීරණය වන්නේ, නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර බෙහෙත් සියල්ල තීරණය වනු ලබන්නේත්, නූතන භාණ්ඩ හා සේවා කර්යයන් නිෂ්පාදනය, බෙදාහැරීම කරනු ලබන වෙළඳපොලේ අභිලාෂ හමුවේ තීරණය වන රාජ්‍ය ප්‍රතිපත්ති මගිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් වන්නේ රාජ්‍ය කැමති වුනත් නැතත් සමාජයට අභිවෘද්ධිය සැලසුවත්, නැතත් නූතනයේ අපේ සමාජ ජීවිතයට බලපාන හා සමාජ ජීවිත පන ගන්වනු ලබන ප්‍රධාන ලෞකික බලවේලයන් දෙක ලෙස රාජ්‍ය හා වෙළඳපොළ හඳුනාගත හැකි බවයි. 

මෙහිදී මූලික ලෙස අප අවධානයට යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ රාජ්‍ය, සමාජය, වෙළඳපොල සම්බන්ධ දාර්ශනික න්‍යායාත්මක මත මගින් තේරුම් ගැනීමය.

නූතනයේ මානවයා තම විවිධ වූ අවශ්‍යතාවයන්, අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ මූලිකතම කාර්යය වෙළඳපොල මගින් සිදුවෙන අතර එම සමාජ අවශ්‍යතාවයන් වලට අනුකූලව භාණ්ඩ හා සේවා සැපයීමේ කාර්යය පාලනය, මෙහෙයවීම සිදු කරනු ලබන්නේ රාජ්‍ය මගිනි. ඒ අනුව බලන විට පුද්ගල පැවැත්ම තහවුරු කිරිමේ කාර්යභාරය තුළ සමාජය, රාජ්‍ය, වෙළඳපොළ එකිනෙක අන්තර් සබඳතාවයන් සමඟ සහයෝගීව ක්‍රියාත්මක වේ.

මෙහිදී මූලික අදහස ලෙස රාජ්‍ය, සමාජය, වෙළඳපොළ යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමක්ද? යන්නත් එහි කාර්යය, අවශ්‍යතාවය විවිධ න්‍යායන්, මතවාද ඔස්සේ අවධානය යොමු කිරීම මෙහි අරමුණවන බව සදහන් කළ යුතු ය. එහිදි සමාජ සංස්ථිතියක් වශයෙන් සංව්ධානය වූ සෑම සාමාජිකයෙකුම අයත් වන සමස්ත මිනිස් සමාජය රාජ්‍ය වේ.

රාජ්‍ය,

  • භූමිය
  • ජනගහනය
  • ආණ්ඩුව
  • ස්වාධිපත්‍යය

යන මූලික ඒකකයන්ගෙන් සමන්විත වේ. 16 වන සියවසේ මැද භාගයේදී පමණ රාජ්‍යය යන පදය දේශපාලන විද්‍යාවට එකතු විය. නිශ්චිත වශයෙන් දේශසීමාවලින් සමන්විත වූ භූමිය රාජ්‍ය පැවැත්මට අත්‍යවශ්‍ය වන අතර මිනිසුන්ගෙන් තොරව රාජ්‍යයට පැවතිය නොහැක. සමාජයක් තුළ පවතින මානව සංවිධාන අතුරින් රාජ්‍ය සුවිශේෂී වන්නේ ස්වාධිපත්‍යය හේතුකොට ගෙන ය.

රාජ්‍ය සමාජයේ පවතින මානව සංවිධාන අතුරින් ඉහළම සංවිධානය වේ. රාජ්‍යයේ ස්වාධිපත්‍යයට සම කළ හැකි ආකාරයේ කිසිදු බලයක් සමාජයේ අනෙකුත් සංවිධාන වලට හිමි නොවේ.

රාජ්‍යය ගැන ලිබරල් මතය

රාජ්‍ය පිළිබඳ ලිබරල්වාදී චින්තනය යුරෝපයේ ඇරඹෙන්නේ 18 වන සියවසේදී ය. රාජ්‍ය පිළිබඳ ලිබරල්වාදීන්ගේ මතය වූයේ රාජ්‍ය වූ කලී තම පොදු යහපත උදෙසා මිනිසුන් විසින් ගොඩ නගාගත් පොදු සමාජ සංස්ථාවක්ය යන්න යි. ලිබරල්වාදීන්ට අනුව සංවිධිත සමාජයක් තුළ තම අභිවෘද්ධිය අරමුණු කොටගෙන මිනිසුන් විසින් ගොඩනගාගෙන ඇති සමාජ සංවිධාන අතුරින් උත්තරීතරම සමාජ සංවිධානය රාජ්‍ය වේ.

රාජ්‍ය වූ කලී මිනිසුන්ගේ සමාජ පැවැත්මේ නොවැලැක්විය හැකි, අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස සලකන ලිබරල්වාදීන් මිනිසාගේ පැවැත්ම සඳහා රාජ්‍ය අත්‍යවශ්‍ය බව පෙන්වා දීමට උත්සාහ ගනියි. රාජ්‍ය පිළිබඳ ලිබරල් මතවාදයේ ප්‍රධාන අංග ලක්ෂණ කිහිපයකි. රාජ්‍ය පොදු යහපත අරමුණු කොටගෙන පිහිටුවා ගෙන ඇති සමාජ සංවිධානයක් යන්නත්, පෞද්ගලික වශයෙන් මිනිසාටත් පොදු වශයෙන් මුළු මහත් සමාජයටත් අභිවෘද්ධිය ළඟාකරගැනීම සඳහා මිනිසුන් සහිත සමාජයක් තුළ රාජ්‍ය වැනි පොදු සංවිධානයක පාලනය කිරීම හා මෙහෙයවීම සිදුවේ. රාජ්‍ය තුළ සියළු දෙනාගේ පුරවැසි නිදහස හා අයිතිවාසිකම් රාජ්‍ය මගින් සුරක්ෂිත කිරීම, පොදු සමාජ අභිවෘද්ධිය සඳහා පුරවැසියන් සතු කාර්යභාරයන් පවතින අතර සෑම පුරවැසියකුම තමන්ට පැවරී ඇති සමාජයීය යුතුකම් හා වගකීම් නිසියාකාරව ඉටුකිරීම, පුරවැසියන් විශේෂීකරණයකින් තොරව රාජ්‍යයේ නීති වලට පුරවැසියන් අවනත විය යුතු ය.

මාක්ස්වාදී මතය

රාජ්‍ය පිළිබඳ මාක්ස්වාදී මතය මගින් අවධාරණය කෙරෙන්නේ රාජ්‍ය වූ කලී පන්ති උපකරණයක් ලෙස යි. රාජ්‍ය වූ කලී පොදු යහපත උදෙසා මිනිසුන් විසින් පිහිටුවා ගෙන ඇති සමාජ සංස්ථාවක් යන අදහස මාක්ස්වාදී මතය මගින් ප්‍රතික්ෂේප කරනු ලබයි. ඒ අනුව මාක්ස්වාදීන් රාජ්‍ය ධනපති පන්තිය විසින් තම පන්ති වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහාත්, නිර්ධන පන්තිය සූරාකමින් ඔවුන් පාලනය කර ගැනීම සඳහාත්, සංවිධානය කර ගන්නා ලද පන්ති ආයුධයක් ලෙස සලකනු ලබයි.

මාක්ස්වාදීන් රාජ්‍යය ප්‍රජා පීඩක උපකරණයක් ලෙස සලකනු ලබන අතර ලිබරල්වාදීන් සමාජයට අත්‍යවශ්‍ය උපකරණයක් ලෙස හඳුනා ගැනේ. සමාජය යන්න පිළිබඳව අපගේ අවධානය යොමු කරන විට පැහැදිලි වන්නේ සමාජය යන්න යුරෝපීය දේශපාලන චින්තනයේ 17වන සියවසේ පමණ වර්ධනය වූවක් බවයි. සමාජය විවිධාකාරයෙන් නිර්වචනය කළ හැකිය. සරලව ගත්කල ක්‍රියාකාරී පුරවැසියන් සමන්විත සමාජය ලෙස එය අපට අර්ථ දැක්විය හැකිය.

සමාජයයි වෙළඳපොළයි

තවත් අතකින් සමාජය යන්න පවතින ආණ්ඩුවට, මහජන මතයට බලපෑම් කළ හැකි ජන සම්මතයේ පෙනී සිටින, පුද්ගලයන් සිටින, සාපේක්ෂ වශයෙන්, වරප්‍රසාදලාභී සමාජ අවකාශය මෙසේ සලකනු ලබයි. රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකයින් ලෙස ද සමාජය යන්න අර්ථකථනය කළ හැකිය. අතීතය තුළ විවිධාකාරයෙන් සමාජය යන්නට අර්ථ නිරූපණ පැවතුණි. වර්තමානයේ පුරවැසි ක්‍රියාකාරීත්වය සඳහා රාජ්‍යයේ පාලනයෙන් ස්වාධීනව රාජ්‍යයට පරිබාහිරව පවතින සමාජ ස්වායත්තාවේ අවකාශය ලෙස හඳුනා ගැනේ. සමාජය යන්න නූතන දේශපාලන විග්‍රහය තුළ ලිබරල්, මාක්ස්වාදීන්ගේ අදහස් මගින් ද පෝෂණය වී ඇත. ලිබරල්වාදී න්‍යාය තුළ ඇඩම් ෆර්ගසන් සමාජය යන්න දුටුවේ ධනවාදී වෙළඳපොළ පදනම් කර ගෙනය. එහිදී සමාජය යන්න තුළ සංකීර්ණ ශ්‍රම විභජනයක් පවතින අතර නිෂ්පාදනය, බෙදාහැරීම, හුවමාරුව සිදුවන පරිමණ්ඩලය ලෙස සමාජය හදුනාගත හැකි බව ඔහුගේ අදහස විය.

මාක්ස්වාදී චින්තනය තුළ සමාජය සලකනු ලබන්නේ එක් ආත්මාර්ථකාමී පුද්ගලයෙකු තවත් ආත්මාර්ථකාමී පුද්ගලයන් හමුවන අවකාශය ලෙස හදුන්වයි. මෙහිදී මාක්ස් හෙගල්ගේ සමාජය පිළිබඳ අර්ථදැක්වීම තුළින් සමාජය අර්ථ නිරූපණයෙන් ඔබ්බට යයි. එහිදී සමාජය තුළ කම්කරුවන්ගේ ශ්‍රම ශක්තිය සූරාකන හා ශ්‍රමයේ අතිරික්ත වටිනාකම ප්‍රාග්ධනය විසින් අත්පත් කරගනු ලබන අවකාශය වේ. මෙලෙස සාකච්ඡා කර බලන විට පැහැදිලි වන්නේ සමාජය යන්න සම්බන්ධව විවිධ අර්ථ නිරූපණ මගින් විකාශනය සිදු වී ඇති බවය.වෙළඳපොළ යන්න හැඳින්වීමේ දී, කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඉල්ලුම්කරුවන් හා සැපයුම්කරුවන් අතර ගනුදෙනු සිදුවන ඕනෑම තත්ත්වයක් හෝ සංවිධාන ක්‍රමයක් ලෙස සරලව අර්ථකථනයක් සැපයීම සිදු කළ හැකිය.

වෙළඳපොළ ආර්ථික විද්‍යානුකූලව,

  • 01. සාධක වෙළඳපොළ
  • 02. භාණ්ඩ වෙළඳපොළ

ලෙස කොටස් දෙකකට වර්ගීකරණය සිදු කළ හැකිය. වෙළඳපොළ ක්‍රමය විමධ්‍යගත ක්‍රමයකි. වෙළඳපොළ තුළ තීරණ ගැනීම විශාල සංඛ්‍යාවක් විසින් සිදුකරනු ලබන අතර වෙළඳපොළ තුළ ඉල්ලුම්කරුවන් කුමන භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් මිලදී ගන්නේ ද යන්න තීරණය කරයි.

සැපයුම්කරුවන් විසින් කොපමණ ප්‍රමාණයක් කෙසේ නිපදවන්නේ ද යන්න තීරණය කරනු ලබයි. මෙලෙස, කුමක් කොපමණ නිපදවිය යුතු ද? කෙසේ නිපදවිය යුතු ද? කා සඳහා නිපදවිය යුතු ද? යන මූලික ආර්ථික ප්‍රශ්න වෙළඳපොළ තුළ රාශීභූත වී පවතී.

ආර්ථික විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන ඇඩම් ස්මිත් “ජාතීන්ගේ ධනය” නමැති ග්‍රන්ථයේ පහත සඳහන තිබේ.

“හැම පුද්ගලයෙක්ම සිය ප්‍රාග්ධනය යොදවනුයේ එයින් නිපදවෙන දේ උපරිම අගයක් ගන්නා ලෙසටය. එමගින් පොදු යහපත වැඩි දියුණු කිරීමට ඔහුට වුවමනාවක් නැතිවා සේම තම කටයුතු මගින් කොතෙක් දුරට පොදු යහපතට වැව් දියුණුූ කෙරේදැයි දැනුමකුදු ඔහුට නැත. ඔහුගේ අපේක්ෂාව තමාගේම පෞද්ගලික සුරක්ෂිතභාවය යි. තමාගේම පෞද්ගලික ලාභය යි. එහෙත් මෙහිදී අදෘෂ්‍යමාන හස්තයක් මගින් කිසිසේත් ඔහු ඉටුකිරීමට බලාපොරොත්තු නොවූ අරුමුණක් ද ඉටු කිරීමට ඔහු මෙහෙයවනු ලැබේ. කෙලින්ම සමාජයේ හිතසුව පතා ඔහු කරන ක්‍රියාවන්ගෙන් සිදුවනවාට වැඩි යහපතක් බොහෝ විට තමාගේම පෞද්ගලික හිතසුව පතා ඔහු කරන ක්‍රියාවන් නිසා ඉටු වේ.”


විසිවන සියවසේ කාර්මික ජාතීන්ගේ ආර්ථික ජීවිත තුළ දැකිය හැක්කේ සමහර අවස්ථාවල ඉතා ලිහිල්ව “පෞද්ගලික ව්‍යවසාය ක්‍රමය” හෝ “තරඟකාරී පෞද්ගලික දේපොළ ධනවාදය” පැතිර පැවතීම යි. මෙහි දී ආර්ථික සංවිධානයන්හි ආකෘති ලෙස,

  • 1. වෙළඳපොළ යාන්ත්‍රණය
  • 2.ආඥාදායක ආර්ථිකය

ලෙස ආකෘතීන් දෙකකට බෙදා දැක්විය හැකි ය. වෙළඳපොළ යන්ත්‍රණය නැමති ආර්ථික සංවිධාන ස්වරූපයෙහි දී වෙළඳපොළ මාර්ගයෙන් පෞද්ගලික පාරිභෝගිකයන් හා ව්‍යාපාරිකයන් අතර ඇතිවන අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය තුළින් ආර්ථික සංවිධානයේ ප්‍රශ්න විසඳීම සිදු කරනු ලබයි.

මෙහිදී වෙළඳපොළ යන්ත්‍රණය මගින් ආර්ථික සංවිධානයේ මූලික ප්‍රශ්න තුන විසඳීම අරමුණු කර ගැනීම සිදු වී ඇති අතර නූතන මිශ්‍ර ආර්ථිකක්‍රමයන් මෙහෙයවීමේ දී රාජ්‍යයේ කාර්යභාරය පිළිබඳ සැකෙවින් පෙන්වා දීම සිදුකිරීම අත්‍යවශ්‍ය වේ. වෙළඳපොළ තුළ ලෝක ආර්ථිකය සමන්විත වනුයේ “වෙළඳභාණ්ඩ දම්වැල” නමින් හදුන්වන අන්තර් සම්බන්ධිත නිෂ්පාදන ක්‍රියාදාමයන්ගේ හරස් කැපුම් ජාලයකිනි.

දම්වැල් පදනම් වනුයේ ප්‍රාග්ධන ඒකරාශීකරණය උපරිම කිරීමේ ධනේෂ්වර මූලධර්මය මත වේ. මෙලෙස සාකච්ජා කරන විට පැහැදිලි වන්නේ සමාජයේ විවිධ අවශ්‍යතා නිශ්පාදනය, බෙදාහැරීම වෙළඳපොල මගින් සිදුකරන අතර එහිදී සමාජීය අවශ්‍යතාවයන්ට අනුගතව වෙළඳපොල පාලනය කරනු ලබන්නේ රාජ්‍ය මගිනි. මේ අනුව රාජ්‍ය සමාජය වෙළඳපොල එකිනෙක අන්තර් සබැඳි අන්තර් පරායක්තතාවයක් සහිත ඒකක ලෙස අපට හඳුනාගත හැක.

ධනවාදී ක්‍රමය

ලෝකයේ විවිධ ආණ්ඩුක්‍රමයන් ක්‍රියාත්මක වන අතර බොහෝ රටවල් කෙරෙහි අපගේ අවධානය යොමු කරන විට ප්‍රධානතම රාජ්‍ය මාදිලියක් ලෙස අපට ධනවාදී ක්‍රමය හඳුනාගත හැකි ය. ධනවාදී රාජ්‍ය මාදිලිය ඓතිහාසික වශයෙන් විකාශනය වූයේ යුරෝපයේ කාර්මික ධනවාදී ආර්ථික හා සමාජ ක්‍රමය ආරම්භයත් සමඟය.

වැඩවසම් රාජ්‍යයන්ට හා පරමාධීකාරී රාජාණ්ඩුවට එරෙහිව ඇති වූ අරගල හා එමගින් සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය අභ්‍යන්තරයේ දියවයෑමේ ක්‍රියාවලිය ඇරඹුණි. විශේෂයෙන්ම යුරෝපයේ වෙළඳාම, වාණිජ්‍යය, කර්මාන්ත වර්ධනයවීමත් සමඟ යුරෝපය තුළ ධනවාදය නමින් හැඳින්වුණූ සම්පූර්ණයෙන් ම අලුත් සමාජ ආර්ථික ක්‍රමයක් ගොඩ නැඟුණි. මෙලෙස ධනවාදී රාජ්‍ය ක්‍රමයේ බිහි වන ලිබරල් වාදය ආර්ථික න්‍යායක් වශයෙන් දේශපාලන දර්ශනයක් වශයෙන් ද සමාජ මතවාදයක් ලෙස ද අපගේ අවධානයට ලක් කළ හැකි ය.

මෙහි දී 18-19වන සියවස් වල බිහිවූයේ ධනවාදී ලිබරල් රාජ්‍යයයි. සම්භාව්‍ය ලිබරල්වාදය මගින් අවධාරණය කළේ පුද්ගල අයිතිවාසිකම් හා නිදහස් වෙළඳපොළ යි. එනම් සමාජමය වශයෙන් පුද්ගල අයිතිවාසිකම් සුරක්ෂණය කිරීම අරමුණු කර ගත්තක් වූ අතර වෙළඳපොළ සම්බන්ධයෙන් රාජ්‍යයේ ඇති සීමා බැඳීම් වලින් ලිහිල් තත්ත්වයකි. ඒ අනුව මින් අදහස් වන්නේ රාජ්‍යය අනම්‍ය හා දැඩි නොවේය යන්නත් සීමිත පුරවැසියාට වගකියන ආණ්ඩුවක් යන්නත් ය. එමෙන්ම පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, නිදහස රාජ්‍යයේ බලයට වඩා වැදගත් යන්න පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙහි දී මෙම අයිතිවාසිකම් හා නිදහස මූලික වශයෙන්ම ආර්ථික ඒවාවය. එනම් වෙළඳපොළ සම්බන්ධ වූ පුද්ගලයා සතු විය යුතු අයිතීන් මොනවා ද යන්න පිළිබඳ ව අවධානය යොමු කෙරිණි. එනම් දේපොල මිල දී ගැනීමේ හා විකිණීමේ අයිතිය, වෙළඳපොළේ නිදහස, ආණ්ඩුවේ මැදිහත් වීමෙන් නිදහස් ව ජීවත් වීමේ අයිතිය මේවා අතර ප්‍රධාන විය. මේ අදහසින් මූලික වශයෙන් අවධාරණය කරන්නේ ආණ්ඩුවේ අත්තනෝමතික, හිතුවක්කාරී මැදිහත්වීම්වලින් තොරව වෙළඳපොළ ප්‍රමුඛ ආර්ථික ක්‍ෂේත්‍රීය නිදහස පිළිබඳ විශ්වාසයකි.

ධනවාදී රාජ්‍ය බිහිවූයේ පූර්ව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පසුබිමක් තුළ ය. මෙහිදිී අවධානය තබාගත යුත වැදගත් කරුණක් වන්නේ ධනවාදී රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී වූයේ පසු කාලයේ ඇති වූ සමාජ අරගලවල ප්‍රතිඵල හැටියට ය. අප බි්‍රතාන්‍ය උදාහරණයට ගත් අතර එහි සම්භාව්‍ය ලිබරල්- ධනවාදී රාජ්‍ය පැන නැඟුණේ නිර්ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක ය. මෙහි දී විශේෂයෙන් ම කිව යුත්තේ පුද්ගල වශයෙන් අයිතිවාසිකම් සුරක්ෂණය (ආර්ථික අයිතීන්) සම්බන්ධ විධිවිධාන කෙරෙහි අවධානය යොමු කර තිබුණ ද සමාජමය වශයෙන් බලපැම් කළ හැකි අයිතීන් කෙරෙහි අවධානය යොමුකොට නොතිබිණි. බි්‍රතාන්‍ය ධනවාදී රාජ්‍යය තුළ සර්වජන ඡන්ද බලය තිබුණේ දේපළ හිමි පිරිමින්ට පමණක් වීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. කෙසේ වුව ද ධනවාදී රාජ්‍ය ක්‍රමය තුළ රාජ්‍ය පදනම වන්නේ පාලකයා හා පාලිතයන් අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන ගිවිසුමේ ප්‍රකාරවය.

නිදහස් වෙළඳපොළ

මෙහි දී රාජ්‍යවෙනුවෙන් ස්වාධිපති බලය සචේතනිකව ක්‍රියාත්මක කරන ආණ්ඩුවට අසීමිත බලයක් නොවූ අතර එය මහජනයා තම කැමැත්ත තුළින් පාලකයන්ට පවරන ලද සීමිත බලතල විය. නීතියේ ආධිපත්‍යය හා රාජ්‍යයේ බලයට වඩා පුද්ගල අයිතිවාසිකම් වැදගත්කොට සැලකීම මඟින් ඒවා යටපත් කිරීමේ හැකියාවක් රාජ්‍යයට නොවී ය. පුද්ගල අයිතිවාසිකම් යටපත් කිරීම රාජ්‍යයේ පැවැත්මේ තර්කනයේ ප්‍රතික්ෂේප කිරීමක් විය. කෙසේ වුව ද මේ ආකාරයට සාකච්ඡා කර බලන විට පැහැදිලි වන්නේ ධනවාදී රාජ්‍ය මාදිලිය තුළ සමාජමය වශයෙන් පුද්ගලයින්ගේ ආර්ථික අයිතිවාසිකම් සුරක්ෂණය කිරීම තුළින් නිදහස් වෙළඳපොළක් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් මෙහෙය වූ ආකාරය යි. එහි දී පුද්ගලයන් සමන්විත සමාජයේ අවශ්‍යතාවය, ඔවුන්ගේ අභිලාෂ අරමුණු දිනාගැනීමේ මාර්ග පිළිබඳව පැහැදිලි ප්‍රතිකර්ම නොවූ අතර වෙළඳපොළේ නිදහස් ක්‍රියාකාරීත්වය රාජ්‍ය, ආධිපත්‍යයෙන් ස්වාධීන කිරීමට උත්සාහ ගනු ලැබී ය.

ධනවාදී රාජ්‍ය ක්‍රමයෙන් පසුව රාජ්‍ය මාදිලීන් විපරිවර්තනය වන්නේ රාජ්‍ය නිර්බාධවාදයට ය. මෙමඟින් සරලව අදහස් වනුයේ ආණ්ඩුව ආර්ථික හා සමාජ ක්‍ෂේත්‍ර පාලනය කිරීමට මැදිහත් නොවිය යුතුය යන්න යි. මෙහිදිී විශේෂ අවධානයක් රාජ්‍යයේ ආර්ථික කටයුතු සම්බන්ධව යොමුකොට ඇත. මෙහි දී ආර්ථිකය හැසිරිය යුත්තේ වෙළඳපොළ බලවේගවලට අනුව ය. ආර්ථිකය හැසිරවීමේ කටයුතුවලට ආණ්ඩුව මැදිහත් වුවහොත් එය පුද්ගල නිදහස සීමා කිරීමක් ලෙස සැලකේ. මෙහි දී වැඩිදුරටත් අදහස් වන්නේආණ්ඩුවේ මැදිහත් වීමකින් තොරව ආර්ථික කළමණාකරණය කිරීමට වෙළඳපොලට නෛසර්ගසිද්ධ හැකියාවක් තිබේය යන්න යි. එහි දී ආදායම් බෙදා හැරීම, සමාජ සුබසාධනය හා දුගීන්ට පිහිටවීම වැනි සමාජ කාර්යයන්ට ද රාජ්‍යය මැදිහත් විය යුතු නැතැ’යි යන්න මින් අදහස් කෙරේ.

එහිදී ඉහත කාර්යයන් සියල්ලම පාහේ වෙළඳපොළ ව්සින් කළ යුතු දේවල් ලෙස සලකනු ලැබී ය. මෙහිදීආදායම් බෙදා හැරීම, නිෂ්පාදනය බෙදාහැරීම, සමාජ සුභසාධනය ආදී පුද්ගල සමාජ ජීවිතයේ සියලු කාර්යයන් වෙළඳපොළ ව්සින් කළයුතු දේවල් යැයි සැලකී ය. මෙහි දී රාජ්‍යය සම්බන්ධ වන්නේ ආර්ථික හා සමාජ ක්‍ෂේත්‍රවල කටයුතුවලට සෘජුව මැදිහත් නොවී ධනවාදී ආර්ථිකයටහා ධනවාදී සමාජයට ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීතිය හා සාමය පිළිබඳ රාමුවත් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ රාමුවත් සකස්කර දීමය. අවමවාදී රාජ්‍යය, නොඑසේ නම් නිර්බාධවාදී රාජ්‍ය ක්‍රමය තුළ සමාජයේ අවශ්‍යතාවයන්, වුවමනා එපාකම් අභිලාෂ ඉටුකරදෙන ආයතනය වෙළඳපොළ විය. එහි දි වෙළඳපොළට එකී කාර්යය මනාව ඉටුකරදීමට අවශ්‍ය තත්‍ය උපකාරය ලෙස රාජ්‍යයේ අවම මැදිහත්වීම වැදගත් කොට සැලකුණි.