මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මංජුල ගජනායක කළ අදහස් දැක්වීමක් මත මාධ්‍යවේදී/ සමාජ ක්‍රියාකාරික බිඟුන් මේනක ගමගේ සකස් කළ සටහනකි.
ඕනෑම වස්තුවක් අරමුණක් ඇතිව නිෂ්පාදනය කළ විට එයින් අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ නොවන්නේ නම් ඒ වස්තුව කුමක් සඳහාදැයි මිනිස්සු ප්‍රශ්න කරති. එන්.ජී.ඕවල සිට දේශපාලන පක්ෂ, ආගම් ආදී ලෙස විවිධ සංස්ථා අරභයා මේ ප්රශ්නකි රීම ලංකා සමාජයේදී අපට දැකිය හැකිය. මේ ප්‍රශ්න අතරෙන් දේශපාලන පක්ෂ කුමකටද යන්නට මට ප්‍රමුඛතාවය දීමට සිදුවේ. ඊට හේතුව නම් සැබැවින්ම එය මේ යුගයේ ඇසිය යුතුම ප්‍රශ්නයක් වන නිසාය. අනෙක් අතට මැතිවරණ නිරීක්ෂකයකු හැටියට මා ඊට පිළිතුරු දිය යුතුම නිසාය.
ශබ්ද කෝෂාදිය පරිශීලනයේදී අප දකින්නේ යම් මතයක් සංවිධානය කිරීම දේශපාලන පක්ෂවල මූලික කාර්ය බවයි. ඒ අනුව එක් පුද්ගලයකුගේ හෝ ඊට වැඩි ජන සමූහයක පුද්ගල මතය යම් ආකාරයකට ප්‍රාදේශීය හෝ ජාතික මට්ටමේ මතයක් වෙනුවෙන් සංවිධානය කිරීම දේශපාලන පක්ෂයකින් සිදුවේ. එය ජාතික අර්බුදයක් ගැන විය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන විය හැකිය. නොඑසේව ධනවාදී අර්ථ ක්‍රමය තුළ පුද්ගලයාගේ නිදහස සහතික කිරීම හෝ සමාජවාදී ක්රමයක අරුණළු දැකීම වුව විය හැකිය. මෑතකාලීන නිදසුනක් ගතහොත් පසුගියදා පැවැති මැතිවරණයේදී ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඡන්ද පත්‍රිකාව සමග කළ මත විමසීමක් වූයේ ප්‍රාන්තය තුළ මර්ජුවානා භාවිතය අනුමත කරන්නේද නැතිනම් තහනම් කළ යුතුද යන්නයි. බහුතර මතය වූයේ භාවිතයට අනුමැතිය දිය යුතු බවයි.
1977 වනතෙක්ම මේ කියන අර්ථයෙන් ලංකාවේ ජන සමාජය මතයක් වෙනුවෙන් සංවිධානය කිරීම දේශපාලන පක්ෂවලින් සිදුවිණි. එහෙත් ඉන්පසුව සිදු වූ විවෘත ආර්ථික පරිවර්තනයේදී සමාජයෙහි කිසියම් කළු කුහරයක් නිර්මාණය විය. මේ කළු කුහරයට ගොනු වූ ප්‍රධාන පිරිසක් වූයේ 77 දක්වා පාර්ලිමේන්තු ගිය ප්‍රබුද්ධයන් අතරේම සිටි මැර දේශපාලකයන්ට පාර්ලිමේන්තුවෙන් පිටත සිටි උදවු කළ පුද්ගලයෝය. 77 න් පසුව ඔවුන් සිතන ආකාරය වෙනස් වූ අතර දේශපාලකයන්ගේ මැරකම්වලට සහාය දැක්වීම පසෙක තබා තමන්ටම පාර්ලිමේන්තු යන්නට නොහැකිදැයි ඔවුහු සිතූහ. සොත්ති උපාලිලාගේ සිට 1990 දශකයට ලංකා සමාජය පා තැබුවේ මෙකී දේශපාලකයන් පිරිස ද සමගය. මැතිවරණ නිරීක්ෂණයේදී අද අප දකින්නේ එසේ විකාශය වූ දේශපාලන පක්ෂ සීමාරහිත සමාගම්වලට පත්ව තිබීමය.
විශාල මුදල් කන්දක් ගොඩනැගී ඇති මේ දේශපාලන පක්ෂවල වත්කම් හා බැරකම් පිළිබඳව නිසියාකාරව අනාවරණයක් සිදුවන්නේ නැත. මේ දේශපාලන පක්ෂ ආකෘතියෙහි රටේ නීතියට ගරු කිරීමක් ද නැත. ගුණදාස අමරසේකර සූරීන් පැවැසූ ආකාරයටම මේ වසල වෙළෙඳ කුලය සමග 1977 න් පසුව දේශපාලන පක්ෂ අත්වැල් බැඳගත්තේ නම් වර්තමානය වනවිට එහි පරිපාකයට දේශපාලන පක්ෂ පැමිණ තිබේ. දේශපාලන පක්ෂ මොකටදැයි යන ප්රශ්නය මිනිසුන් තුළ හටගෙන තිබෙන්නේ මේ සංයුක්ත චිත්රයේ ඵලයක් හැටියටය. මෙහි ඊළඟ අත්‍යවශ්‍ය ප්රශ්නය වන්නේ එසේනම් දේශපාලන පක්ෂ වලංගුද කියාය. අප පිළිතුරු දිය යුත්තේ මේ ප්රශ්නයටය.
යම් යම් පුද්ගල ජන කණ්ඩායම් විසින් ආර්ථික ප්‍රශ්න යටපත් කිරීම සඳහා ජාතිවාදී ගිනි අවුලනු ලැබීම මේ යුගයේ දේශපාලනය වී තිබේ. එය අතිශය සංවිධානාත්මකය. මේ සංවිධානාත්මක ගින්න ප්‍රශ්න කළ හැක්කේ ද සංවිධානාත්මක දේශපාලන කණ්ඩායමකට පමණි. එවැනි කණ්ඩායමක් ප්‍රබල වන්නේ ඔවුන්ට ඇති දේශපාලන විඥානය මතය. දේශපාලන විඥානය වනාහි හුදු අභිලාශ කණ්ඩායමක අරමුණු මත වර්ධනය වූවක් නොවේ. රටක පවතින පුළුල් චිත්‍රය පිළිබඳව ඇති දේශපාලන අභිලාශ සමග සංයුක්ත වූවකි. එනිසා දේශපාලන පක්ෂවල අවශ්‍යතාව තවත් වැඩිවෙමින් ඇති බව මගේ විශ්වාසයයි. ප්රශ්නය වී තිබෙන්නේ මෙවැනි විපරීත සමාජ පරිසරයක දේශපාලන පක්ෂවල ශක්තිමත්භාවය එසේ ඉල්ලා සිටියත් සියලු සමාජ සංස්ථා අගතියට පත්වීම නැවතත් පෙරලා පක්ෂවලටත් බලපෑමයි. මෙහිදී අපට සිහිවන්නේ දැවී අළු වූ නිවෙසක අඟුරු අඩුදැයි යන දෙමළ පිරුළයි.
සඳුන් ගස කෙතරම් සුවඳවත් වුවද මුළු කැලෑවක් ගිනිගත් පසු සඳුන් ගසත් විනාශ වී යයි. මේ අයුරින්ම පෙර සමාජයේ ගරු කටයුතු යැයි සැලකූ බොහෝ සමාජ සංස්ථා මේ විනාශයෙන් ගැලවීගත නොහැකිව සිටී. නිදසුනකට භික්ෂුව කවර තරම් නම් ලාභ ප්‍රත්‍ය උදෙසා මේ දේශපාලනයට පැමිණ සමාජය ජරාජීර්ණ කර තිබේද? සරසවි ඇදුරන්ට වෛද්‍යවරුන්ට වී තිබෙන්නේ කුමක්ද? 20 වැනි සංශෝධනය නමැති කුප්‍රකට වෑයම යථාර්ථයක් කෙරුවේ 17 හා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනවලින් ජනිත කළ ප්රගතිශීලී ආකල්ප මුළුමනින්ම අඳුරු ගුහාවක සිරකිරීමෙනි. එහෙත් ලංකාවේ සරසවිවල පවතින දේශපාලන විද්‍යා අධ්‍යයනාංශ කිසිවක් හෝ මේ 20 වැනි සංශෝධනයේ රුදුරුභාවය ගැන විචාරාක්ෂිය දල්වාලන වැඩපිළිවෙලකට යනු අපි දුටුවේ නැත. අඩුම තරමින් නිවේදනයක්වත් පල කළේ නැත. ඉතින් සමාජයේ වියත් හෝ ප්රබුද්ධ යැයි කියන සමාජ කොටස් ද නිද්‍රෝපගතව සිටින මොහොතක දේශපාලකයන් පමණක් සුදු පිරුවට ඔතාගෙන වැඩට බහිනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. එනිසා දේශපාලන පක්ෂ ගැන බලන්නට වෙන්නේ මේ සමාජ පරිසරයේම තබාය.
එහිදී මා සිතන්නේ මෙම අවුල් කිසියම් ආකාරයකට එකලස් කරගැනීමට මැතිවරණ ප්‍රතිසංස්කරණය උපකරණයක් කරගත හැකි බවය. විශේෂයෙන්ම දේශපාලන පක්ෂ ලියාපදිංචියේ සිටම මැතිවරණ නීතිය වෙනස් කළ යුතු බවය. දැඩි නියාමන යාන්ත්‍රණයක් එහිදී දේශපාලන පක්ෂවලට අවැසිය. පවතින දේශපාලන සංස්කෘතියෙහි කුඩා පක්ෂයක් ලියාපදිංචි කරගැනීම සුරබිදෙනකි. මහා දේශපාලන පක්ෂවල කිහිලිකරුවක් ලෙස ක්‍රියා කිරීමට මෙවැනි කුඩා පක්ෂ ලියාපදිංචි කෙරෙන අතර මේ ක්‍රියාවට දැනට නීතියෙන්ම ප්‍රතිපාදන සැලැසී ඇත. එයින් ප්‍රධාන ප්‍රතිවිපාක දෙකක් අපි දකිමු. පළමු වැන්න නම් මැතිවරණ ආසන්නයේ දේශපාලන පක්ෂ විකුණාදැමීමයි. සමගි ජනබලවේගය හා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අතර හටගෙන ඇති විවාදය ඊට කදිම නිදසුනයි.
ඩයනාගේ යැයි කියන පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනයට ලබාදීමේදී මුදල් ගනුදෙනුවක් වීදැයි අප නොදන්නා නමුත් එහි අර්බුදයේ තරම ප්‍රකාශිත වචනවලින්ම රටට පෙනේ. සාමාන්‍ය ජනයාට නොපෙනෙන මේ කලාපයේ එහා මෙහාවන්නේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණන්වල සල්ලියකි. දෙවැනි ප්රතිවිපාකය නම් පක්ෂ මාරු කිරීමයි. පක්ෂ මාරු කිරීමේදී මන්ත්‍රීවරුන් තබන ලන්සු ගැන ලාංකිකයන්ට හොඳටම අසන්නට ලැබුණු 2018 ඔක්තෝබර් අවුල ඊට නිදසුනකි. ආණ්ඩුවක් තනාගැනීම සඳහා එස්.බී දිසානායක මන්ත්‍රීවරයා දුන් දුරකථන ඇමතුම්වල හඬ පටවලට සවන්දීම පමණක් මේ ගැන පුරවැසියකුට හොඳ පාඩමකි.
අප මෙසේ කරුණු නිදසුන් මගින් පැහැදිලි කළේ දේශපාලන පක්ෂ විපරීතභාවයකට තල්ලු කිරීම සඳහා පවතින මැතිවරණ ප්‍රතිසංස්කරණවල මන්දෝත්සාහීභාවය බලපාන බව සාමාන්‍ය වැසියන්ට පෙන්වාදීමටය. මෙම හිඩැස් වසා විධිමත් යාන්ත්‍රණයක් සැකැසීමට එහිදී මැතිවරණ කොමිසමට ඇත්තේ අනුල්ලංඝනීය අයිතියකි. දෙපාර්තමේන්තුවකින් කොමිෂන් සභාවකට සංක්‍රමණය වීමේදී කොමිෂන් සභාවක් නිරන්තරයෙන්ම උත්සාහ කළයුත්තේ මේ පක්ෂ නියාමන යාන්ත්‍රණය සකසාගැනීමටය. ඒ සඳහා වූ තෙරපුම ඇතිකිරීම සියලු සමාජ කණ්ඩායම්වල ද වගකීමකි.
අදහස් – සී.එම්.ඊ.වී ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක
සටහන – බිඟුන් මේනක ගමගේ