2018 මුල, ලන්ඩන් වෙයාහවුස්හි සේවකයන් ධනයට අධිපති දෙවඟන වූ ලක්ෂ්මියගේ ඔයිල් සිතුවමක් ස්විට්සර්ලන්තය බලා යන වෑන් රියකට ප්‍රවේශමෙන් ලෝඩ් කරලා තිබුණා. 19 වැනි සියවසට අයත් මේ සිතුවම, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පී රාජා රවී වර්මාගේ එකක්. අත් හතරේ දෙවඟන රතු සාරියක් ඇඳ, රන් අභරණ පැළඳ නෙළුම් මලක් මත සිටින රුවක් එහි තිබුණා.
මෙය ස්විට්සර්ලන්තයේ ජිනීවාහි බදුවලින් නිදහස් වරාය (ජිනීවා ෆ්‍රී පෝට්) වෙත නැව්ගත කරපු ඇමෙරිකන් ඩොලර් මිලියනයක් වටින කලාකෘති 31ක් අතරින් එකක්.

එහි තිබෙන අධිආරක්ෂිත අති දැවැන්ත ගබඩා සංකීර්ණය පාපන්දු පිටි 20කට වඩා විශාලයි. වතාවක් බීබීසීය ලියා තිබුණේ එහි ‘ලෝකයේ කිසිවෙක් නොදුටු ශ්‍රේෂ්ඨම කලාකෘති එකතුව තිබෙන’ බව.
මේ ලක්ෂ්මිගේ චිත්‍රය ඇතුළු කලාකෘතිවල හිමිකරු ලෙස පැකින් ස්ලිප් එකක සඳහන් කර තිබුනේ සැමෝවාහි ලියාපදිංචි එච්චර මතක නොහිටින නමකින් යුත් සමාගමක නමක්. පැසිෆික් කොමෝඩොටීස් ලිමිටඩ්.
ඒත්, සිංගප්පූරුවේ මූල්‍ය සේවා සපයන ආයතතනයක් වන ආසියාසිටි ට්‍රස්ට් සමාගමේ ලීක් වූ ඩොකියුමන්ට් අනුව හෙළි වෙන්නේ ඒ සමාගම රහසිගතව පාලනය කළේ දේශපාලන සම්බන්ධතා ඇති ශ්‍රී ලාංකිකයෙකු වන තිරුකුමාර් නඩේසන් බව. ඒ අනුව ඩොලර් මිලියනයේ කලාකෘතිවල හිමිකරුවා ඔහු.
ඔහුගේ බිරිඳ නිරූපමා රාජපක්ෂ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරියක්. දශක ගාණක් තිස්සේ ඉන්දියන් සාගරයේ පිහිටි එම රටේ බලය අල්ලාගෙන සිටි බලවත් රාජපක්ෂ පවුලේ සාමාජිකාවක්.
ජාත්‍යන්තර මාධ්‍ය සාමූහිකය සොයාගත් රහසිගත වාර්තා අනුව පෙනී යන්නේ රට (ශ්‍රී ලංකාව) ලේ වැකුණු, දශක ගණන් දිග සිවිල් යුද්ධයකට මැදි වෙද්දී මේ යුවළ රහසිගත අක්වෙරළ (ඕෆ් ෂෝ) පදනම් සහ සැකිලි සමාගම් පාවිච්චි කරමින් මුදල්, සුරැකුම්පත් සහ අනෙකුත් වත්කම් රහසේ හංගපු බව.
(මේ ලිපියේ ‘පදනම්’ යනුවෙන් හැඳින්වෙන්නේ ‘ට්‍රස්ට්’ හෙවත් එදිනෙදා ලංකාවේ විවිධ නම්වලින් තියෙන ‘පදනම’ යන ආයතනමය අර්ථයෙන්. මේකට ‘භාරය’ යන වචනයත් සුදුසුයි. අප එදිනෙදා දකින විවිධ දේශපාලනඥයන්ගේ නම්වලින් ආධාර බෙදීමට හදන ‘ෆවුන්ඩේෂන්’වලටත් ‘පදනම’ කියන වචනය යෙදෙනවා. ගොඩක් වෙලාවට ට්‍රස්ට් එකක් හෝ ෆවුන්ඩේෂන් එකක් හදන්නේ ලාභ ලැබීමේ අරමුණෙන් නෙවෙයි. සහනාධාර ලබා දීමේ අරමුණෙන්.ඒත් මෙතැන ඒවා පාවිච්චි කරන්නේ වත්කම් හංගන අරමුණෙන්.)
තමන් සතු ධන නිධාන රහසේ ගොඩගසාගෙන සඟවන්න ඔවුන්ට හැකියාව ලැබී තිබුණේ මූල්‍ය සේවා සපයන්නන්. නීතිඥයන් සහ අනෙකුත් සුදු කරපටි වෘත්තිකයන්ගේ උදව් මත. ඒ උදව්කාරයන් ධනස්කන්ධය උපයාගත්තේ කොහොමද කියලා හරස් ප්‍රශ්න අහන්නේ නෑ. ශ්‍රී ලංකා රජයේ ප්‍රකට දූෂණ වංචා විමර්ශනවල ඉලක්ක බවට තමන්ගේ ගනුදෙනුකාරයන් පත් වුණත් ධනය හංගන්න උදව් කරපු සුදු කරපටි වෘත්තිකයන්ට ඒක ප්‍රශ්නයක් නෑ.
2017 වෙද්දී (නිරූපමා) රාජපක්ෂ සහ නඩේෂන්ගේ පෙර ප්‍රසිද්ධ නොකළ අක්වෙරළ රඳවාගැනිම් (ඕෆ්ෂෝ රඳවාගැනීම් හෙවත්, යම් රටක මුදල්වලට දාපු නීතිමය සීමාවලින් බේරිච්ච, අයිතිකාරයන් කවුද කියන එක පවා යටගහන්න පුලුවන් විදියේ රඳවාගැනීම්) ඩොලර් මිලියන 18ක් වුණා. නඩේසන් පදනමේ මූල්‍ය වාර්තා අනුව ශ්‍රී ලංකාවේ නඩේසන්ගේ සාමාන්‍ය වාර්ෂික ආදායම ඇමෙරිකන් ඩොලර් 4000ක්.
ආසියාසිටි වෙත යැවූ ඊමේල් එකක නඩේසන්ගේ දීර්ඝකාලීන උපදේශකයෙකු සඳහන් කර තිබුණේ ඔහුගේ සම්පූර්ණ ධනය 2011 වෙද්දී ඇමෙරිකන් ඩොලර් මිලියන 160ක් බව. ඒ කරුණ ස්වාධීනව තහවුරු කරන්නට අයිසීඅයිජේ සංවිධානයට හැකි වුණේ නැහැ. (මේ ඊමේල් එක ඇතුළු ලිපිගොනු ඇමුණුම් ලෙස බලාගන්න පුළුවන්.)
නඩේසන් සහ නිරූපමා රාජපක්ෂගේ මූල්‍යමය කූඨෝපායන් විස්තර කරන වාර්තා ඇතුළත් වෙන්නේ ජාත්‍යන්තර ගවේෂනාත්මක මාධ්‍යවේදීන්ගේ සාමූහිකය සතු මිලියන 11.9ක් තරම් විශාල ලීක් වූ ලිපිගොනු අතර. ආසියාසිටි සහ තවත් අක්වෙරළ සේවා සපයන්නන් 13කගේ දත්ත ඇතුළත් පැන්ඩෝරා පේපර්ස් ගවේෂණයට මෙය අයත් වුණා. වසර දෙකක් තිස්සේ ගිය මෙම ගවේෂනය තුළින් බෙලහීන සහ ඒකාධිකරවාදී රාජ්‍යන්හි බිලියන ගණනක ධනය ඇදගෙන සැකිලි සමාගම් සහ පදනම්වල නම්වලින්, පෞද්ගලික ගිණුම්වලට දමාගෙන තිබුණා. ඒ සමහරවිට අධිකරණයෙනුත්, විගණකයන්ගෙනුත්, නීතිය රකින ආයතනවලිනුත් සැඟවීලා.
මේවායේ ප්‍රතිඵල විදියට ලොවපුරා ආණ්ඩු ඉතා දැඩිව අවශ්‍යවන සම්පත් හිඟකමෙන් හාමත් වෙලා. ඒ අතර ලෝක ධනය කවදාවත් නොතිබුණ තරම් සුළු පිරිසකගේ අත්වලට එකතු වෙලා.
දුප්පතුන් සහ ධනවතුන් අතර පරතරය කවදාවත් නොතිබුණ තරම් අධික බව ආර්ථික විශේෂඥයන් පෙන්වාදෙන ශ්‍රී ලංකාවේ, ලිහිල් බදු ප්‍රතිපත්ති ධනවත්, බලවත් අයට වරප්‍රසාදයක්.
රටේ අනෙකුත් සාමාන්‍ය ජනතාව සිවිල් යුද්ධයෙන් පසු යළි නැගිටින්නට උත්සාහ කරද්දී පාසල්, සෞඛ්‍ය සහ අනෙකුත් සමාජමය වැඩසටහන්වල ආයෝජනය කරන්නට ඉතා සුළු සම්පත් ප්‍රමාණයක් ඉතිරි වෙලා.
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙකු වන පියදාස එදිරිසූරිය මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. ඔහු කියන්නේ ඕෆ්ෂෝ මූල්‍ය සේවා සපයන ආයතනවලට තමන් හරහා සිදුවන අයථා මුදල් හුවමාරු නවත්වන්න පුළුවන් බව. නිසි සම්ප්‍රජන්‍යතාවෙන් යුක්ත විමෙන් (due diligence. ඒ කියන්නේ යම් ගනුදෙනුවකදී අනෙක් පාර්ශ්වය අතින් වරදක් සිදු නොවන බව සාධාරණ විදියට සැකහැර දැනගැනිමෙන්) සහ ගනුදෙනුකරුවන්වත්, ඔවුන්ගේ මුදල් හුවමාරුත් නිරීක්ෂණය කිරීමෙන්.
‘එහෙත් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ගොඩක ඔවුන් ඒවා කරන්නේ නැහැ.’ ඔහු පැහැදිලි කර තිබුණා. ‘ඒක තමයි ශ්‍රී ලංකාව වගේ රටවල්වල පුද්ගලයන්ට දූෂිත ක්‍රමවලින් මුදල් උපයන්නත්, බදු කෙම්බිම් පාවිච්චි කරමින් සල්ලි පිටරට යවන්නත් ලෙහෙසි මාර්ග හැදිලා තියෙන්නේ.
(ටැක්ස් හෙවන් හෙවත් බදු කෙම්බිම් කියන්නේ සාමාන්‍යයෙන් රටවල්වල දකින්න ලැබෙන ආදායම් බදු සම්පූර්ණයෙන් නැති හෝ බදු ඉතා අඩු බල ප්‍රදේශ. ඇතැම්විට බදු කෙම්බිමක් සිංගප්පූරුව, මොනාකෝ, ශීෂෙල්ස් ආදී රටක් විය හැකියි. නැත්නම් ප්‍රාන්තයක් හෝ නගරයක් විය හැකියි. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ නුදුරේදී හැදෙන කොළඹ පෝට් සිටිය වාගේ බල ප්‍රදේශයක් විය හැකියි.)
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ. නිරූපමා රාජපක්ෂගේ අභාවප්‍රාප්ත පියා ඔහුගේ ඥාති සහෝදරයෙක්. ජනාධිපතිවරයාගේ වැඩිමල් සහෝදරයා මහින්ද රාජපක්ෂ රටේ අගමැතිවරයා. මානව හිමිකම් සංවිධාන ජාලවලින් මේ සහෝදරයන්ට යුධ අපරාධ චෝදනා එල්ල කරනවා. රජයේ හිටපු බලධාරීන් චෝදනා කරන විදියට රාජපක්ෂ පවුල ඩොලර් බිලියන ගණනක ධනස්කන්ධයක් ගොඩගසා ඩුබායි, ශීෂෙල්ස්වල සහ සෙන්ට් මාටින්වල ගොඩගසා තිබෙනවා. අඩු තරමේ පවුලේ සාමාජිකකයන් අට දෙනෙකු සහ ගජමිතුරන් ගැන විමර්ශන කරලා තියෙනවා. ඇතතැම් අයට මූල්‍ය වංචා, දූෂණය සහ මූල්‍ය අපහරණය ගැන චෝදනා ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන්.
නිරූපමා රාජක්ෂගේ සැමියා නඩේසන් තමන්ගේ ඥාතියෙකු වන රජයේ අමාත්‍යවරයෙකුට රජයේ අරමුදල් අවභාවිතා කරමින් මන්දිරයක් තැනීමට උදව් කළ බවට චෝදනාවලට මුහුණදෙනවා. 2015 දී ගෝඨාභය රාජපක්ෂගේ දිවුරුම් ප්‍රකාශයක ඔහු කියා තිබෙනවා තමන් සහ පවුලේ ඇතැම් සාමාජිකයන් පළිගැනීමේ චේතනාවෙන් යුත් සාවද්‍ය ප්‍රචාරක ව්‍යාපාරයක ඉලක්ක වී තිබෙන බව. ඒ වගේම 2016 වර්ෂයේ චෝදනා ‘දේශපාලන වුවමනා මත ගෙතූ ව්‍යාජ ඒවා’ බව.
අයිසීඅයිජේ ආයතනය මේ ගැන නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් යුවළගෙන් විමසූ පසු ඔවුන් කියා තිබුණේ තමන්ගේ ‘පෞද්ගලික කාරණා තමන්ගේ උපදේශකයන් සමඟ නිවැරදිව කළමණාකරණය කරනවා’ කියලයි. තමන්ගේ සමාගම් සහ පදනම් ගැන අදහස් දැක්විම ප්‍රතික්ෂේප කරලා තිබුණා.
ආසියාසිටි ආයතනයෙන් විමසුවාම ඔවුන් කියා තිබුණේ තමන්ගේ ෆර්ම් එක ‘ඉහළම ව්‍යාපාරික ප්‍රමිතීන්වල කැප වී සිටින’ බව. සියලු නීති සහ රෙගුලාසිවලට අනුකූලව තමන්ගේ මෙහෙයුම් සිදු කෙරෙන බව තතවුරු කරනවායැයි ඔවුන් කියා තිබුණා. කෙසේ වෙතත් නඩේසන් සහ නිරූපමා යුවළගේ වත්කම් ගැන ඒ සමාගමත් උත්තර දීලා තිබුණේ නෑ.
රජ පරපුර සිවිල් යුද්ධය මැද නැගී සිටී
සිවිල් යුද්ධය සියවස් කාලක් තිස්සේ ශ්‍රී ලංකාව ආලපාළු කළා. යුද්ධයේ මුල් බීජ 1948 දක්වා විහිදෙනවා. ඇල්වින් රාජපක්ෂ (ඩොන් ඇල්වින් රාජපක්ෂ කියන්නේ රාජපක්ෂ සහෝදරවරුන්ගේ පියා ඩි.ඒ. රාජපක්ෂ) ඇතුළු ජාතිකවාදීන් සිංහල බහුතරයට ඇතැම් වරප්‍රසාද ලබා දුන්නා. එමගින් එරට දෙමළ ජාතික සුළුතරය පරාරෝපණය කළා. (පිට අය බවට පත් කළා.)
1983 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් කැරළිකාර කණ්ඩායම රජයේ සෙබලුන් 13 දෙනෙකු ඝාතනය කිරීමෙන් පස්සේ ගැටුම උග්‍ර වුණා.
ඉන්පසු වසර කිහිපය ගෙවී ගියේ බෙදුම්වාදින් මෙන්ම රජයේ හමුදා පැත්තෙන් සිදු කළ වධහිංසන, පැහැරගැනීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ සිවිල් වැසියන් සමූහඝාතන මැද. කොටි සංවිධානයට එරෙහිව සටන් කළ එක් හමුදා කණ්ඩායමක නායකයෙක් වුණේ ගෝඨාභය රාජපක්ෂ. ඩොන් ඇල්වින්ගේ පුතා. ගෝඨාභයව හැඳින්වුවේ ‘ද ටර්මිනේටර්’ යන නමින්. ඒ ඔහුගේ අනුකම්පා විරහිතභාවය නිසා හැදුණු නාමයක්.
ලීක් වුණ වාර්තා පෙන්වාදෙන්නේ යුධ ගැටුම තීව්‍ර වෙද්දී දැන් 59 හැවිරිදි නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා සැකිළි සමාගම් සහ පදනම් අක්වෙරළ බලප්‍රදේශවල පිහිටුවමින් සිටි බව. මෙහෙම අක්වෙරළ ආයතන හදන්නට හේතු විදියට ලීක් වූ ෆයිල්වල සඳහන් වුණේ ‘රහසිගතභාවය සහ බූදල් සැලසුම්කරණය’ වෙනුවෙන් හැදූ බව.
ඉන්දුනීසියාවේ සහ පිලිපීන ඒකාධිකරවාදින් වන සුහර්තෝ සහ ෆර්ඩිනන්ඩ් මාකෝස් ඇතුළු කලාපයේ අනෙකුත් බල සම්පන්න ප්‍රභූන් මේ නිදහසට කරුණම කියා තියෙනවා.
1990 දී බ්‍රිතාන්‍යයේ උගත් ව්‍යාපාරිකයෙකු සහ ශ්‍රී ලාංකික හින්දු සහනාධාර වැඩසටහන් සහ ආගමික ස්ථානවල ආධාරකරුවෙකු වන නඩේසන්, ප්‍රංශ වෙරළ තීරයේ ඇති බ්‍රිතාන්‍ය කිරීටයට අයත් චැනල් දූපත්වල පදනමක් සහ සැකිලි සමාගමක් පිහිටවූවා.
අභ්‍යන්තර වාර්තාවලින් පෙනෙන්නේ ශ්‍රී ලංකා රජය සමඟ ව්‍යාපාර සිදු කරන විදේශ ව්‍යාපාරවලට උපදේශන සේවා ලබා දීමෙන් පැසිෆික් කොමෝඩිටීස් නම් වූ එම සමාගම ඩොලර් මිලියන ගණනක් එකතු කර ඇති බව. එක් ගනුදෙනුකරුවෙක් වන්නේ Contrac GmbH. මෙය ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සමාගම වන ශ්‍රී ලංකන් එයාලයින්ස් සමාගමට ගුවන් පථ බස් රථ සැපයූ ජර්මනියේ නිෂ්පාදන සමාගමක්. මේ ගැන විමසූ විට ජර්මානු සමාගම කියා තිබුණේ ඒ ගැන ප්‍රතිචාර දැක්විය නොහැකි බව. මේ කියන ගනුදෙනුව අවුරුදු 31ක් පරණ බවත්, එම නිසා භෞතිකකමය දත්ත ලේඛනාගාරවල නොමැති බව.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය 1991 මැයි මාසයේදී උත්සන්න වෙද්දී, නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් රොසෙටි ලිමිටඩ් සමාගම නම් තවත් සැකිලි සමාගමක් පිහිටුවාගත්තා. එය චැනල් දූපත් සමූහයේ ජර්සි දූපතේ පිහිටුවාගත් එකක්. රහසිගත ලිපිගොනු අනුව එය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආයෝජන සඳහා උපදේශන සේවා සපයන ආයතනයක්.
මෙම යුවළ සිඩ්නිවල ඩාලින් දූපත් අසල සුඛෝපභෝගී මහල් නිවාසයක් මිලදී ගැනීමට රොසෙටි සමාගම පාවිච්චි කළා. එම සැකිලි සමාගමම පාවිච්චි කරමින් ලන්ඩන්වල මහල් නිවාස තුනක් මිලට ගත්තා. එකක් තේම්ස් නදිය අසල. ඒ නිවාසය පසුකාලීනව ඩොලර් 850,000කට අලෙවි කළා. මිලියන 4ක් වටින තවත් මහල් නිවාස වාණිජමය පදනමෙන් කුලියට ලබා දුන්නා.
මෙම දේපල මිට කලින් උක්ත යුවළට සම්බන්ධකම් දැක්වුවේ නෑ. චැනල් දූපත්වල සමාගම් පාවිච්චි කරමින් ඒවා මිලදී ගැනීමෙන් සැබැවින්ම එය තහවුරු වෙනවා. එම බල ප්‍රදේශය තුළ තියෙන සමාගම්වලට ඒවායේ සැබෑ අයිතිකාරයන් මහජන කලාපයෙන් සඟවා තියාගන්නත්, සාපේක්ෂව අඩු බදු හෝ සම්පූර්ණයෙන් බදුවලින් නිදහස් වෙලා ඉන්නත් අවසර ලැබෙනවා.
අක්වෙරළ ධන නිධානය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙද්දී, නිරූපමා දේශපාලනයට පිවිසුණා. 1994 දී ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
බල යුවළ
2009 දී ශ්‍රී ලංකා රජය දෙමළ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කළා. ඒ අනුව සියවස් කාලක් තිස්සේ තිබුණ යුද්ධය අවසන් වුණා.
ගෝඨාභය රාජපක්ෂගේ සහෝදර මහින්ද රාජපක්ෂ කැරළිකාරයන් පැරදවූ නායකයා ලෙස වර්ණනාවට ලක් වුණා. යුරෝපා සංගමයේ නියෝජිතයන් ඇතුලු තවත් පාර්ශ්වයන්ගේ යුධ අපරාධ චෝදනා තිබුණත්, ඔහු දෙවැනි වතාව සඳහා 2010 දෙවැනි ධුර කාලය වෙනුවෙන් ජනාධිපතිවරණය ජයගත්තා.
මහින්ද රාජපක්ෂ තමන්ව ආරක්ෂක, මුදල්, වරාය, ගුවන්, අධිවේගී මාර්ග අමාත්‍යධුර තමන්ට ලබා ගත්තා. ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ලෙස සහෝදර ගෝඨාභය රාජපක්ෂ පත් කළා. අනෙක් සහෝදරයා වන බැසිල් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කළා. තවත් සහෝදරයෙක් වන චමල් පාර්ලිමේන්තුවේ කථානායක වුණා.
නිරූපමා රාජපක්ෂටත් රජයේ තනතුරක් ලැබුණා. ජල සම්පාදන සහ ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍යධුරය. සියල්ල එකතු වී රාජපක්ෂ පවුල ජාතික අයවැයෙන් සීයට 70ක් පාලනය කරපු බව අල් ජසීරා මාධ්‍ය ආයතනය වාර්තා කරලා තියෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය ලෝකය තුළ නිරූපමා රාජපක්ෂ වැනි නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් ‘දේශපාලනික අනාවෘත පුද්ගලයන්’ ලෙස හෙවත් පීඊපී යන කෙටි නාමයෙන් හඳුන්වනවා.
මෙම යෙදුමෙන් හඳුන්වන්නේ දේශපාලන ආයතනවල බලය හිමි, දූෂණයට විවෘත විමේ වැඩි ඉඩකඩක් ඇති පුද්ගලයන්. තමන්ගේ තනතුරු ආර්ථික වාසි සඳහා අවභාවිතා කිරීමට වැඩි ඉඩකඩක් තිබීම උදාහරණයක්. එවැනි පීඊපී කෙනෙකු නීතිවිරෝධී කටයුත්තක යෙදෙන බවට සැකයක් තිබේ නම් මූල්‍ය සේවා සපයන්නන් ඒ ගැන රජයට දැනුම් දිමට බැඳී සිටිනවා.
ආසියාසිටි ආයතනය 2010න් පසු නිරූපමා රාජපක්ෂව පීඊපී ගනුදෙනුකරුවන් සිටින විශේෂ රෙජිස්ටරයකට ඇතුලත් කරන්න පටන් අරන්. නිරූපමා රාජපක්ෂගේ සැබෑ නම ඇගේ පවුලට අයත් අක්වෙරළ හිමිකම්වලට අයත් ලිපිගොනුවල සඳහන් වී ඇත්තේ ඉතා කලාතුරකින්. ඇතැම් අවස්ථාවල ඇගේ නම සඳහන් වී තිබෙන්නේ ‘වයිෆ් ඔෆ් සෙට්ලර්’ යනුවෙන්.
ආසියාසිටි නිලධාරීන් කීවේ දූෂිත හැසිරීම ගැන මාධ්‍ය වාර්තා පළ වූ පසු ඔවුන් නඩේසන්ගේ ඇතැම් මූල්‍ය හුවමාරු විමර්ෂණයට ලක් කළ බව. ඒ බව ලිපිගොනුවලිනුත් පෙනී යනවා. එහෙත් ලිපිගොනු අනුව පෙනෙන්නේ එම සොයාබැලිම අඩුපාඩු සහිත එකක් කියා. කළු සල්ලි සුදු කිරීම ගැන විමර්ශනය භාරව සිටි නිලධාරියා නඩේසන්ගේ පසුබිම ගැන විස්තරාත්මක තොරතුරු සැපයීමක් නොකරපු බව එහි තියෙනවා. එසේ පසුබිම සොයාබැලීමකදී ශ්‍රී ලංකාවේ සිටි අක්වෙරළ ගිණුම් වෙත සල්ලි ආවේ කොහොමද කියා හඳුනාගැනීමට ඉඩ තිබුණා. ගනුදෙනුකරුගේ ක්‍රියාකාරකම් තක්සේරු කිරීමේදී ආසියාසිටි ආයතනයේ සේවකයන්ට තමන්ගේ ගනුදෙනුකරුගේ ආවර්තිත (මුල ඉඳන් මේ දක්වා කාලෙන් කාලෙට, පිළිවෙලට) ක්‍රියාකාරකම් ‘නිශ්චය කරන්න බැරි වූ’ බව කියනවා.
ආසියාසිටි අයිසීඅයිජේ වෙත කියා තිබුණේ තමන් ඉතා තද අනුකූලතා වැඩසටහනක් අනුව කටයුතු කරන බව. එහෙත් ‘කිසිම අනුකූලතා වැඩසටහනක් නොවරදිනසුලු එකක් නෙවෙයි’ කියා ඔවුන් ඊමේල් හරහා දක්වපු උක්ත ප්‍රතිචාරවලදී කීවා.
‘ප්‍රශ්නය අපි හඳුනාගත් පසු, අපි ගනුදෙනුකරු සමග සම්බන්ධතාව ගැන බලය හිමි ආයතනවලට කළ යුතු දැනුම්දීම් කරන්න අවශ්‍ය පියවර ගත්තා.’ යනුවෙන් ආසියාසිටි ආයතනය කියා තියෙනවා.
තමන්ගේ බිරිඳ රජයේ තනතුර බාරගත් පසු, නඩේසන් නව රහස් බල ප්‍රදේශ වෙත වත්කම් හුවමාරු කරන්න පටන් ගත්තා. ආසියාසිටි ඔහු වෙනුවෙන් 2012 දී නවසීලන්තයේ පදනමක් පිහිටවූවා. පසුව එය දකුණු පැසිෆික්හි කුක් දූපත් වෙත මාරු කළා. කළු සල්ලි සුදු කිරීමේ සිදුවීම්වලට ඉඩ ඇති, ප්‍රතිලාභින්ව උසාවි නියෝගවලින් පවා ආරක්ෂා කරන කලාපයක් ලෙස මෙම කලාපය ඇමෙරිකානු නීතිය ක්‍රියාත්මක කරන අංශ හඳුනාගෙන තිබෙනවා.
ආසියාසිටි ආයතනය පැසිෆික් කොමෝඩිටීස් ආයතනය චැනල් අයිලන්ඩ් සිට සමෝවා දක්වා මාරු කළා. එය තවත් දකුණු පැසිෆික් කලාපයේ දූපත් රාජ්‍යයක්. මේක ‘හානිකර වරණීය බදු රාජ්‍ය’ ප්‍රතිපත්තිය නිසා අනුපකාරී (අනෙකුත් රටවල් එක්ක සහයෝගයෙන් කටයුතු නොකරන) රාජ්‍යයක් විදියට යුරෝපා සංගමය කළු ලැයිස්තුවට ඇතුළත් කර ඇති රටක්.
මේ වෙද්දී නඩේසන්ගේ උපදේශනන සමාගම කලාකෘති එකතුවක හිමිකාරීත්වය දරන්නට පටන් ගත්තා. ශ්‍රී ලංකාවේ ප්‍රකට කියුබිස්ට් කෙනෙක් (ජ්‍යාමිතියට අනුකූලව අඳින චිත්‍ර ශිල්පියෙක්. චිත්‍ර කලාවේ සිංහලෙන් මෙයට පාවිච්චි කරන නිවැරදිම වචනය සොයාගැනීමට නොහැකි වූවාට සමාවෙන්න.) වන ජෝජ් කිට්ගේ චිත්‍ර සහ ඉන්දියානු කලාකරුන් වන ජාමිනී රෝයි (ඉන්දියානු සහ බටහිර ආර මුසුකළ පුරෝගාමියා) සහ මක්බූල් ෆිඩා හුසේන් (ඉන්දියාවේ පිකාසෝ ලෙස ප්‍රකටයි) ඒ අතර තිබෙනවා.
2014 වෙද්දී මෙම එකතුව කලාකෘති 51ක් දක්වා වර්ධනය වුණා. එහි සම්පූර්ණ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 4ට වැඩියි. ඇතැම් කලාකෘති ලන්ඩන් ගබඩා සංකීර්ණයේ සඟවා තැබුවා. තවත් නිර්මාණ ජිනීවා නිදහස් තොටුපළේ රඳවා තැබුවා.
කලාව පිළිබඳ ආර්ථික විද්‍යා විශේෂඥයෙක් වන සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය ජෝන් සාරෝබෙල් කියා තිබුණේ ඇතැම් කලාකෘති එකතු කරන්නන් එම කලාකෘතිවලට සලකන්නේ තවත් එක් වත්කමක් ලෙස පමණක් බව. ඉඩම්, වතුපිටි, රත්තරන් වාගේ. ‘මේ වටිනාකම් තියාගෙන ඉඳලා ඊළඟ අයට බාරදෙනකොට, ඒ වත්කම් විවිධාංගීකරණය කරන්න පාවිච්චි කරන තවත් එක වත්කමක්.’ ඔහු කියා තිබුණා.
යුවළට අයිති කුලියට දිය හැකි දේපළ වසරකට ඩොලර් දහස් ගණන් ලාභ ලැබුවා. ඒ කුලී (චෙක්පත් ආදී ක්‍රම වෙනුවට) මුදල්වලින් (කෑෂ්) අය කළා. ලන්ඩන්හි නඩේසන් සමග කටයුතු කළ ඒජන්තයන් පසුකාලීනව කුලී නිවැසියන් බවට පත් වුණා. සිඩ්නිවල කොන්ත්‍රාත්කරුවෙක් මෙම යුවළට අයිති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ටීවී, ජනෙල් ආවරණ සහ අනෙකුත් උපාංග නිවැරදිව වැඩ කරනවාදැයි විමසීම් කළා.
අක්වෙරළ ක්‍රියාකාරකම්වල කලබල අස්සේ නඩේසන් කොළඹ ආසන්නයේ අක්කර 16ක ඉඩම් කැබැල්ලක් මිලට ගත්තා. පසුකාලීනව විමර්ශකයන්ගේ සියුම් පරීක්ෂාවට ලක් වූ තැනක්.
නඩේසන් ශ්‍රී ලංකාවේ හිල්ටන් හෝටලය අයත් වූ රාජ්‍ය සමාගමක සභාපති බවට පත් වුණා. ඔහු ඉහළම සමාජයේ සහභාගීත්වයෙන් යුත් ප්‍රිය සම්භාෂණවල මුලසුන ගත්තා.
2014 දී ශ්‍රී ලංකා රජය ද්විත්ව පුරවැසිභාවයට ඉඩකඩ විවර කරන නීති සම්පාදනය කිරීම ගැන සලකා බැලුවා. නඩේසන් සයිප්‍රස් ජනරජයේ ද්විත්ව පුරවැසිභාවයට ඩොලර් මිලියන 1.3ක් තැන්පත් කරමින් අයදුම් කරපු බව රහසිගත ලිපිගොනුවලින් හෙළි වෙනවා.
සයිප්‍රස්වල තියෙනවා වාගේ ‘පුරවැසිභාවය විකිණිමට ඇත’ පන්නයේ වැඩසටහන්වලින් දූෂිත දේශපාලනඥයන් සහ අපරාධකරුවන් ප්‍රයෝජන ගත්තා. එමගින් වීසා නොමැතිව යුරෝපා සංගමයට ගමන් කිරීමටත් විශාල සුපරීක්ෂාවකට ලක් නොවී සල්ලි ඒ පැත්තට මාරු කිරීමටත් අවස්ථාව ලැබෙනවා. කෙසේ වෙතත් එම අයදුම්පත සාර්ථක වුණාද, පුරවැසිභාවය ලැබුණාද කියා ලිපිගොනුවල නැහැ.
රජයේ අමාත්‍යවරියක විදියට නිරූපමා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කළා. ආසියානු අගමැතිවරුන් එක්ක අතට අත දෙමින්, සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් කටයුතු කළා. එක් අවස්ථාවක ඇය ඉස්මතු කර පෙන්වුවේ පිරිමින්ගෙන් ගහන පරිසරයක කාන්තාවකට දේශපාලනය කිරීමට ඇති අමාරුකම් ගැන.
‘කාන්තාවන් විදියට, වඩාත් අවංක වීම සහ දූෂණයෙන් සහ වංචාවට නතු නොවීම නිසා පිරිමි අයට වඩා වැඩි වටිනාකම් අපට තියෙනවා.’ ඇය 2014 දී දේශීය සඟරාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී කියනවා. ‘දැන් ඉන්නවාට වඩා කාන්තාවන් රටේ බලයට පත් වෙනවා නම්, ඒක වඩා යහපත්.’
ධන නිධානය පස්ස හැරවීම
2015 දී රාජපක්ෂ පවුලේ ධන නිධානය නාට්‍යරූපී විදියට අනෙක් පස හැරුණා. දූෂණය සහ ඒකාධිපතිවාදය ගැන චෝදනාවලට මුහුණ දී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ මැතිවරණයේදී පරාජය වුණා. ඒ වෙනසක් පොරොන්දු වෙමින් තරඟ කළ මීට පෙර දේශපාලන හිතවතෙක්ව සිටි කෙනෙකුට (ඒ කවුද කියා ලාංකිකයන් දන්නවානේ). කෙටි කාලයක් තුළ නව ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු (රාජිත සේනාරත්න) කීවේ රාජපක්ෂ රජයට සමීප පුද්ගලයන් ඇමෙරිකන් ඩොලර් බිලියන 10ක් වටිනා මුදල්, දුෂ්ප්‍රසිද්ධ බදු කෙම්බිමක් වන ඩුබායි වෙත හුවමාරු කළ බව. ඒ මුදල ශ්‍රී ලංකාවේ විදේශ සංචිතවලට වඩා විශාල බව රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කීවා.
මහින්ද රාජපක්ෂ කිසිදු වරදක් පිළිගත්තේ නෑ. රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයන් ගණනාවක් දූෂණ වංචා විමර්ශන ගණනාවකට මුහුණ දුන්නා.
නිරූපමාගේ නියෝජ්‍ය ඇමතිකම අහිමි වුණා.
වසරකට පසු, ඇය සහ ඇගේ සැමියා ඩොලර් මිලියන 1.7ක මූල්‍ය අපහරණ චෝදනාවකට මුහුණදුන්නා. ඒ අවුරුදු හයකට පෙර නඩේසන් මිලට ගත් අක්කර 16ක ඉඩම් කොටසට අදාල එකක්.
2016 මාර්තු මාසයේදී මූල්‍යමය බලධාරීන් යුවල කැඳවා ඉඩම් ගැන ප්‍රකාශ ලබා ගත්තා. මෙම ඉඩමේ මන්දිරයක් ගොඩනගා තිබුණා. ඇත්තටම එය අයත් වී තිබුණේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂට. මෙම මන්දිරය ගොඩනැගීමට මහජන අරමුදල් පාවිච්චි කළාද, නැද්ද යන්න පිළිබඳ පරීක්ෂණය සිදු වුණා.
එම අධිකරණ ක්‍රියාවලිය දේශීය මාධ්‍යවලින් වාර්තා කළා. මන්දිරය සැලසුම් කළ ගෘහ නිර්මාණ ශිල්පියා බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ජනාධිපතිවරයාගේ දෛවඥයා සමඟ නිවසට පැමිණි බව සාක්ෂ්‍ය ලබා දුන්නා. කායවර්ධන මධ්‍යස්ථානනයක්, නාන තටාකයක් සහ ගෙවත්තක් ඇතුළත් නිවසේ සැලසුම අමාත්‍යවරයාගේ කාර්යාලයෙන් අනුමත කළ බව ඔහු කියා තිබුණා.
ලීක් වූ ෆයිල් පෙන්වාදෙන්නේ 2016 වසර මැද දක්වා විමර්ශනය ගලා යද්දී නඩේසන් තමන්ගේ ආයෝජන සමාගමක් වෙනුවෙන් ඩුබායිවල බැංකු ගිණුමක් විවෘත කිරීමට සූදානම් වූ බව. එය ඩුබායිවල ලියාපදිංචි ‘ඇස්පැල්ට් ෆර්ම්’ සතු වුණා.
බැංකු නිලධාරියෙකු වෙත යැවූ රහසිගත ඊමේල් පණිවුඩයක ඔහු තමන්ව දේශපාලනඥවරියකගේ සැමියෙකු ලෙස හඳුන්වා තිබුණා. ‘බාගෙට විශ්‍රාමික’ ලෙසත්, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ කාමර 60ක් සහිත හෝටලයක හිමිකරුවෙකු ලෙසත් හඳුන්වා තිබුණා. තමන්ගේ ඊමේල්වල ඔහු නම යොදා තිබුණෙන් ටී.එන්. යන ඉංග්‍රීසි කැපිටල් අකුරු දෙක.
බැංකු නිලධාරියෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි සමාගම් බැංකු ගිණුමේ සියලු තොරතුරු සහ ව්‍යාපාර වාර්තා නිසි සම්ප්‍රජන්‍යතාව වෙනුවෙන් (වංචාවක් තියෙනවාදැයි සැකහැර දැනගන්නට) ඉල්ලා සිටියා.
නඩේසන් තැති ගත්තා.
ඔහු සම්පූර්ණ කැපිටල් අකුරුවලින් ඊමේල් පණිවිඩයක් ආසියාසිටි නිලධාරීන් වෙත යවා තිබුණා.
‘බැංකු නිලධාරීන්ට එකපාර හිතෙන හැමදේටම යටත් වෙන්න අපට බැහැ.’ කියා ඔහු දැඩිව ඒ ඊමේල් පණිවිඩයේ සඳහන් කර තිබුණා. ‘මේවා රහසිගත, සංවේදී තොරතුරු. අපට යම් මොහොතක සීමා ඉරක් ඇඳගන්න සිද්ධවෙනවා.’
නඩේසන් උක්ත තොරතුරු ඉල්ලූ බැංකුවට තවත් ඊමේල් ප්‍රතිචාරයක් යැව්වා.
‘කිසිම හේතුවක් නිසා එක්සත් අරාබි එමීර්වල තියෙන බැංකු ගිණුම්වල තොරතුරු (සමාගම) දෙන්නේ නැති බව කරුණාකර සටහන් කර ගන්න. බැංකු ගිණුම විවෘත නොකරන තත්වයක් ආවත්.’
ඔක්තෝබර් මාසයේදී නඩේසන් මහතා කොළඹදී කලින් කී මන්දිරය සහ ඉඩම සම්බන්ධ අපහරණ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට පත් වීමට මොහොතකට පෙර ඔහු ශ්‍රී ලංකාවේ සිටි අගමැති රනිල් වික්‍රමසිංහට පෞද්ගලික ලිපියක් ලියා තිබුණා. ඒ තමන්ගේ නිර්දෝෂීභාවය සඳහන් කරමින්. බැසිල් රාජපක්ෂ එම ඉඩමේ නිවෙසක් තැනූ බව මාධ්‍ය වාර්තා පළ වෙන තුරු ඔහු එවැන්නක් ගැන දැන නොසිටි බව ලිපියේ තිබුණා. පසුව තමන්ගේ නමට හානියක් වන නිසා එම ඉඩම විකිණූ බව ඔහු එහි සඳහන් කර තිබුණා.
‘මා වරදක්, නීතිවිරෝධි දෙයක් සිදු නොකළේයැයි අවබෝධ කරගෙන මා හට යුක්තිය ඉටු කරන ලෙස යහපත් ඔබෙන් ඉල්ලා සිටිනවා’ යනුවෙන් එම ලිපියේ සඳහන්. ‘මගේ ගනුදෙනු විනිවිදභාවයෙන් යුත්, විධිමත් ඒවා’ යනුවෙන් ඒ ලිපියේ වැඩිදුරටත් තියෙනවා.
චෝදනා අවිශ්වසනීය සාක්ෂ්‍ය මත පදනම් වී තිබෙන බව සඳහන් කරමින් ඔහු වරදක් කර නැතැයි සඳහන් කර තිබුණා. මෙම චෝදනා ‘අවසානයේ යුක්තිය විහිළුවට ලක් කරනු’ ඇතැයි ඔහු සඳහන් කර තිබුණා.
අභ්‍යන්තර වාර්තා අනුව ආසියාසිටි නිලධාරීන් නඩේසන් සහ ඔහුගේ පදනම් ‘දැනට සිදුවෙන නිරීක්ෂන නිසා අධි අවදානම්’ කාණ්ඩයට ඇතුළත් කළා. අපරාධ චෝදනා ‘තවම සිදුවෙන’ බව සටහන් කළා. ‘ඒසියන් ට්‍රයිබියුන්’ සඟරාවේ ප්‍රවෘත්ති වාර්තාවක් ගනුදෙනුකරුගේ සමාලෝචන ගොනුවට අමුණා තිබුණා. එම ප්‍රවෘත්ති වාර්තාවේ ඇතැම් කොටස් හයිලයිට් කර තිබුණා. නඩේසන්ට රටෙන් පිටවීම තහනම් කර ඇති බව ඇතුළු තොරතුරු එහි තිබුණා.
කෙසේ වෙතත් ආසියාසිටි ආයතනය දිගටම නඩේසන්ට සේවය කළා. සැකිලි සමාගම් සහ පදනම් කළමණාකරණය කළා. ඒ වෙද්දී ඇමෙරිකන් ඩොලර් මිලියන 10ක පමණ වත්කම් ඔවුන් කළමණාකරණය කරමින් සිටියා. වසර හතරකට පසු 2020 දී සිංගප්පූරුවේ මූල්‍ය අධිකාරිය කළු සල්ලි සුදු කිරීමට එරෙහි ප්‍රතිපත්තිවලට හරිහැටි අනුකූල නොවූ නිසාත්, මූල්‍යමය අපරාධවල යෙදුණු ගනුදෙනුකරුවන් හඳුනාගන්න බැරි වූ නිසාත් ඩොලර් මිලියන 793,000ක දඩයක් නියම කළා.
ධනයට අධිපති දෙවඟන
මෙලෙස දූෂණ වංචා විමර්ශන අතරමැද්දේ නඩේසන් ලන්ඩන්වල තිබුණු කලාකෘති ‘ජිනීවා නිදහස් වරාය’ වෙත යැවීම භාණ්ඩ ප්‍රවාහනකරුවන් පිරිසකට බාර දුන්නා. අනෙකුත් (බදුවලින්) නිදහස් වරායන් වාගේම අවුරුදු 133ක් පරණ ජිනීවා නිදහස් වරායේත් බදු සහ රේගු ගාස්තු නැතිව භාණ්ඩ ගබඩා කරන්න සහ හුවමාරු කරන්න, සමාගම්වලටත් පුද්ගලයන්ටත් නිදහස ලැබෙනවා.
කළු සල්ලි සුදු කිරීමට එරෙහි විශේෂඥයන් කියන්නේ පෞද්ගලික බැංකු හරහා ගනුදෙනුවන් සිදුකරන රහසිගත ගනුදෙනුවලදී, අනන්‍යතා හංගන්නට නිදහස් වරායන් වැඩි වැඩියෙන් පාවිච්චි කෙරෙන බව. ජිනීවා කැන්ටනය (ප්‍රාන්තයට ස්විට්සර්ලන්තයේ කියන නම කැන්ටනය.) සතුව බහුතර කොටස් හිමි ජිනීවා නිදහස් වරායේ ගබඩා සංකීර්ණය බදුවලින් බේරිලා වටිනා දේවල් හංගන්න වගේම විමර්ශන නිලධාරීන්ගෙන් සහ විගණන නිලධාරීන්ගේ ඇස්වලට වැලි ගහන්න පාවිච්චි කෙරුණා.
ස්විස් පොලීසියට අනුව කලාකෘති ජාවාරම්කරුවන් කොල්ලකෑ රෝමන් සහ එට්‍රස්කන් (පැරණි ඉතාලි ශිෂ්ඨාචාරයක්) සංස්කෘතීන්ට අයිති පුරාවස්තු වගේම තවත් වටිනා පුරාවස්තු ඇසුරුම් පෙට්ටිවල දමා ජිනීවා නිදහස් වරායේ සඟවා තියෙනවා. (පොලීසියෙන් එවැනි හැඳින්වීමක් ලැබුණාට පස්සේ, නිදහස් වරායේ මැනේජර්වරුන් පසුකාලීනව නිසි සම්ප්‍රජන්‍යතාව වෙනුවෙන් පරීක්ෂා කිරීම් සිදු කරන බව එහි මැනේජර් ඩේවිඩ් හිලර් රොයිටර්ස් වෙත කියා තිබුණා.)
කෙසේ වෙතත් 2016 දී අයිසීඅයිජේ සාමූහිකය සිදුකළ පැනමා පත්‍රිකා ගවේෂණයේදි හෙළිදරව් වුණේ අමඩෙයෝ මොඩග්ලියානි නම් කලාකරුගේ ඇමෙරිකන් ඩොලර් මිලියන 25ක් වටිනා චිත්‍රයක් පැනමාවල සැකිලි සමාගමක නාමයෙන් ජිනීවා නිදහස් වරායේ ගබඩා කර තිබූ බව. ‘හිඳසිටින මිනිසා (වේවැලකට හේත්තු වී)’ නම් එම චිත්‍රය ‘රුඩොල්ෆ් හෝලර්’ නම් කලාකෘති ගබඩා කරන සමාගමක් සතු ගබඩාවක තිබුණේ. නඩේසන්ගේ කලාකෘති ගබඩා කර තිබුණේත් එම සමාගම යටතේ තිබුණු ගබඩාවකමයි.
ආසියාසිටි සහ තමන්ගේ කලාකෘති එකතුව කළමණාකරණය කල අය වෙත යැවූ ඊමේල් පණිවුඩයක් අනුව 2017 අග නඩේසන් 19 වැනි සියවසේ ඉන්දීය කලාකරුවෙකු වූ රාජා රවී වර්මාගේ නිර්මාණ 6ක් පෞද්ගලික පරිහරණයට වෙන් කරන්නැයි ඉල්ලා තිබුණා. එලෙස පෞද්ගලික පරිහරණයට වෙන් කළ නිර්මාණ අතර ලක්ෂ්මි දෙවඟනගේ පිළිරුවත් තියෙනවා.
නඩේසන්ගේ උපදේශකයන් කියා තිබුණේ නිල වශයෙන් ලියකිවිලි අනුව ඒ කලාකෘතිවල හිමිකාරීත්වය තිබුණු (නඩේසන්ටම අයිති) සමාගමෙන් එම නිර්මාණ ‘ඉල්ලාගන්න’ බලාපොරොත්තු වන බව.
‘ඔයා පදනමක් හදලා, ඒ යටතේ වත්කම් ලියාපදිංචි කරලා තමන්ගේ බඩුවල අයිතිකාරකම හංගගන්න උත්සාහ කළොත්, ඒ බඩුවක් තමන්ගේ පාවිච්චියට ගනිද්දී, ඒක ඔයාට අයිති නෑ වගේ තමයි නිල වශයෙන් පේන්නේ.’ කලාකෘති පිළිබඳ විශේෂඥ සාරොබෙල් කියා තිබුණා. ‘ඒක නිකම් කාඩ්වලින් කරන දෘෂ්ඨි මායාවක්, විජ්ජාවක් වගේ.’
ලීක් වුණ ලිපිගොනුවලින් පේන විදියට රුඩොලෆ් හොලර් සමාගම නඩේසන්ගේ නමට අලුත් ගිණුමක් විවෘත කරලා, ජිනීවා නිදහස් වරායට ආපු කලාකෘති පිරිච්ච වෑන් එකේ තිබුණු වටිනා භාණ්ඩ ගබඩා කරන්න කලින්, 2018 ජනවාරිවල මේ කලාකෘති අයිති ගිණුමේ නම තිබුණෙන් නඩේසන්ගේවත්, නිරූපමාගේවත් නමට නෙවෙයි. මේ දෙන්නාගේ අක්වෙරල සමාගමක් වෙච්ච පැසිෆික් කොමෝඩිටීස් ලිමිටඩ් සමාගමේ නමට.
මේ ගැන විමසු විට රුඩොල්ෆ් හෝලර් ඊමේල් මගින් පිළිතුරු දී තිබුණේ ‘රහස්‍ය හේතු නිසා ආසියාසිටි සමාගගමේ බලය හිමි නිලධාරීන්ට පමණක් මේවා ඇතුළත් ගිණුම ගැන උපදෙස් ලබාදීම හෝ තොරතුරු විමසීම කළ හැකි බව කරුණාකර සැලකිල්ලට ගන්න.’ යනුවෙන්.
මේ ගැන අයිසීඅයිජේ වෙත කරුණු දැක්විම රුඩොල්ෆ් හෝලර් ප්‍රතික්ෂේප කර තිබුණා.
තමන්ගේ මරණයෙන් පසු කලාකෘති, ලන්ඩන්වල සහ සිඩ්නිවල මහල් නිවාස ආදිය තමන්ගේ දරුවන් දෙදෙනාට හිමි වන බව ආසියාසිටි වෙත උපදෙස් දී තිබුණා. දරුවන් ඒ වෙද්දී සයිප්‍රස් ජනරජයේ පුරවැසිභාවය ලබා තිබුණු බව ලීක් වූ දත්ත අනුව පෙනී යනවා.
කලාකෘති ගමන් කරවීමෙන් මාස කිහිපයකට පසු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන වාර්තා කර තිබුණේ රෙඩ් රූත් ඉන්වෙවස්මන්ට් ලිමිටඩ් නම් නඩේසන්ගේ අක්වෙරළ සමාගමකට අයත්ව හොංකොං දූපත්වල බැංකු ගිණුමක රඳවා තිබුණු ඩොලර් මිලියන 22ක මුදල් ගැන විමර්ශන සිදු කරන බව.
පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළිදරව් වුණේ එම (රෙඩ් රූත්) සමාගම රොසෙටි ලිමිටඩ් සමාගමෙන් ඩොලර් මිලියන 140,000 ක වාර්ෂික ණය ලැබු බව. රොසෙටි ලිමිටඩ් කියන්නේ කලින් සඳහන් කළ ජර්සි දූපතේ ලියාපිදිංචි නිරූපමාට සහ නඩේසන්ට අයිති සමාගම. පසුව රෙඩ් රූත් අරමුදල් බෙදාහැර තිබුණේ, කුක් දූපතත්වල නඩේසන්ට අයිති පදනමට.
නඩේසන් කියා තිබුණේ රෙඩ් රූත් ගැන රජයේ විමර්ශන ගැන තමන් නොදන්නා බව.
යළි බලයට
2018 වසර අග වෙද්දී 2015 බලයට පත් වූ ශ්‍රී ලංකා රජය දෙදරන්න ගත්තා. සිංහල බහුතරය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලට එරෙහි වුණේ ඒවා තමන්ගේ පරමාධිපත්‍යයට අභියෝග කරපු බව හිතලයි. ජනාධිපතිවරයා හිටි අඩියේම අගමැතිවරයාව බලයෙන් පහ කරලා තමන්ට කලින් ජනාධිපතිවරයා සහ කලින් ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ මහතාව එම තනතුරට පත් කළා.
පාර්ලිමේන්තුව එම පත් කිරීම නීතිවිරෝධී බව තීන්දු කරමින් එය අවලංගු කළා. කෙසේ වෙතත් මෙම දේශපාලන අර්බුදය රාජපක්ෂ සහෝදරවරුන්ට වාසිදායක වූ බව පෙනුණා. 2019 නොවැම්බරයේ යුද්ධය කාලයේ හිටපු නායකයෙක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂව ජනාධිපතිධුරයට පත් කර ගත්තා. ඒ සමගම ඔහු මහින්ද රාජපක්ෂව අගමැතිධුරයට පත් කළා. ඉන්පසු රජයේ ඉහළම තනතුරු අනෙකුත් පවුලේ සාමාජිකයන්ට ලබා දුන්නා.
2021 ජනවාරියේදී, නව ජනාධිපතිවරයා රජයේ කොමිසමක් පත් කළා. ඒ තමන්ගේ පවුලට සහ හිතවතුන්ට කලින් ආණ්ඩුව එල්ල කළ අපරාධ චෝදනා ගැන යළි විමසන්න. නඩේසන්ගේ ඉඩම පිළිබඳ චෝදනාවත් ඒ අතර තිබෙනවා. මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සහ අනෙකුත් විචාරකයන්ගේ විරෝධතා මැද, නඩේසන්ට එරෙහි චෝදනා ඉවත් කරන්න එම කොමිසම නිර්දේශ කළා. කෙසේ වෙතත් එම නඩුව තවමත් ඉදිරියට යමින් තිබෙනවා.
අයිසීඅයිජේ වෙනුවෙන් මෙම වාර්තාව සකස් කළේ මාධ්‍යවේදිනී ස්සිලා ඇලෙක්සි. ඇයට සහයෝගය ලබා දුන්නේ මාර්ගෝ ගිබ්ස්, එකෝ හ්වයි, මාරියෝ ක්‍රිස්තොදුද්ලු සහ කෙන්ටාරෝ ෂිමීසු.