හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ 10 වන විත්තිකාර අජාන් ගාර්ඩිය පුංචිහේවා යන දෙදෙනා නොමැතිව 2015 බැඳුම්කර නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පියවර ගන්නා බව නීතිපතිවරයා අද බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව බැදුම්කර ගනුදෙනුව පිළිබඳව නඩුව පවර ඇත්තේ, මහබැංකු බැඳුම්කර වෙන්දේසියකදී පොදු දේපළ වන රුපියල් මිලියන 688 ක මුදලක් සාපරාදී විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා යටතේය.
මේ වනවිට සිංගප්පුරුවේ ජීවත්වන පළමුවන විත්තිකාර අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිංගප්පුරු රජයෙන් කළ ඉල්ලීමට මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දැනුම් දී ඇත.
ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමසා ගන්නා ඉදිරි පියවර පිළිබඳ නිශ්චිතව මෝසමක් මගින් අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බවය.
නඩුවේ 8 විත්තිකරු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්වරයකු ලෙස කටයුතු කළ චිත්ත රංජන් හුළුගල්ලේ, නොනවත්වා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අමෙරිකාවට යාමට අවසර ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත යන විනිසුරු මඩුල්ල අද ප්‍රතික්ෂේප කළේ ය.