මොකක්ද බං මේ “ර‍ට හදනව” කියන්නෙ?

චන්දන ප්‍රසන්නගේ ෆේස්බුක් සටහනකි

දැන් සෑහෙන කාලයක් තිස්සෙ දියසෙන් කුමාරයයි අරුයි මූයි ඇවිත් “රට හදයි” කියල බලං ඉන්නව නෙ. එහෙම “රට හදන්න” කියල එකඑකාට ඡන්දෙ දීලත් පත්කරනව නෙ. දැන් ඒකේ අලුත් ම සීන් එක තමයි අනුර කුමාර දිසානායක. දැන් අනිත් උන් ඔක්කොටම දීලා උන් ෆේල් වෙලා නිසා 2024 දි අනුර කුමාරට නිකමට එක පාරක් දීල බලමු ලු; ඌ “රට හදයි” ද කියල.

මුං “රට හදනව” කියල හිතාගෙන ඉන්නෙ අර පරණ සිංහල, හින්දි ෆිල්ම්වල එහෙම වගේ කාර් එකේ බොනට් එකවත් අරින්න දන්නෙ නැති පොෂ් කෙල්ලෙක්ගෙ වාහනේ කැඩිලා මග නතර වුණාම කොල්ලෙක් ඇවිත් බොනට් එක ඇරලා මජං ටිකක් ගානෙන ඒකේ ඇණ මුරිච්චි එහාට මෙහාට කරල මෝටරේ ගැහුව ගමන් ස්ටාර්ට් වෙනව වගේ දැන් “කැඩිලා” තියෙන රට‍ “හදන්න” පුළුවන් වගේ එකක් ද?

ලෝකෙ කොහෙද එහෙම කවුරු හරි මිනිහෙක් හෝ පක්ෂයක් ඇවිත් සිංගල්-හෑන්ඩඩ්ලි රටවල් “හදලා” තියෙන්නෙ? එහෙම තියෙනවා අර ඉඩම්හිමි වැවැලිකාරයකුට ලොකු වත්තක් බූදලේට හම්බුණා වගේ පාලනය කරපු සිංගප්පූරුව වගේ රටවල්, නැත්තං විප්ලවේකින් හරි මොකකින් හරි දීර්ඝකාලීන ඒකාධිපති පාලන බලයක් අල්ලගත්ත පරණ සෝවියට් රුසියාව, ‍මාවෝගෙ චීනේ, උතුරු කොරියාව, ගඩාෆිගෙ ලිබියාව වගේ රටවල්. අම්මගෙ අප්පගෙ බූදලේ වගේ රටේ ඕන දෙයක් තමන්ට ඕන විදියට කරන්න පුළුවන් රටවල පාලකයෝ තමයි “රට හදනවා” කියල කිරි හොද්දක් හදනව වගේ තමන්ගෙ ම රෙසිපියකට රටවල් “හදල” තියෙන්නෙ. රෙසිපිය හොඳයි නම්, චෙෆ් දස්සය නම් ඌ ‍උගෙ ටේස්ට් එකට හරියන විදියට රට “හදනවා;” අනිත් උන්ගෙ හොද්ද රොස් වෙනවා.

බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටවල් එහෙම මොකෙක් හරි එකෙක් ඇවිත් තනි අතින් “රට හදනව” කියල එකක් නෑ. ඩිමොක්‍රොසිවල එහෙම මොකා ආවත් අම්මගෙ අප්පගෙ බූදලේ වගේ උට ඕන විදියට රට මකවලා හදන්න බෑනෙ. ලංකාව වගේ නමට-විතරක්-ඩිමොක්‍රාසිවල වුණත්, “මරලා හරි” පුටුව රැකගන්න ලෙවල් එකේ පාලකයකුට වුණත් කරන්න පුළුවන් දේවල් සීමිතයි. අනිත් එක මොනව කළත් ඔය ඉන්න අවුරුදු 5-10ට මේක මකවලා හදන්නත් බෑනෙ.

ඇත්තට ම ඩිමොක්‍රොසිවල තියෙන එක හොඳක් තමයි ඕක. දැන් ලංකාව ම උදාහරණෙකට ගත්තොත්, “රට හදන්න” හිට්ලර් කෙනෙක් ඕන කියල නෙ දැන් ඔය ඉන්න එකා ගෙනාවේ. ඌ හදනව කියන්නෙ හැදිල්ලක්… ඌ ඇවිත් තව ම යන්තං අවුරුදු දෙකක්වත් වුණේ නෑ, කට්ටිය කතාකරන්නෙ 2024 ගැන. ඉතිං නිකං හරි මූට ඔය ලෙනින්ට, ස්ටාලින්ට, මාවෝට, කිං ජොං උංට, ගඩාපිට හරි වගේ ඒකාධිපති බලයක් ලැබිල තිබුණ නං ඉතිං මේ යන විදියට ගිහින් අන්තිමේ අලබතල අමුවෙන් කකා ඉන්න වෙනවා මැරෙනකල් (එක්කො ඌ මැරෙනකල්, නැත්තං අපි මැරෙනකල්); මුගෙ “රට හදන” එක්ස්පෙරිමන්ට් එක ඉවරවෙනකල්. ඒත් තාමත් අපි නමට හරි ඩිමොක්‍රොසියක් නිසා අපට පුළුවන් 2024 දි දෙන්නෙ අනුර කුමාරටද බූරු පුතාට ද කියලත් කල්පනා කරන්න.

හැබැයි ඩිමොක්‍රොසිවල තියෙන “අවුල” අර පරණ සිංහල චිත්‍රපටිවල කොල්ලා ඇවිත් කාර් එක හදනකල් දාඩියට පවංගගහා ඉන්න කෙල්ල වගේ ඉඳලා “හා දැන් හරි” කීව ම එක පාරින් ස්ටාර්ට් කරනව වගේ කාටවත් ඇවිත් අපේ “කැඩිච්ච රට” “හදලා දෙන්න” බෑ.

අප කට්ටියම එකතුවෙලා සාමූහික ව “හදපු” රට තමයි මේ තියෙන්නෙ. දැන් අවුරුදු හැත්තෑගාණක් තිස්සෙ කවුරුත් බලය පාවිච්චි කරලා අපිව බයකරලා මේක අල්ලගෙන ඉඳලා නෑ. හැම අවුරුදු 5-10කට පාරක් අපි අපි ආසා උන්ව පත්කරගෙන තියෙනවා “රට හදන්න” කියලා. අපි පත්කරන්නෙ අපි ආසා උන්ව නිසා උනුත් අපි ආසා විදියට තමයි හැසිරෙන්නෙ. එහෙම නැති වුණොත් අපි ඊළඟ ඡන්දෙන් ඊ‍ට වඩා අපි ආසා දේවල් කරන එකෙක් ව ගේනව නෙ. ඉතිං මෙච්චර කාලයක් ගිහින් මේ රට ඇවිත් තියෙන විදිය අවුල් නම් ඒ කියන්නෙ ඒ ඒ කාලවල අපි ආසා වෙලා තියෙන දේවල් ටික අවුල්. එහෙම නැත්තං ඔය “රට හදනව” වගේ කරන්න බැරි දේවල් තමයි අපි බලාපොරොත්තු වෙලා තියෙන්නෙ. අපි ආසා කරන්න බැරි දේවලට නම්, අපි ඡන්දෙ දෙන්නෙ අපි ආසා දේවල් කියන උන්ට නම්, “තරුමල් කඩා දෙන්නෙමි” හරි “හඳනේ හාල් ගෙනත් දෙන්නෙමි” වගේ අපි ආසා දේවල් පොරොන්දු වෙලා ඡන්දෙ ගන්න උන්ට ම අවුලක් කියන්නත් බෑනෙ.

ඉතිං මම යෝජනා කරන්නෙ මේ වගේ එකක්: මේක මේ මම අලුතින් හොයාගෙන යෝජනාකරන එකකුත් නෙවෙයි; ලෝකෙ ඩිමොක්‍රොසි ක්‍රියාත්මක වෙන්න මෙහෙම තමා. ඒත් ලෙනින්ලා මාවෝලා වගේ ඒකාධිපති බලයක් හදලා ඒකෙන් “රට හදන්න” ට්‍රයි කරන්න ගිහින් පුක බිං ඇනුනට පස්සෙ ෂේප් එකේ ඇවිත් පාර්ලිමේන්තුවේ වාඩිවුණු ජේවීපිය වගේ පක්ෂවල බිංමට්ටමේ උන්ගෙ අර විප්ලවවාදී නැට්ට හැලිලා නැති නිසා (සහ ජේවීපියට ඡන්ද හම්බෙන්නෙ 3% වුණාට ඔය ගුරුගීතය, වානේ පන්නරය වගේ කොමියුනිස්ට් ප්‍රොපගැන්ඩා අදහන, සිරිමා ආච්චි දිගට ම හිටිය නම් “රට හදයි” කියල හිතන් ඉන්න අති බහුතරයක් ඉන්න නිසා) තාම ඔය “රට හදන නායකයෝ” ගැන ෆැන්තම් ලිම්බ් සින්ඩ්‍රොම් එක දරුණුවට ම තියෙනව නෙ.

දැන් මෙහෙමයි: අපි ඔය පාර්ලිමේන්තුව වගේ ආයතනවලට පත්කරන උන් හරහා දේශපාලනික ව කරන්න පුළුවන් වෙනස්කම් ප්‍රමාණය කොහොමත් සීමිතයි. ඔය මළගෙවල්වල නිදිමරද්දි රට හදන විදිය දේශනා කරන උන් කියනව වගේ ලංකාවේ වරකා ටින් කරලා පිටරට පටවන එක හරි ඔය කාලෙන් කාලෙට එන වතුරෙන් දුවන කාර් වගේ “නව නිෂ්පාදන” දියුණුකරලා රට යනව එක හරි කරන්න ආණ්ඩු ඕන නෑනෙ. ඔය කියන මොකේ හරි වාණිජ වටිනාකමක් තියෙනව කියල හිතනව නම් ඕන නෙකුනට පුළුවන් ඒ බිස්නස්වලට ඉස්වෙස්ට් කරලා ඔය කියන විදියට විදේශ විනිමය ‍හරි මොනව හරි උපයන්න. ඔය කියන විදියට රටේ හෙන ලොකු සම්පත් තියෙනව නම්, ඒවා ආණ්ඩුවෙන් තහනම් කරලත් නැත්තං, ඒත් කවුරුත් ඒවයින් ප්‍රයෝජනයක් ගන්න එකෙකුත් නැත්තං, ඒක ඉතිං ජාතියක් හැටියට අපේ කම්මැලිකම හරි මොකක් හරි තමයි. ඒවට පළි නෑ ඔය අවුරුදු 5-10ට පත්වෙලා එන පාලකයො.

දැන් මම පුද්ගලික ව කැමතියි ලංකාව තව ගොඩක් ලෝකෙට ඕපන් වෙනව නම්. ලංකාවේ උන්ට වෙන රටවලටත්, වෙන රටවල උන්ට ලංකාවටත් ඇවිත් වැඩකරන්න බිස්නස්කරන්න තියෙන බාධා අඩුවෙනව නම්. ඒකෙන් ලංකාවෙ තියෙන මුස්පේන්තු වැඩකිරීමේ සංස්කෘතිය ටිකටික වෙනස් වෙයි කියල මම හිතනවා. තව මම කැමතියි සෙක්ස්, ඩ්‍රග්ස් වගේ දේවල් සම්බන්ධ ව ආණ්ඩුවේ මැදිහත්විම අහම වෙනව නම්. ගංජා ලීගලයිස් වෙනව නම්. පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනව නම්; රාජ්‍ය සේවය කුඩා කරනව නම්; රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප නැතිකරලා රජයේ, පෞද්ගලික හෝ ස්වංරැකියා කරන හැමෝට ම තමතමන්ගෙ දායකත්වය අනුව ප්‍රතිලාභ ලැබෙන සෝෂල් සෙකියුරිටි සිස්ටම් එකක් එනව නම්. ඉතිං ඔය වගේ මම කැමති දේවල් තමන්ගෙ ප්‍රතිපත්තිය හැටියට ගේන, ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න (හෝ යම් තරමට ඒ පැත්තට පුෂ් කරන්න) හැකියාව සහ ඉන්ට්‍රග්‍රිටි එක තියෙනව කියල මට හිතෙන කෙනකුට හෝ පක්ෂකයට මම ඡන්දෙ දෙනවා. ඕවා ක්‍රියාත්මක වෙනවා කියන්නෙ ලංකාව මම කැමති පැත්තට යනවා කියන එක. ඉතිං මම කැමති එකට ම උඹලා කැමති වෙන්න ඕන කියල එකක් නෑ. වෙන රටවල උන් මෙහෙ එනවට උඹ එච්චර කැමති නැත්තං, රාජ්‍ය දේපල ‍පෞද්ගලිකරණය කරනවට කැමති නැත්තං, ඩ්‍රග්ස්, සෙක්ස් ලිබරලයිස් වෙන එකට උඹ කැමති නැත්නම් ඒ උඹ කැමති ප්‍රතිපත්ති ගේන, ඒවා ක්‍රියාත්මක කරයි කියල හිතෙන එකෙකුට හරි පක්ෂෙකට හරි ඡන්දෙ දීපං; සපෝට් කරපං. එතකොට උං දිනුවොත් උඹ කැමති පැත්තට රට යයි නෙ. එහෙම නැතුව අපි හැමෝට ම හරියන විදියට “රට හදන” මැජික්කාරයො එයි කියල බලං ඉන්න උඹ ආස නම් ඒකත් කරන්න පුළුවං ඉතිං. ඒත් ඒක එච්චර තේරුමක් ඇති දෙයක් කියල නම් මම හිතන්නෙ නෑ.