ගෝඨා තමන්ගේ නමින් ඕපන් කරගත්ත ක්‍රීඩාපිටි පුවරුවේ ලොකුම අවුල මනෝ පහදයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තමන්ගේම නමින් විවෘත කරගත්ත ක්‍රිඩාංගණයක පුවරුව දකින්න ඇති. ඔය පුවරුවල නම් දාන්න ඕන්නෑ, රාජ්‍ය ලාංඡනය විතරයි ඕනෑ වගේ කයිවාරු ගැසු ජනාධිපතිවරයා ලැජ්ජා නැතිව තමන්ගේ නමින් හැදූ පිට්ටනියක රාජ්‍ය ලාංඡනය හැර ගොඩක් දේ තියෙන පුවරුවක් විවෘත කළ හැටි හැමෝගේම අවධානයට ලක් වුණා.

ඒත් ගොඩක් අයට මඟහැරුණ මේ පුවරුවේ ලොකුම අවුල තමයි ලංකාවේ රාජ්‍ය භාෂාවක් සම්පූර්ණයෙන් හලා දමා තිබීම. දෙමළ නෑ. මේ ගැන පෙන්වාදෙමින් දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් ට්විටර් පණිවිඩයක් පළ කරලා තිබුණා.

‘ක්‍රීඩාගාරය විය හැකියි! ක්‍රීඩාවක්ම විය හැකියි! ලංකා මාතාවගේ නාමයෙන් පළමු පුරවැසියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂා ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතුයි. ඉදිරි වසර තුන තුළ දී ගෝඨාභය රාජපක්ෂ කිරීමට නියමිත ‘නිවැරදි කිරීම්වලදී’ භාෂා ප්‍රතිපත්තිය අනුගමනය කිරීමත් තිබිය යුතුයැයි මා ප්‍රාර්ථනා කරනවා.’ යනුවෙන් එහි සටහන් වුණා.

මේක වෙන ඕනෑ ආයතනයක පුවරුවක් නෙවෙයි. මේක ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉදිකිරීමක පුවරුවක්. ‘සිංහල හමුදාව’ යන නමින් ලංකාවේ බෙදුම්වාදී යුද්ධයේදී දෙමළ කතා කරන මිනිසුන්ගේ විශ්වාසය අහිමි කරගත් ආයතනයක් යුධ හමුදාව. ඒ මදිවාට උතුරේ මිනිසුන්ගේ ඉඩම් අල්ලාගෙන ඒවා තුළ කඳවුරු හදාගෙන ඉන්නවා හමුදා අංශ. එවැනි පසුබිමක මෙවැනි කාරණා ගැන සංවේදී වෙන්න ඕනෑ ඔවුන්.

මෙවැනි පුවරු විවෘත කර ප්‍රසිද්ධ ඡායාරූප දමද්දී ක්ෂණිකව දෙමළ ජනතාවට තමන් හැමදාම ලියන කියන භාෂාව මේ පුවරුවේ නෑ නේද? කියන ප්‍රශ්නය එනවා. ‘ආ උං හිතනවා ඇති, අපි මේ රටට අයිති නෑ කියලා.’ කෙනෙක්ට එහෙම හිතේවි.