සයිබර් පනතක් එනවාලු! කැබිනට් තීන්දුවක්! අපි බය වෙන්න ඕනෑද?

ආණ්ඩුව ආරක්ෂක සයිබර් විධාන පනත නමින් අලුත් පනතක් කෙටුම්පත් කරන්න ඔක්තෝබර් 11 වැනිදා තිබුණ කැබිනට් රැස්විමේදී තීන්දු කරලා. ඒ අනුව සමාජ මාධ්‍ය ඇතුළු සයිබර් අවකාශය නිරීක්ෂනය කරන්නට ඒ පනත ඒවි.

රජයේ ආරක්ෂක අංශවලින් තමන්ට විරුද්ධ පාර්ශ්වයන්ගේ දුරකථන ඇමතුම් පටිගත කරනවාද? අන්තර්ජාල තොරතුරු නිරීක්ෂණය කරනවාද? වැනි ප්‍රශ්න කාලයක් තිස්සේ අප වැනි අයට තිබුණා. කිසිවක් හරියට තහවුරු කරන තොරතුරු නැහැ. කෙසේ වෙතත් දැන් පේන්න තියෙන විදියට ආණ්ඩුව පනතක් සහ ආයතනයක් ස්ථාපිත කරලා විධිමත්ව කටයුතු කරන්න ලෑස්ති බව පේනවා.

මෙවැනි ආයතනවලින් පුරවැසියන්ගේ සමාජ මාධ්‍යවල හැසිරීම්, අන්තර්ජාල හැසිරීම්, දූරකථන තොරතුරු ආදිය හොරෙන් නිරීක්ෂණය කරයිද? නැද්ද යන්න පැහැදිලි නෑ. ඒත්, සැකයක් මතු වන බව කිව යුතුයි. ඇමෙරිකානු ආණ්ඩුව වෙනුවෙන් පුරවැසියන්ගේ නිදන කාමරවල සිට අතිශය පෞද්ගලික දේවල් ගැන පවා ඔත්තු බලන ආයතනයක වැඩ කරපු එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙළිදරව්වලින් පස්සේ, රාජ්‍යයන් පුරවැසියන් ගැන ඔත්තු බැලීම ගැන බියජනක හැඟීම් ආණ්ඩුවලට අභියෝගයක් වන ඕනෑම පුරවැසියෙකුගෙ හිතේ ඇති වෙනවා.

මේ රටේ විද්‍යුත් සන්නිවේදනය සඳහා කරන ත්‍රස්තවාදි ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අරාධ සහ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා සයිබර් අවකාශයයි විද්‍යුත් සන්නිවේදනයයි පාවිච්චි කරන නිසා, දැනට තියෙන සයිබර් ආරක්ෂණණ ඒකකවලින් කරනු ලලබන මෙහෙයුම් විධිමත් සහ කාර්යක්ෂම විදියට සිදු කරන්න පසුබිම හදනවාලු.

ජාතික ආරක්ෂාව පැත්තෙන් මේක යහපත්. අන්තර්ජාලය පාවිච්චි කරමින් අපරාධ, ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු වන බව පැහැදිලියි. ඒ ක්‍රියාවන්ට විරුද්ධව නීති සම්පාදනය වෙන්න ඕනෑ. ඒත්, මේ නීති දෙපැත්ත කැපෙන කඩු තල වගේ. ත්‍රස්ත ක්‍රියාකාරකම්, පාතාලය ඇතුළු අපරාධ සයිබර් මට්ටමේදී පාලනය කරන එක හරි. ඒත්, සමාජ විරෝධී ක්‍රියාකාරකම් කියන එක කොහොම අර්ථකතනය වේවිද? අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් හදන මේ ආයතනවලින් ජාතික ආරක්ෂාව කියා කොයි කාව නිරීක්ෂනය කරයිද? කවුරු ගැන ඔත්තු බලයිද?

පුරවැසියන්, මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් තමන්ගේ ආරක්ෂාව ගැන විශ්වාස කරන්නේ කොහොමද? මෙවැනි ආයතනවලින් ආරක්ෂා වෙන්නට සහන ලබන්න ක්‍රමවේද තියෙනවාද?

ඕවා තමයි ප්‍රශ්න. මේවා ගැන හරි පැහැදිලි කිරීමක් තවම නැහැ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ ඒ පනත ගැන සඳහන් කරලා තිබුණේ මෙහෙමයි.

‘ආරක්ෂක සයිබර් විධාන  පනත නමින් පනතක් කෙටුම්පත් කිරීම

විද්‍යුත් සන්නිවේදනයේ දියුණුවත් සමගග ත්‍රස්තවාදී ක්‍රියාකකාරකකම් සහ අපරාධකරුවන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා සයිබර් අවකාශය සහ විද්‍යුත් සන්නිවේදනය භාවිතා කිරීමට පෙළඹී ඇත. සයිබර් අවකාශය හරහා කෙරෙන විද්‍යුත් සන්නිවේදනය ජාතික ආරක්ෂාවට ඍජුව බලපෑම් ඇති කළ හැකි සාධකයක් බවට හඳුනාගෙන තිබේ. එබැවින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අනෙකුත් නියෝජිත ආයතනයන් මේ වන විට තම ආයතන මට්ටමින් පිහිටුවා ඇති සයිබර් ආරක්ෂණ ඒකක මගින් සිදු කරනු ලබන මෙහෙයුම් වඩාතත් විධිමත් හා කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලු ක්ෂේත්‍ර ආවරණය වන අයුරින් නව නීති සම්පාදනය කිරීම වර්තමානයේ දැඩි අවශ්‍යතාවක්ව පවතී.’

‘සයිබර් ආරක්ෂණ නීති පැනවවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම

සයිබර් ආරක්ෂාව සහ ඒ සඳහා වන ආයතනිකක ව්‍යූහයක් සකස් කිරීම තාක්ෂණ අමාත්‍යාංශයේ විෂය පථය යටතට පැවරී ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත  සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ආරක්ෂක ක්ෂේත්‍රයට අදාලව සයිබර් ආරක්ෂාවේ විධිවිධාන ඇතුළත්ව ඉහත (අ) යටතේ දැක්වෙන පරිදි වෙනම පනතක් කෙටුම්පතක් සම්පාදනය කිරීම යෝග්‍ය බව තීරණය කර ඇත.

ජාතික ආරක්ෂාවට අදාල කරුණු හැරුණු විට ජාතික තොරතුරු සහ සයිබර් ආරක්ෂන උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා වන නියාමන රාමුවක් නිර්මාණය කිරරීම, එම කාර්යය සඳහා අනෙකුත් සහයෝගී ආයතන සමග කටයුතු කිරීම පිණිස අනෙකුත් සහයෝගි ආයතතන සමග කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂන නියෝජිතායතනය ස්ථාපිත කිරීම පිණිස විධිවිධාන සැලසිම, රට තුළ තීරණාත්මක සහ අතිශය වැදගත් තොරතුරු සම්බන්ධ යටිතල පහසුකම් ආරක්ෂා කිරිම සඳහා අවශ්‍ය නෛතික විධිවිධාන හඳුන්වා දීම, සයිබර් ආරක්ෂාවට ඇති වන අවදානම් සහිත ක්‍රියාකාරකම් වැළැක්වීම සහ රට තුළ විධිමත් සයිබර් ආරක්ෂක පරිසරයක් නිර්මාණය කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස නව නීති හඳුන්වාදිමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

ඒ අනුව ආරක්ෂක අමාත්‍ය සහ තාක්ෂණ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන ඉහත සඳහන් පරිදි පනත් කෙටුම්පත් දෙකක් සකස් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.’