2026 පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙල ගන්න ලංකාව උනන්දුයිලු! නාමල්ගේ වැඩක්ද?

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට කැමැත්ත දැක්වූ රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවත් ඉන්න බව බීබීසීය වාර්තා කරලා.

අභ්‍යන්තර තොරතුරු ඇසුරෙන් කියලයි ඔවුන් එය වාර්තා කරලා තිබුණේ. අපට අමතරව ඉන්දියාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට අමතරව කැමැත්ත පළ කරලාලු. 2022 බර්මිංහැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට කලින් සංවිධායකයන් ප්‍රකාශයට පත් කරන්න නියමිතයිලු.

ඒ කියන්නේ ඉසව්ව ලංකාවට ලබාගත්තොත්, ඒ ලබාගැනීමේ ගෞරවය නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාට ලැබේවි. ඒත්, උළෙල පවත්වන්නේ 2026 දී නිසා උළෙල පැවැත්වීමේ බර කර ගසන්නට සිදු වන්නේ ඊළඟ ආණ්ඩුවකට. අපි අනුමාන කරන විදියට වත්මන් ආණ්ඩුවේ නායකයන් දැන් ඉන්නේ විපක්ෂයට යන්න හිත හදාගෙන.

අනෙක් පැත්තෙන් මිට කලින් එම ක්‍රීඩා උළෙල ලබාගැනීමට අසමත් වීමේ දේශපාලන ලැජ්ජාව මකාගන්නත් චාන්ස් එකක් වේවි.

ශ්‍රී ලංකාවට එම ක්‍රීඩා උළෙලට අදාල ලැජ්ජා සහගත ඉතිහාසයක් තියෙනවා. 2018 ක්‍රීඩා උළෙල ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් 2011 අවුරුද්දේ විශාල සංදර්ශන ශ්‍රී ලංකාව දැම්මා. ඒ වෙනුවෙන් රජයේ මුදල් සහ පෞද්ගලික ආධාර රුපියල් මිලියන 690ක් පමණ එකතු කරලා නාස්ති කළා. ඔය කාලසීමාවේම හම්බන්තොට රෝහලේ එකම ශල්‍යාගාරයේ ඒසී යන්ත්‍රය කැඩී, අසරණ රෝගීන්ට සැත්කම් කරන්නත් හැකියාවක් නැතිව හිටියා.

මේ වෙද්දී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නව සැලසුමකට කරන්න බලාපොරොත්තු වෙනවාලු. ඒ අනුව එම ක්‍රීඩා උළෙලේ අත්‍යවශ්‍ය ක්‍රීඩා ඉසව් ගණන 2යි. ඒ පිහිනුම් ක්‍රීඩා ඉසව් ටික සහ මළල ක්‍රීඩා. ඉස්සර අත්‍යවශ්‍ය ඉසව් ගණන 16ක්. ඒ නිසා සංවිධානය කිරීමත් අසීරු කාරණයක්, වියදම් අධික කාරණයක් වුණා. දැන් සාපේක්ෂව උළෙල සංවිධානයට යන වියදම අඩුයි.

ඒත්, ලැජ්ජා සහගත ඉතිහාසය එක්ක සැලකුවොත්, අපි නැවත මේ උළෙල සංවිධානය කරන්න උත්සාහ කිරීමම විහිළුවක්.