යොහානිගේ ජනප්‍රියත්වය ගැන හැමෝටම වැරදුණ කාරණේ!

යොහානි ගැන කතා කරද්දී ගොඩක් අය වරද්දාගත් දෙයක් තියෙනවා. ඒක යොහානි ගැන ඍණාත්මක අදහස් දක්වන අයත්, ධනාත්මක අදහස් දක්වන අයත් දෙපාර්ශ්වයම එකතුවෙලා වරද්දගත්ත අදහසක්. අපි උත්සාහ කරන්නේ ඒ ගැන කතා කරන්න.

ඒ අදහස තමයි යොහානි තනියෙන් මෙතැනට ගියා කියන එක. ‘විද්වත්’, ‘බරසාර’ අදහස් ඉදිරිපත් කරන අය පවා යොහානිගේ සාර්ථකත්වය ගැන කතා කරද්දී කියන්නේ ලංකාවේ කෙල්ලෙක්ගේ සිංදුවක් එකපාරම ඉන්දියාවේ ජනප්‍රිය වීමත්, ඒ තුළින් අපේ කලාපයේ ප්‍රසිද්ධ වීමත්.

ඒත්, ඇත්තටම මේක ‘යොහානි සාධකයක්’ නෙවෙයි. මේක ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක පොදුවේ ළඟා කරගත්ත තත්වයක්. මේ ඇවිල්ලා යූටියුබ් එකෙන් එකපාර යොහානි ඉන්දියාවට අහු වුණ අවස්ථාවක් නෙවෙයි. ඒ වෙනුවට ලංකාවේ මියුසික් අහු වුණ අවස්ථාවක්. ඇත්තටම ඉන්දියාවට යොහානිව අහු වුණේ අපේ අයගේ මියුසික් රැල්ලේ නැගීම නිසා.

මෑත කාලයේ යූටියුබ් එකෙන් සිංහල සිංදු අහන ඉන්දියානු, බංග්ලාදේශ, නේපාල, මැලේසියානු රටවල රසික ප්‍රජාවක් අඩු වැඩි වශයෙන් අපට පේන්න තිබුණා. නිතරම සිංහල සිංදු අහන, යූටියුබ් එකේ කමෙන්ට් කියවන අය මේ ප්‍රවණතාව දකින්න ඇති. විදෙස් රටක ඉඳන් ‘ශ්‍රී ලංකන්’ කියල සර්ච් කළොත් ඉබේම යෝජනා වෙන වාක්‍ය්‍ය තමයි ‘ශ්‍රී ලංකන් සෝන්ග්ස්’ කියන එක.

එයාට කලින් ඉන්දියාවෙ මාකට් එක ඕපන් කරපු ලංකාවේ තරුණියන් දෙන්නා තමයි සහංගි හංසාංජලී සහ ආදිත්‍යා වැලිවත්ත.

මේ දෙන්නා ද වොයිස් ශ්‍රී ලංකා එකට ගයපු කිත්තානේ සහ නොමිලේ දුන් නිසා කවර් වර්ෂන් මිලියන 10 ඉක්මවමින් හිට් වුණා. ඒ දෙකෙන් පස්සේ උමාරියාගේ මන්ද පවා මිලියන 20 දක්වා ගියා. මේවායේ කමෙන්ට් බැලුවොත් විදේශිකයන්ගේ කමෙන්ට් ගොඩක් දකින්න පුළුවන්. විශේෂයෙන් අපි කලින් නම් කියපු, අපේ කලාපයේ රටවල්වල කමෙන්ට්.

ඒ ගීත දෙක තරම් නොවුණත්, ‘ද වොයිස් ශ්‍රී ලංකා’ එකේ තරුණ තරුණියන්ගේ ගායනා ගොඩක් විදේශිකයන්ගේ අවධානයට යොමු වෙලා තිබුණා.

‘ද වොයිස්’ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් වීම ඒ අවධානය යොමුවීමට එක හේතුවක් වෙන්න ඇති.

ඒත් අපි හිතන්නේ අපේ ගායක ගායිකාවන්ගේ හැකියාවන් තමයි ඒකට ප්‍රධාන හේතුව.

අපේ රටේ හැදෙන වැඩි හරියක් සිංදුවල පිස්සු වචන, පිස්සු ස්ටයිල්, පිස්සු අඬෝවැඩියා තියෙනවා තමයි. ඒත් ලංකාවේ නොයෙකුත් කලා ක්ෂේත්‍ර අතරින් වටිනාම ක්ෂේත්‍රය තමයි සංගීතය. ගායක ගායිකාවන්ට ශක්තිමත් මුල් තියෙනවා. මිනිස්සු සිංදු අහන නිසා ඒ අයට රට ඇතුළේම ලොකු මාකට් එකක් තියෙනවා. ඒ නිසා විවිධාකාර නිර්මාණකරුවන් බිහිවෙනවා.

ඒ කියන්නේ සිනමාව, නවකතා, කාව්‍ය, නාට්‍ය, ටීවී ආදී ඔක්කොම අතරින් හොඳම ඉන්ඩස්ට්‍රි එක මියුසික්. අපේ සමහර ෆිල්ම් හදන්න යන වියදමට වඩා වැඩියෙන් සිංදු හදන්න වියදම් කරනවා. මොකෝ ෆිල්ම් බලන්න නොගියාට අපේ මිනිස්සු සිංදු අහනවා.

පද රචනාවල අවුල් ආදිය අපේ මියුසික්වල තියෙනවා තමයි. ඒත්, එහෙම තමයි දැවැන්ත ඉන්ඩස්ට්‍රියක් වුණාම. සතියකට සිංදු කීයක් එනවාද? කුණු ගොඩවල් ගොඩක් අස්සේ දක්ෂයන්ගේ නිර්මාණශීලී වැඩ ගොඩක් තියෙනවා. ඒ විදියේ නිර්මාණශීලී ගීතවල පවා පද රචනාවල අඩුවක් අපි නිතර දකිනවා. ඒ කියන්නේ මෑත කාලේ ආපු හොඳයි කියන සිංදුවල පවා පොඩි චින්තනමය හිස්කමක් අපි දකිනවා. හැබැයි ඒ හිස්කම ගැන වෙනම කතා කරන්න ඕනෑ.

කොහොම නමුත්, ගායන ටැලන්ට් එක අතින් අපේ තරුණ ගායක ගායිකාවක් ඉන්දියාවේ වුණත්, ලෝකෙ කොහෙ වුණත් ඉන්න ටැලන්ට්වලට දෙවැනි නෑ.

කසුන්ලාගේ, භාතිය සන්තුෂ්ලාගේ පරම්පරා, ඊටත් කලින් පරම්පරා පැත්තකින් තියලා අපේ වයස් කාණ්ඩයෙ තරුණම පරම්පරාව ගමුකෝ.

මිහිඳු ආරියරත්න වගේ ගායකයෙක් කොච්චර ගායන පෞරුෂයක් තියෙන දැවැන්තයෙක්ද. උමාරියාගේ හඬ පෞරුෂය කොච්චර ප්‍රබලද. සනුක කොච්චර බලසම්පන්න ගායකයෙක්ද. මේ තුන්දෙනාම දැන් ඉන්දියාවේ ඉන්න ප්‍රමුඛ පෙළේ තරුණ ගායක ගායිකාවන් ඕනෑ කෙනෙක්ට දෙවැනි නෑ.

ඒක මේ තරුණයන්ගෙ දක්ෂතාවක් විතරක්ම නෙවෙයි. එදා ඉඳන්ම එහෙමයි. ඉස්සර ජෝති වැඩිපුරම ගැයුවේ ඉන්දියන් තනුවලට. ඒත්, සමහර වෙලාවට ජෝතිගෙ වර්ෂන් එක ඉන්දියන් ඔරිජිනල් වර්ෂන් එකට වඩා ප්‍රබලයි. කපුගේ, අමරදේව ප්‍රමුඛව බොහෝ අය නිසා අපේ රටේ මියුසික් මාර විදියට පෝෂණය වෙලා තියෙනවා. දැවැන්ත ඉන්දියාවට පවා නොදෙවනි විදියට.

දැන් තියෙන වෙනස තමයි යූටියුබ් ඇල්ගොරිදම් එක. ඒ කියන්නේ යූටියුබ් කම්පැණියේ කෘත්‍රිම බුද්ධිය. මේ කෘත්‍රිම බුද්ධිය දේවල් ඉගෙනගන්නවා. ඒ කියන්නේ අහවල් ජාතියේ අය අහවල් ප්‍රඩක්ට් එකට කැමතියි කියලා ඇල්ගොරිදම් එක අඳුනගත්තොත්, ඒ ජාතියේ අයට බඩු යොමු කරනවා.

මෙහෙම හිතමු. මම රෙස්ලින්වලට කැමතියි කියලා අවුරුදු කිහිපයකට කලින් යූටියුබ් ඇල්ගොරිදම් එක අඳුනගත්තේ. මට ආපු රෙස්ලින් වීඩියෝවක් දෙකක් බලපු හින්දා. ඔන්න ඒ පාර එකදිගට රෙස්ලින් ගැන වීඩියෝම යූටියුබ් එකෙන් මට එව්වේ, මම මගේ ඊමේල් එකෙන් යූටියුබ් යන අවස්ථාවලදී.

දැන් යූටියුබ් ඇල්ගොරිදම් එක අඳුනගෙන තියෙනවා ලංකාවේ මියුසික්, මේ කලාපයේ වෙන රටවල අයත් අහන බව. ඉතින්, ඒ අවස්ථාවෙන් උපරිම වාසිය යොහානිට ලැබුණා. ඇය ආකර්ශණීය නිර්මාණයක් කළා. ඇල්ගොරිදම් එක ඒක අහන්න කියලා විදේශිකයන්ට යෝජනා කළා. එයාලා ඇහුවා. කැමති වුණා. ආයෙ ආයෙත් ඇහුවා.

මේක ලංකාවට වෙච්ච එකක් විතරක් නෙවෙයි. පහුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ කේ පොප් කියන ඉන්ඩස්ට්‍රි එක ලෝකයට ගියේත් එහෙමයි. කාලයක් තිස්සේ කොරියාවේ සංගීත ඉන්ඩස්ට්‍රි එක වැඩුණා. ගැන්ග්නම් ස්ටයිල් වගේ සිංදු යූටියුබ් එක කැළඹුවා. මේ වෙද්දී බීටීඑස් කියන්නේ ලෝකෙ ලොකුම මියුසික් ඇක්ට් එකක්. මියුසික් එක්කම කොරියාවේ සිනමාවත්, රූපවාහිනියත් ජාත්‍යන්තරය ඇල්ලුවා. අද කොරියාව මාර විදියට විදේශ විනිමය හොයනවා ඒකෙන්.

ඒත්, ඒක කොරියාවෙන් අහම්බෙන් මතුවෙච්ච තනි පුද්ගලයෙකුගෙ දෙන්නෙක්ගෙ වැඩක් නෙවෙයි. ඉන්ඩස්ට්‍රියක් විදියටයි කොරියාව ලෝකෙට ගියේ. කේ පොප්වලට ලෝකය විවෘත වෙද්දී, ඒ රටේ තරුණ තරුණියන්ට ගීත ගයන්න, කටහඬ හදාගන්න, ඒ රිදම් එකටම ඩාන්ස් කරන්න, පෙනුම හදාගන්න අධ්‍යාපන ආයතන පවා හැදුණාලු.

අපි දන්නේ නෑ මේ සිටුවේෂන් එක හරියට අඳුනගන්න අපේ නායකයන්ට පුළුවන්ද කියන එක. ඒත් අපේ මියුසික්වලට ආයෝජනය කරන්න ලෑස්ති ව්‍යාපාරිකයන්, ආණ්ඩුව, මියුසික් කරන තරුණ තරුණියන් ආදී හැමෝම මේක තේරුම් ගන්න ඕනෑ.

ඒත් අපේ රටේ ලොකුම අවුල තමයි ගමක ඉන්න සහංගි හංසාංජලී වගේ තරුණ කෙනෙක්ට තියෙන ඉඩ මොකක්ද? යොහානි අතේ ප්‍රාග්ධනයක් තිබුණා. ඇයට හොඳම උපාංග අරගෙන රෙකෝඩ් කරන්න, වීඩියෝ හදන්න පුළුවන්කම තිබුණා. ටැලන්ට් එකෙන් පිරිච්ච කී දෙනෙක්ට ඒ පහසුකම නැතිද? අපේ අදූරදර්ශී පාලකයන් කරන ලොකුම විනාසය තමයි තාක්ෂණික උපකරණවලට බදු පිට බදු ගහලා සාමාන්‍ය තරුණ තරුණියන්ට ළංවෙන්න බැරි හීන බවට ඒ මෙවලම් පත් කිරීම.

අපි මේ අදහස කීවේ යොහානි ගැන තරහකින්වත්, ඇය ගිය ගමන හෑල්ලු කරන්නවත් නෙවෙයි. යොහානිගේ විශේෂත්වයක් නැහැ කියන්නත් නෙවෙයි. නෑ. ඒකේ අනෙක් පැත්තයි අපි කියන්න උත්සාහ කළේ. අපේ මියුසික්වල ඉන්න ගොඩක් අය දක්ෂයි.

යොහානිගේ කටහඬේ තියෙන ළමා ගති ලක්ෂණයට ක්ෂණිකව ආකර්ශනය එනවා. ඇය තරුණියක් වුණත්, නවයොවුන් පෙනුමක් තියෙන නිසා සෑහෙන පෙනුමක් එනවා.

යොහානි ඉන්දියාවට ගිය ගමන් ලෝකෙ ලොකුම මියුසික් කම්පැණිය වෙච්ච ටී සීරීස් එක තමන්ගේ අලුත්ම ෆිල්ම් එක ප්‍රමෝට් කරන්න යොහානි ලවා තීම් සෝන්ග් එකේ කවර් වර්ෂන් එකක් ගායනා කරවාගැනීමත්, සල්මාන් ඛාන් එක්ක බිග් බොස් එකට ගිය අවස්ථාවත් තමයි ඇය ගිය ගමනේ තරම හරියටම අපට තේරුම් ගිය මොහොත. ජනප්‍රිය වෙලා ඉන්දියාවට යන එක වෙනයි. මේ තරම් ඉහළින් ඉන්දියාවේ පිළිගැනීම ලැබීම ඊටත් වඩා වටිනවා.

ඒ නිසා අපි ඉන්නේ යොහානි ගැන ඍණාත්මකව දකින පැත්තේ නෙවෙයි. ඉතාම ධනාත්මකව දකින, ආඩම්බර වෙන තැනක.

අපි එතැනිනුත් එහා ගිහිල්ලා අපේ රටේ ගීත ගයන තරුණ පරම්පරාවටම බලාපොරොත්තුව එකතු කරන්නයි මේ උත්සාහ කළේ.