රාජපක්ෂලා හංගන ගඳගහන කතාවක්! බැසිල් නිරූපමාට කරපු වැඩේ වැරදියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මන්ත්‍රීධුරයක් අහෝසි කළා!

අපට මේ මොහොතේ එක දේකට එකඟ වෙන්න පුළුවන් නේද? ඒ රාජපක්ෂ පවුලේ අද දේශපාලන බලය තියෙන කෙනා බැසිල් රාජපක්ෂ බව. ඔව්, ජනාධිපති පුටුවත්, රාජපක්ෂලාගේ තුරුම්පව වෙච්ච යුද්ධය ඉවර කිරීමේ කාඩ් එකත් අයිති ගෝඨාභය රාජපක්ෂට. පොදුවේ රාජපක්ෂ බ්‍රෑන්ඩ් නේම් එක අයිති මහින්ද රාජපක්ෂට.

ඒත්, ඒ දෙකම නැති බැසිල් රාජපක්ෂ වෙනුවෙන් තමයි අද පොහොට්ටු බලකායම හිටගන්නේ. ගමේ ආසන සංවිධායකයා දක්වා විහිදිච්ච දැවැන්ත ජාලයක අයිතිකාරයා බැසිල්. අපි මේ කතා කරන්න යන්නේ පැන්ඩෝරාවෙන් රටේම අවධානයට ලක්වෙච්ච නිරූපමා රාජපක්ෂ සම්බන්ධ බැසිල් රාජපක්ෂගේ ඉතිහාස කතාවක්.

රාජපක්ෂ දේශපාලනයේ ජීවනාලිය වෙච්ච, අපේ රටේ පාදඩ මැතිවරණ සංස්කෘතියේ අපුරු ලක්ෂණ ඒ ඉතිහාස කතාවේ දකින්න ලැබේවි.

මේක අහපු අයත් ඇති. ඒත්, ගොඩක් අයට මේ කතාන්දරේ ගැන නිච්චියක් නෑ. මේකේ හරි විත්තිය හොයාගන්න අපට පොඩ්ඩක් සුනංගු වුණ නිසා තමයි දවසක් දෙකක් කතාව පරක්කු වුණේ. කොහොමින් කොහොමහරි මේ කතාව පැන්ඩෝරා පත්‍රිකාවෙන් ලෝකෙම දන්න තාරකාවක් බවට පත්වෙච්ච නිරූපමා රාජපක්ෂ නම් වූ රාජක්ෂ පවුලේ දෝණියන්දෑ ගැන.

ඔබ දන්නවානේ නිරූපමා රාජපක්ෂ කියන්නේ චමල්, මහින්ද, බැසිල්, ගෝඨා සහෝදරවරුන්ට දෝණියන්දෑ කෙනෙක්. ශෂීන්ද්‍ර, නාමල්, යෝෂිත, චිචී සහෝදරවරුන්ට අක්කා  කෙනෙක්.

මොකද, නිරූපමා කියන්නේ රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනේ කරපු මුල්ම කෙනා ඩී.එම්. රාජපක්ෂ හෙවත් ඩොන් මැතිව් රාජපක්ෂගේ පුතා ජෝර්ජ් රාජපක්ෂගේ දුව.

එතකොට ජෝර්ජ් රාජපක්ෂ තමයි මහින්දලාට අයියා වෙන්නේ. මොකද ඩීඑම් රාජපක්ෂගේ මල්ලි ඩොන් ඇල්වින් රාජපක්ෂ හෙවත් ඩීඒ රාජපක්ෂ සහ දන්දිනා දේවතාවියනේ මහින්ද ටීම් එකේ තාත්තා සහ අම්මා.

සිංහල බෞද්ධ පරම්පරාවක් වගේ කිව්වට ඔක්කොම කතෝලික සම්භවයේ නම් තමා. ගණං ගන්න නාකයි.

ඔය ප්‍රාදේශීය දේශපාලන පවුල් ඕනෑ එකක් ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ තුක් නොදකින් තමා. තාත්තාගෙන් පුතාට කිසිම ප්‍රාදේශීය දේශපාලන බලයක් මාරු වෙන්න ඕනෑ නැහැ. රටේ වුණත් එහෙමයි. කොහොම නමුත්, හදිසියේවත් එහෙම බලය මාරු වෙනවා නම්, හම්බන්තොට රාජපක්ෂ කිරුළේ හැබෑ උරුමක්කාරිය තමයි නිරූපමා.

රාජපක්ෂ පවුලේ ඉතිහාසය වන්දිභට්ටයන් ලියන හැටි දන්නවානේ. හම්බන්තොට ප්‍රදේශයේ මුල්කිරිගල, මැදමුලන ආදී ප්‍රදේශවල පීඩිත මිනිසුන්ගෙ කරවල්වල උඩ නැගලා බල ඉණිමගේ ඉහළට නැගපු ගඳගහන එකක්.

ඒත් දේශපාලන පවුලක් විදියට බලය අල්ලාගෙන හිටපු ඒ අතීතය වෛර්ණ වීර කතා විදියට ලියන්න වන්දිභට්ටයන් ලංකාවේ ඉන්නවා. ඒ කතාන්දරේට දුෂ්ඨයන් පවා ඉන්නවානේ.

මේ ඉතිහාසයේ එක්තරා අපූරු කෑල්ලක් තමයි 1982 ජනමතවිචාරණයෙන් පස්සේ තිබුණ මුල්කිරිගල අතුරු මැතිවරණය. රාජපක්ෂ පවුලේ බල පෙරේතකම ලස්සනට පේන අවස්ථාවක් ඒක. ඒ කතාන්දරේ ඇත්තටම වෙච්ච දේ කියන්න කලින් සිළුමිණ පත්තරේක වන්දිභට්ටයන් ලියා තිබුණ මේ කතාව කියවාගමුකෝ.

‘සිය සීයා හා පියාගේ ජනතා සේවය අතට ගැනීමට ඉදිරිපත්වන රාජපක්ෂ පරපුරේ ප්‍රථම කාන්තාව වූ ඇයට ජය ගැනීමට එජාපය ඉඩ නොදේ. ඉතා මර්දනකාරීව ගෙන යන මේ මැතිවරණයෙන් 1936 – 1947 වකවානුවේ සිය මුත්තනුවන් වූ ඩී. ඇම්. රාජපක්ෂයන් හා මුත්තනුවන්ගේ සොහොයුරා වූ ඩී. ඒ. රාජපක්ෂයන් පීඩිත පොඩි මිනිසා කෙරෙහි තිබූ රදළයන්ගේ තිබූ කුලමානය බිඳ දමා පීඩිතයන් වෙනුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරමින් කළ සේවය නැවත කිරීමට එජාප පාක්ෂිකයෝ නිරූපමාට ඉඩ නොදුන්නේය.

ගොවිතැනින් හා පැඟිරි ව‍ගාවෙන් අමතරව හකුරු හා පැණි නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වූ මුල්කිරිගල ආසනයේ වැසියෝ ජේ.ආර්. ජයවර්ධනගේ කූට උපක්‍රම හමුවේ දේශපාලනයට නවකයකු වූ තරුණ ආනන්ද කුලර‍ත්න මුල්කිරිගලින් ජයග්‍රහණය කරවීය. විපක්ෂය ප්‍රමුඛ ශ්‍රීලනිපය පත් වූ ආනන්ද කුලරත්නට එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. ආනන්ද කුලරත්න මැතිවරණ පෙත්සමින් පරාජයට පත්විය.

1985.09.12 දින නැවතත් මුල්කිරිගලට අතුරු මැතිවරණයකි. මෙයට ඉදිරිපත් වන්නේ නිරූපමා රාජපක්ෂ මහත්මිය නොව මහින්ද රාජපක්ෂන්ගේ වැඩිමල් සොහොයුරු චමල් රාජපක්ෂයන්ය. ඉතා පහත් පෙ‍ළේ මැතිවරණ භීෂණෙයක් පතුරුවන එජාපය චමල් පරදවා ආනන්ද කුලරත්න නැවත දිනයි. අතුරු මැතිවරණයේ දී සිදු වූ මිනීමැරුම් 2ක් පිළිබඳ මහින්දට චෝදනා ගොනුකරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් විය. බොරු මිනීමැරුම් චෝදනාවන්ට බිය‍ නොවන මහින්ද රාජපක්ෂ කොළඹ දී පොලිසියට භාර‍වෙයි. එජාප රජය මහින්දව රිමාන්ඩ් භාරයට පත් කරයි.’

ඒත් මේ කතාන්දරයේ නොකී කතාව මේකයි. ජේආර් ජයවර්ධනගේ කූඨ උපක්‍රම හමුවේ ආනන්ද කුලරත්න දින්නා කිව්වාට, ඇත්තටම ආනන්ද කුලරත්න දින්නේ ජේ.ආර්. හින්දාම නෙවෙයි. ජේආර් කොහොමද හම්බන්තොට මිනිසුන් ඡන්දෙ දෙන විදිය වෙනස් කරන්නේ.

ඒ වෙනුවට ඇත්තටම සිද්ධවුණේ මුල්කිරිගල මිනිසුන්ට ඡන්ද කැම්පේන් එකේදී බැසිල් රාජපක්ෂ දරුණු ප්‍රචාරයක් ගෙනිච්චාලු. ඒ නිරූපමා රාජපක්ෂ අද ජෝර්ජ් රාජපක්ෂගේ නමින් ඡන්දෙ ඉල්ලුවාට එදා තාත්තාට හරියට සැලකුවෙත් නෑ කියලා. ඒ නිසා තාත්තාගේ නමින් ඡන්දය ඉල්ලන්න ඇයට අයිතියක් නෑ කියලා.

බැසිල් මොකටද එහෙම කළේ?

බැසිල් හැත්තෑහතේ මහ ඡන්දයට මුල්කිරිගලින් තරඟ කරලා පැරදුණා. මතක ඇති, එදා ඡන්දයේදී ශ්‍රී ලංකා එකට ලැබුණේ ආසන අටයි. ඊට පස්සේ ශ්‍රීලනිපය ඉතිහාසයේ දරුණුම කඩාවැටීමට මුහුණදුන්නානේ. පක්ෂය ඇතුළේ ලොකු මතගැටුම් ඇති වුණා. 1981 දී මැතිණිගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. ඊට පස්සේ මෛත්‍රීපාල සේනානායක ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයෙන් කැඩිලා ගියා.

ඒ ගිය කණ්ඩායමත් එක්ක බැසිල් කැඩිලා ගියා. ඊට පස්සේ 1982 ජනමතවිචාරණයේදී හෙවත් ලාම්පු කළගෙඩි සෙල්ලමේදී බැසිල් රාජපක්ෂ හම්බන්තොටදී කැම්පේන් කළේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ජේආර්ගේ පැත්තට. ලාම්පුවට. ඊටත් පස්සේ තමයි 1982 අතුරු මැතිවරණය ආවේ. ජනමතවිචාරණයේදී තිබිච්ච පාර්ලිමේන්තුවම තව අවුරුදු හයක් යන්න ඕනෑ කියන එකට විරුද්ධව, ඒ කියන්නේ කළගෙඩිය පැත්තට වැඩි ඡන්ද තිබුණ ආසනවල අතුරු මැතිවරණ තිබුණා. මුල්කිරිගලත් එකක්.

එතැනදී තමයි රාජපක්ෂ පවුලේ පළවැනි කාන්තාව විදියට නිරූපමා ආවේ. බැසිල්ගේම පවුලේ දුවෙක්. යූඇන්පීය දැම්මේ ආනන්ද කුලරත්න.

තමන්ගේ පවුලේ දුවෙක්ට, තමන්ගේම පක්ෂයට විරුද්ධව බැසිල් රාජපක්ෂ කැම්පේන් කරයි කියලා හිතුවාට, ඔහු තමන්ගේම පවුලේ දුවට විරුද්ධව දරුණු ප්‍රචාරයන් තියෙන කැම්පේන් එකක් ගෙනිච්චාලු. යූඇන්පීයේ ඡන්දපොළ නියෝජිතයා වුණාලු.

අපේ කලාපේම මැතිවරණවලට යන කාන්තාවන්ට තියෙන දරුණුම ප්‍රශ්නය තමයි ප්‍රතිවාදීන් ඇටෑක් කරන්නේ ඇයගේ චරිතයට. හැබැයි එහෙම ගැහැණු කෙනෙකුගේ චරිතයට අපහාස කිරීම ඡන්ද කැම්පේන් එකක කරන්න පුළුවන් නරකම වැඩක්.

ඡන්දය ඉවරවෙලා, පැරදුණාම නිරූපමා රාජපක්ෂ තමන්ගේ චරිත ඝාතනය කිරීමට විරුද්ධව උසාවි ගියාලු. කියන විදියට ශ්‍රීලනිපය සහ නිරූපමා වෙනුවෙන් උසාවියේ පෙනී හිටියේ නිමල් සිරිපාල ද සිල්වා.

නඩුවේ වාර්තා අනුව මිද්දෙණියේ තිබුණ රැස්වීමකදී බැසිල් රාජපක්ෂ කීවාලු නිරූපමා තාත්තාට සැලකුවේ නැති කතාව.

අන්තිමේ බැසිල් රාජපක්ෂගේ ක්‍රියාව නිසා ආනන්ද කුලරත්නගේ මන්ත්‍රීධුරයක් අහිමි වුණාලු. ඊට පස්සේ නැවත මැතිවරණය තිබ්බාම, බැසිල් රාජපක්ෂ නැතිව කැම්පේන් කරලා ආනන්ද කුලරත්න දින්නා කියලයි කියන්නේ.

මේකෙන් බැසිල් රාජපක්ෂගේ ඡන්ද දේශපාලනයත් ඉවර වුණා. ඔහු ගාමිණී දිසානායක ළඟ වැඩට ගිහින් මහවැලියේ ප්‍රොජෙක්ට් එකක රස්සාවට ගියේ ඒ අනුව. ගාමිණී කඩාවැටෙනතුරුම ඔහුගේ ළඟ ඉඳලා, රණසිංහ ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගය පැරදිලා ගාමිණීලා වෙන් වුණාට පස්සේ දේපළ විකුණලා ඇමෙරිකා ගියාලු. බැසිල් රාජපක්ෂ මැතිතුමා.

අනෙක් පැත්තෙන් නිරූපමා රාජපක්ෂ තිරුකුමාර් නඩේසන් එක්ක විවාහ වෙලා, ගතකරපු ජීවිතයත් ඇගේ ධන සම්පතත් ගැන දේශපාලන කතාන්දරේ දැන් එළියට ඇවිල්ලා තියෙනවා.

ඇගේ පසුකාලීන දේශපාලන, ආර්ථික ගමන සැලකුවොත් ‘එදා ඔබව මට පෙනුණේ හතුරෙක් වාගෙගයි බැසිලයියෙ, අද ඔබව මට පේන්නෙ දෙවියෙක් වාගෙයි බැසිලයියෙ’ කියා ඇය ගයනවා ඇති.

මල්වානේ මන්දිරයේ ඉඳන් නොයෙකුත් කතාන්දර බැලුවාම නිරූපමා නඩේසන් යුවළගේ සහ බැසිල්ගේ සමීප බැඳීම් පේන්න තියෙනවා.

කොහොම නමුත් මේ සම්පූර්ණ කතාවෙන් අපට ගන්න තියෙන ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා.

එකක් තමයි රාජපක්ෂ දේශපාලන ඉතිහාසයේ ස්වභාවය. කොච්චර වර්ණවත්ව පේන්ට් කරන්න හැදුවත්, ඒකේ අඳුරු තැන් ගොඩයි. අසූපහේ අතුරු මැතිවරණයේ මිනීමැරුම් චෝදනා කතාවත් අමතක කරන්න බෑනේ. මහින්ද රාජපක්ෂ මහතා හිරේ පවා ගියානේ.

අනෙක් පැත්තෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන කැම්පේන්වල ස්වභාවය. ඡන්දදායකයන්ව ඉලක්ක කරලා කරන, කියන දේවල්. එදා තමන්ගේ දියණියකට විරුද්ධව තමන් කරපු කැමේප්න් එකට සමාන, චොකා මල්ලි වගේ අයව සැලකිල්ලට ගත්තොත් නම් ඊටත් එහා දේවල් කරන්න ලෑස්ති පාදඩ දේශපාලනඥයන් රංචුවක් ගම් මට්ටම, බිම් මට්ටම දක්වා එකතු කරගන්න ශ්‍රීලනිප ජාතික සංවිධායක විදියට ඉන්නකොට ඔහු සමත් වුණා. ප්‍රාදේශීය ප්‍රොජෙක්ට් එකේ ඉඳන් විවිධාකාර ව්‍යාපෘතිවල මස්කටුවලින් හම්බ කරගත්ත පාදඩ, ධනපති පරම්පරාවකට 2006න් පස්සේ ලංකාවේ ඉඩකඩ විවෘත වුණා.

පස්සේ ශ්‍රීලනිපයේ බලය ගිලිහුණාම ඒ ජාතියේ පිරිස් එකතු කරගෙන පොදුජන පෙරමුණ කියලා තමන්ගේම පක්ෂයක් හැදුවා.

එදා දුව තාත්තාට සැලකුවේ නෑ කියලා කැම්පේන් කළා. මෙදා කැලණි නාගයන්ගේ ඉඳන්, වඳපෙතිවල ඉඳන් නොයෙකුත් කතන්දර මත බලය ලබාගත්තා.

එදා මැතිවරණය ගැන අධිකරණ තීන්දුව තමයි මාර වැඩේ. මේ කතාවේ තියෙන රිදී රේඛාව තමයි අපහාස කළා කියලා මන්ත්‍රීධුරයක් අහෝසි කිරීමේ අධිකරණ ස්වාධීනත්වය. එහෙම අධිකරණයක් අද තිබුණා නම්, නීතිඥ නිමල් සිරිපාලලා එදා කළාය කියන ඒ වගේ අධිකරණ ෆයිට් අද තිබුණා නම් දේශපාලනය කොහොම වෙන්න තිබුණාද?