විමල්ගේ මතය විකෘති කළේ ජනාධිපතිගෙ කට්ටියමයි! ආන්දෝලනාත්මක ෆේස්බුක් පෝස්ටුවේ පසුබිම් කතාව

කැබිනට් මණ්ඩලයේදී තමන් කරපු අදහස් දැක්වීමක් වැරදි ලෙස අර්ථකතනය වෙමින් පවතින බවත්, තමන් අදහස් කළේ වෙන දෙයක් බවත් කියමින් විමල් වීරවංශ මහතා ෆේස්බුක් පෝස්ටුවක් දාලා තිබුණා.

ෆේස්බුක් පෝස්ට් එකක් දාලා සාමාන්‍ය කතාවක් කීවාම ආන්දෝලනයක් හැදෙන්නේ නැහැ වෙන කාලෙක නම්. ඒත් මේක ඡන්ද ළං වෙන කාලේ. ගර්භාෂ ඇතුළේ කළල වැඩෙනවා වගේ අලුත් සන්ධාන, පෙරමුණු මෝදු වෙන කාලේ.

ඕනෑ එකක් උණුසුම්. හැම වචනයටම බරක් තියෙනවා මේ කාලේ.

විමල් වීරවංශ මහතා දාපු ෆේස්බුක් පෝස්ටුවකට මාධ්‍යවලින් ලොකු ආවරණයක් දීලා, රටේම අවධානයට ලක් වෙලා තිබුණේ එහෙම පසුබිමක. ඒත් ඔහු ඔය කියන විකෘති කරපු ප්‍රකාශය මොකක්ද කියන එක හරියට කොහේවත් තිබුණේ නෑ.

ඉරිදා අරුණ පුවත්පතේ මුල් පිටුවේ මාධ්‍යවේදී උදයජීව ඒකනායක ලියූ පුවතක තිබුණේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා ස්වයං විවේචනාත්මකව අදහස් පළ කරපු බව. ලංකා සී නිවුස්, හෙඩ්ලයින් නිව්ස්, එම නිසා ආදී වෙබ් අඩවි ගණනාවක මේක යළි පළ කරලා තිබුණා. සමාජ මාධ්‍යයට යන්න ඇත්තේ ඒක. හැබැයි මේක අපේ මිත්‍ර උදයජීව ඒකනායක තනියෙන් ලීව කතාවක් නෙවෙයි. ඔහු ඇතුළු ඉරිදා පුවත්පත්වල මාධ්‍යවේදීන් වෙත ‘දේශපාලන තිරය පිටුපස’ කතා එවන්නේ ඒ ඒ අයගේ මාධ්‍ය අංශවලින්මයි. ඒ අනුව කැබිනට් එකේ මේ කියන කතන්දරේ මාධ්‍යවලට යවලා තිබුණේ ජනාධිපති මාධ්‍ය අංශයෙන්.

ඒ කියන්න් විමල් වීරංවංශ මහත්තයා ෆේස්බුක් පෝස්ටුවක් දාලා චෝදනා එල්ල කරන්නේ කොහෙවත් යන ‘සමාජ මාධ්‍යවලට’ හෝ මාධ්‍ය ආයතනවලට නෙවෙයි. කෙළින්ම ජනාධිපති මාධ්‍ය අංශයට.

ජනාධිපතිවරයා ‘මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති’ කියා කීව බව. ඒකට පිළිතුරු විදියට බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, ඩලස් අලහපෙරුම ආදී අයත් ස්වයං විවේචනාත්මක අදහස් දැක්වීමක් කරපු බව ඒ වාර්තාවල සඳහන් වුණා.

‘පසුගිය වසර දෙකේදී සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එකඟත්වයකට පැමිණ ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම එකඟතාව ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ ම යෝජනාවකට අනුවය.

‘පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමැතිවරුන්ගෙන්ද අඩුපාඩු වෙන්න ඇති. ස්වයං විවේචනයක් තුළ අඩු පාඩු මගහැර ඉදිරි වසර තුනේ දී එකතුවෙලා වැඩ කරමු ’ යනුවෙන් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.

එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම ද අදහස් පළකරමින් සනාථ කර තිබේ.’

මේවා දේශපාලන ගොසිප්. හොඳට මතක තියාගන්න. අපිත් ඇතුළුව ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා ගැන වාර්තා පළ කරන හැමෝම කරන්නේ ‘ගොසිප් රිපෝටින්’. එක් එක් මාධ්‍ය අංශවලින්, විවිධාකාර රැස්වීම්වලට සහභාගී වූ පුද්ගලයන්ට කෝල් කරලා අහලා දැනගන්න දේවල්වලින් තමයි මේවා පිරෙන්නේ. සමහරවිට ඒවා කියන පුද්ගලයන්ගේ, ඒ තොරතුරු එවන පාර්ශ්වවල වුවමනා මත වාර්තාවල අන්තර්ගතය තීන්දු වෙනවා.

ඒ දේවල් දැනගැනීමත් වැදගත්. ආරංචි දැනගැනීමක්. ඒත්, ඕනෑ වෙලාවක යම් වාර්තාවක කරුණු විකෘති විය හැකි බවත් අවබෝධ කරගැනීම වැදගත්.

මේ ආරංචිය වැඩිදුර විස්තර කරමින් ‘truenews’ වෙබ් අඩවියේ විස්තර සහිතව පහත වාර්තාව තියෙනවා.

‘විශේෂ කැබිනට් සාකච්ඡාව ඊයේ (07) සවස 5.30ට ආරම්භ වුණා. පැය එකමාරක කාලයක් සැලසුම් කරලා තිබුණා කැබිනට් සාකච්ඡාව පැවැත්වීම. නමුත් පැය 4ක පමණ කාලයක් මේ සාකච්ඡාව දීර්ඝව පැවතියා. ජනාධිපතිතුමා මෙහිදී දීර්ඝ කතාවක් කළා.

එහිදී ජනාධිපතිතුමා කිව්වා “ජනාධිපතිවරණයෙන් අපි විශාල ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණය ඇතුලේ තිබුණේ මේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තු. නමුත් කොවිඩ් වංසගතය නිසා අපි ඉලක්ක කරගත් ඒ බලාපොරොත්තු ඉදිරියට සම්පූර්ණ වශයෙන් ගෙනියන්න බැරි වුණා. සුළු වශයෙන් අපිට අරමුණු කරා ළගා වෙන්න පුළුවන් වුණේ. සමස්ත රජයක් කළ යුතු වැඩ කොටසක් සුළු පිරිසක් එක්ක තමයි කොවිඩ් නිසා ඉටු කරන්න සිද්ධ වුණේ. නමුත් දැන් තත්ත්වය වෙනස්.නව සාමාන්‍යකරණයට හුරු වෙමින් අපි සියලු අභියෝග මැඩ පවත්වාගෙන ඉස්සරහට යන්න ඕන.

පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමතිවරු හැටියට ඔය අයගෙනුත් අඩුපාඩු සිදු වෙන්න ඇති. අපි ඒ පිළිබඳව ස්වයං විවේචනයක් සහිතව ඉස්සරහට යමු. යම් යම් අනවබෝධයන් තුළින් වුණු අඩුපාඩු මඟහැර ගත යුතුයි. එකතු වෙලා වැඩ කරමු දැන්. එක අධිෂ්ඨානයකින් එක ශක්තියකින් අපිට වැඩ කරන්න පුළුවන්. පසුගිය කාලය දෙස බලලා අඩුපාඩු හදාගෙන ඉදිරියට යෑම ඉතා වැදගත්.ඉදිරි අවුරුදු 3 ජනතාව දුන්න ජනවරම දෙස වගේම ජනතාවට අපි දුන් බලාපොරොත්තු ඉතා නිවැරදිව ඉලක්ක සහගතව පෙරට ගන්න ඕන”.

ජනාධිපතිතුමාගේ මේ දේශනයෙන් සියලු දෙනා දැඩි උනන්දුවකින් අහගෙන හිටියා. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මහතා කතාව පටන් ගත්තා.

“ජනාධිපතිතුමනි, ඇමතිවරුනි, අපෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඒ නිසා හිත් රිදවීම් වෙන්න ඇති. ජනාධිපතිතුමා කිව්වා වගේ අපි ඒ සියල්ල අමතක කරලා එක කණ්ඩායමක් හැටියට ඉස්සරහට යන්න අපිට පුළුවන්. පොදුජන පෙරමුණ මේ ආණ්ඩුව හදන්න ප්‍රමුඛ කාර්යයක් කළා. නමුත් ඒ සියල්ල එක අරමුණක් වෙනුවෙන් බව අපි හැමෝම දන්නවා. දේදුන්නක් වුණත් ලස්සන වෙන්නේ පාට පාට එක් වුණාම. ඒ නිසා අපි හැමෝම එකාවන්ව ඉස්සරහට ගිහින් ආණ්ඩුව ගැන ජනාධිපතිතුමා ගැන යම් හෝ කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් බලාපොරොත්තු අතහැර ගෙන තිබුණානම් එය අපි නිවැරදි කරමු”.

ඊටපස්සේ අමාත්‍ය විමල් වීරවංශ මහතා අදහස් දැක්වුවා. “ඔව් ජනාධිපතිතුමනි, අපෙනුත් වැරදි අඩුපාඩු වෙන්න ඇති. කොවිඩ් වසංගතය සහ පැවති තත්ත්වයන් එක්ක හැමෝම හිටියේ කලබල වෙලා. අපි ඒවා නිවැරදි කරගමු. සාමූහිකව මේ ගමන ගියොත් අපේ කකුලෙන් අදින්න කකුල් මාට්ටු දාන්න කිසි කෙනෙකුට හැකි වෙන්නේ නෑ. අපි එක්ව ජයගමු. මේක අපි හැමෝම හදපු ආණ්ඩුව. ඒ නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ ආණ්ඩුව රැකගන්න. ඒ වගේම ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න”.

ඊට පස්සේ ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා, මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා සිය අදහස් දක්වමින් කියා සිටියා අද කැබිනට් සාකච්ඡාව ඉතා හොඳ තැනකට ආපු බවත් සම්පූර්ණ ජවයෙන් ඉදිරි අවුරුදු තුන වැඩ කරලා ආණ්ඩුවත් ජනතාවත් ආරක්ෂා කරන වැඩපිළිවෙළකට යමු කියලා කිව්වා.

අධිෂ්ඨානශීලිව රටත් ජනතාවක් දිනන ගමන ආරම්භ කරමු කියලා සියලු දෙනා ඒකමතික අදහසකට ආවා.’

මෙයට පිළිතුරු විදියට විමල් වීරවංශ අමාත්‍යවරයා ලියා තිබුණු ෆේස්බුක් පෝස්ටුව මේ.

‘පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින නිසා එය මෙසේ පැහැදිලි කළ යුතුව ඇත.

එහිදී මා විසින් මතුකළ අදහස් මෙසේය,

බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ”බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය”. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.

රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුළ ප්‍රමාණවත් සාකච්ජාවක් කැබිනට් මණ්ඩලය තුළ පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමයයි, එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.

ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇත. සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සදහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇත.

ඉහත කරුණු පිළිබද මා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් ප්‍රකාශ කරන ලද අතර ඒවා විකෘති කරමින් පැතිරවීම වැළක්වීම පිණිස පමණක් ඒවා මෙසේ පැහැදිලි කිරීමට අදහස් කළෙමි. කැබිනට් මණ්ඩයේ සාමුහික වගකීමට එමගින් හානියක් නොවනු ඇතැයි විශ්වාස කරමි.

විමල් වීරවංශ,
කර්මාන්ත අමාත්‍ය,
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2021.10.09′

පේන විදියට ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඕනෑ තමන් වෙනස් වෙලා ඉස්සරහට යන්න ලෑස්තියි. හැම පාර්ශ්වයම ඒ වැඩේදී එකමුුතුව ඉන්නවා කියලා රටට පෙන්වන්න.

ඒත් විමල් වීරවංශ මහත්තයාට ඕනෑ ‘නෑ එහෙමම නෑ, අපට තවම විවේචන තියෙනවා’ කියා පෙන්වන්න.