පළාත් සභා මාර්තුවට කලින් තහවුරුයි! අලුත් පනතක්, විපක්ෂය විවාදයත් නැතිව අත උස්සන්න ලෑස්තියි!

රජය ලබන අවුරුද්දේ මාර්තුවට කලින් පළාත් සභා නවයේම මැතිවරණ පරණ ක්‍රමයට පැවැත්වීම සඳහා ෆාස්ට් ට්‍රැක් ක්‍රියාවලියක් ආරම්භ  කර ඇති බවත්, එයට අවශ්‍ය සහයෝගය දෙන්න විපක්ෂයේ කණ්ඩායම්ද එකඟතාව පළ කරලා තියෙන බවත් මාධ්‍ය මේ වෙද්දී ස්ථීරවම වාර්තා කරනවා. අපගේ දේශපාලන ආරංචිමාර්ගත් ඒ බව තහවුරු කරනවා.

මෙතෙක් දේශපාලන හාහෝවක් වී තිබුණු කතාව, මේ වෙද්දී තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ වෙද්දී පළාත් සභා මැතිවරණය ගැන වැදගත් කරුණු ගණනාවක් එළියට ඇවිල්ලා.

දෙමළ දේශපාලන පක්ෂ එක්ක තිබුණ සාකච්ඡාවේදී ඉන්දියාවේ විදේශ ලේකම්වරයා කීවාලු පළාත් සභා මැතිවරණය පවත්වන්න කියන බලපෑම රාජ්‍ය නායකයන්ට ඉන්දියාව පැත්තෙන් කරපු බව.

පරණ මැතිවරණ ක්‍රමයට යන එක කරන්නත් ලේසි නෑ. ඒ වෙනුවෙන් අලුත් පනතක් ඕනෑ. ඒ පනත ජනවාරි මාසයේදී කැබිනට් අනුමැතිය අරන් පාර්ලිමේන්තුවට දානවාලු.

ඒත් පළාත් සභා මැතිවරණ පනතකට ආණ්ඩුවේම සමහර අය සහයෝගය දෙන එකක් නෑ කියලා ඉන්දියන් නියෝජිතයන් හමුවේ මේ ආණ්ඩුවේ ලොක්කන් කලින් කියා තිබුණාලු. ඡන්දෙ නොතියා මඟහරින්න චාන්ස් එකක් විදියට.

රාජපක්ෂලා කිව්වොත් ලංකාව පුද්ගලික දේපළක් විදියට පවුලට ලියාදෙන පනතකට වුණත් ඔය කට්ටිය අත උස්සනවා කියලා අපි හැමෝම දන්නවානේ.

ඒත් දැන් ඒ බොරුව කියමින් කල්දාන්න බෑ. විපක්ෂයේ පාර්ශ්ව ගණනාවක් කියා තියෙනවා විවාදයක් නොතියාම පළාත් සභා පරණ ක්‍රමයට තියන පනතකට තුනෙන් දෙක දෙන්න එයාලා අත උස්සන බව.

මේ වෙද්දී සන්ඩේ ටයිම්ස් පත්තරයට කතා කරපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලැබෙන බව කියා තියෙනවා. ඊට අමතරව සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් තහවුරු කරලා තියෙනවා විවාදයක් නොතියාම පනතකට සපෝට් කරන බව.

පහුගිය සිකුරාදා මැතිවරණ ක්‍රම ගැන දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ගිය බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ මතය නිශ්චිතව කියලා තියෙනවා. මේ කමිටුවේ සාමාජිකයෙක් විදියට සති දෙකකට කලින් බැසිල් රාජපක්ෂ මහතාව හදිසියේ පත් කළේ. ඒ පත් කළාට පස්සේ පළවැනි වතාවට කමිටුවට සහභාගී වෙලා තිබුණේ ඔය කියන සිකුරාදා.

ඒ පත් කිරීමේම අරමුණ පළාත් සභා මැතිවරණ ඉක්මන් කිරීම බව පේන්නට තියෙනවා. ඉන්දියාව, ඇමෙරිකාව, යුරෝපා සංගමය ආදී රටවල් එක්ක සම්බන්ධතා තහවුරු කරගැනීමේ වුවමනාව පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ ප්‍රධානම අරමුණ විය හැකියි.

මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ 225 ඇතුළු දේශපාලන නායකයන් කරපු තක්කඩිම වැඩේ තමයි පළාත් සභා කල් දැමීම. පළාත් සභා ක්‍රමය ගැන ලංකාවේ මිනිසුන්ගේ අකැමැත්තක් තියෙන නිසා ඒ තක්කඩි වැඩේ සාධාරණීකරණය වීමකුත් තිබුණ බව සිහිතබාගන්න ඕනෑ.

ඒත් පළාත් සභා ගැන මිනිසුන් කැමති වුණත්, නැතත් පළාත් සභා කියලා ආයතන තියෙනවා. සල්ලි වෙන් වෙනවා. පළාත් සභාවලින් කෙරෙන්න ඕනෑ වැඩ තොගයක් තියෙනවා. අවුරුදු ගාණක් ඒවා වැහුණාම ඒ වැඩ කෙරෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, මේවායේ බලතල දැන් අයිති ජනාධිපතිවරයා කෙළින්ම පත් කරන ආණ්ඩුකාරවරුන්ට. දැන් ඉන්න ආණ්ඩුකාරවරුන් සැලකුවත් වියපත් උදවිය සහ තීරණාත්මක පියවර ගැනීමේ හැකියාවක් නැති උදවිය. ඒ මදිවාට ජනාධිපතිවරයාගේ බලය අනවශ්‍ය විදියට වැඩි කෙරෙනවා මේකෙන්. දැන් තමන්ගේ පුටුවේ වැඩත් හරියට කරන්න බැරි ජනාධිපතිවරයා යටතට පළාත් සභා ටිකත් පත් වෙන එක සුදුසු නෑ.

මේ වෙද්දී තියෙන පළාත් සභා මැතිවරණ ක්‍රමය අනුව පළාත් සභා තියන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ, පළාත් සභා මැතිවරණය තියන්න නම් එක් එක් කොට්ඨාශ ආදිය සීමා නිර්ණය කරලා, නිශ්චය කරලා තියෙන්න ඕනෑ නිසා. 2017 දී පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කළ, දැනට ක්‍රියාත්මක 2017 අංක 17 පළාත් සභා මැතිවරණ පනත ලංකා ඉතිහාසයේ කුප්‍රකටම පනතක්. පළාත් සභා මැතිවරණ සඳහා කාන්තා නියෝජනය ලබාදෙන්න කියා හදපු ඒ පනත, පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී සම්පූර්ණයෙන් වෙනස් පනතක් වුණා.

ඒත්, දැන් තියෙන පළාත් සභා ක්‍රමයට අදාල සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නැහැ. පනත අනුව සීමා නිර්ණය සම්මත නොවුණොත් ඒක හරිගස්සන්න එදා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළ යුතුව තිබුණා. මාස දෙකෙන් රනිල්ගේ කමිටුව අවසන් සීමා නිර්ණය වාර්තාවක් දෙන්නයි තිබුණේ.

ඒත්, රනිල් ඒ කමිටුව රැස් කරලා තිබුණේවත් නැහැ. ඒ කියන්නේ, තමන්ගේ වගකීම පැහැරහරිමින් හිතාමතාම පළාත් සභා ක්‍රමය කල් දාන්න පසුබිම හැදුවා. 2018 පෙබරවාරියේ පළාත් පාලන මැතිවරණය අනාගත්ත නිසා ඊළඟ ජනාධිපතිවරණයට කලින් පළාත් සභා ආවොත් පදම තවත් දිය වේවි, එහෙම වුණොත් රෙදි නෑ කියලා දැනගෙන හිටිය නිසාදෝ මේ පනත ගෙන ඒමේ පාදඩ අරමුණ වුණේම තමන්ගේ පටු, පුටු රැකගැනීමේ දුෂ්ඨ අරමුණ බව පේන්න තියෙනවා.

අගමැතිවරයා වාර්තාව නොදුන්නොත් සිද්ධවෙන දේ හරියට පනතේ තිබුණේ නෑ. ඒ මදිවාට ඔය වාර්තාව දෙන්න නියමිතව තිබුණ දවස වෙනකොට තව වැඩක් වුණා.

ව්‍යවස්ථාව බල්ලන්ට දාලා හෙවත් හෙවත් විමල්, ගම්මන්පිළ මහත්තුරුන්ට දාලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂව අගමැති පුටුවේ ඉන්දුවා. එතකොට ඇත්ත අගමැති රනිල්. ලංකාවේ පිස්සු මාධ්‍ය සෙට් එකයි, අනෙක් හැත්ත බුරුත්තයි අගමැති කියන්නේ මහින්ද රාජපක්ෂට. රට දෙකට බෙදිලා මාර පිස්සුවක් වුණා. ලංකාවේ සංචාරක කර්මාන්තය පවා දුර්වල වෙලා අද අපි මුහුණදෙන ආර්ථික අර්බුදය පටන්ගත්තේත් එතැනින් බව ඔබට මතක ඇති.

කොහොමහරි ඒ සිදුවීම් මාලාවෙන් පස්සේ පළාත් සභා මැතිවරණ නීතිය එහෙටත් නැති මෙහෙටත් නැති මළ විකාරයක් වුණා. ඇත්තටම මේ මැතිවරණය තියෙන දවස තීන්දු කරන්න සතපහක බලයක් තිබුණෙ නෑ කාලකණ්ණි දේශපාල නායකයන්ට. ඒත්, ඒ හැත්ත කූඨ උපක්‍රමයක් දාලා පනත් ගේමක් ගහලා බලය අතට ගත්තා.

මැතිවරණය තියන දවස තීන්දු කරන එකේ ඉඳන් බලතල තිබුණේ මැතිවරණ කොමිසමට. ඒත්, එයාලට දවස තීන්දු කළත් සීමා නිර්ණයක් නෑනේ.

ඉතින් පළාත් සභාවට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දේවල් නිකම් අකුරු ගොඩවල් බවට පත් වුණා. යම් රටක කිසිම මගුලකට අදාලව ව්‍යවස්ථාව හිස් කොල කෑල්ලක් වෙන්න බෑ. ව්‍යවස්ථාව තේරුමක් නැති දෙයක් වෙන්න බෑ. ඒක නරකයි.

අගමැති රනිල් වික්‍රමසිංහලා ව්‍යවස්ථාව 2018 දී හිස් කොළයක් බවට පත් කළා. ඊට පස්සේ අවුරුදු තුනක් තිස්සේ මැතිවරණ ක්‍රමය ගැන එකඟතාවකට එන්න පාර්ලිමේන්තුවට බැරි වුණා. ඇත්තටම මොන කාලකණ්ණි ආයතනයක්ද? ව්‍යවස්ථාව රකිනවා කියල ඇවිත්, ව්‍යවස්ථාවේ පදාසයකට තමන්ගේ තඩි පස්සවල් හරවාගෙන හිටියා මේ හැත්ත.

මේ විදියට මැතිවරණ කල්දැමීම අන්තිම පාදඩ වැඩක්. තක්කඩි වැඩක්. නීතිවිරෝධී වැඩක්. ඒත් ඒක අවුරුදු තුනක් තිස්සේ සිද්ධ වුණා.

මෙහෙමයි! පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් වෙන එක හොඳයි. වැදගත්. ඒත් ඒ වෙලාවේ ගේන්න හැදුවේ වෙන මගුලක්. කට්ටිය සූදානම් වෙලා හිටියේත් වෙන මගුලක්. ඒ මදිවාට ඒක ගෙනාපු විදියත් අවුල්. සීමා නිර්ණය සම්මත කිරීම ගැන ඒකේ තිබුණ වගන්ති ප්‍රායෝගිකව පිස්සු මගුල්. විශේෂයෙන් දැන් ඇතිවෙච්ච තත්වෙට කිසිම විසඳුමක් නෑ. අන්තිමේ එහෙටත් මෙහෙටත් නැති මගුලෙ නීතියක් බවට ඒක පත් වුණේ ඒ නිසා.

ඒ කියන්නේ එළවළු කොත්තුවක් ඉල්ලුවාම නරක් වෙච්ච කුකුල් මස් දාපු චිකන් කොත්තුවක් දුන්නා වගේ. චිකන් කොත්තු හොඳයි. ඒත්, සල්ලි ගෙව්වේ එළවළු කොත්තුවකට. අනෙක නරක් වෙච්ච කුකුළ්මස් නිසා වරුවක් ටොයිලට් එකේඉන්න වෙනවා.

මේ මන්ත්‍රී ගොඩේ ඉන්න අය අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා විතරයි 2019 දී පෞද්ගලික මන්ත්‍රී පනතක් ගෙනල්ලා පළාත් සභා තියන්න යම් හෝ උත්සාහයක් ගත්තේ. ඒත්, ඒ පනත් කෙටුම්පත ගොඩක් අය මඟහැරියා.

මේක 2018 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය හැරුණාම ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කරපු කැතම අපහාසය. ඒත්, මේකේ ලොකුම වගඋත්තරකරුවා ‘මහා ප්‍රජාතන්ත්‍රවාදියා’ විදියට පෙනී ඉන්න හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වූ නිසා අපේ රටේ ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන්’ විදියට ඇඳලා, (අපවත් අන්දලා) හිටපු අය එයට එරෙහිව හරිහැටි පෙනී හිටියේ නෑ.