ස්කොඩ් ගේම්ස්! අනිවා බලන්න! බලලා මදි, තේරුම් ගන්න

ස්කොඩ් ගේම් කියන්නේ කොරියානු කතා මාලාවක්. ඕනෑම මනුස්සයෙක් මේ 2021 අවුරුද්දේ ලෝකෙ ජීවත් වෙන්න නම් බලන්න ඕනෑ, බලලා තේරුම් ගන්නත් ඕනෑ කතා මාලාවක්.

මේක කොහොමත් වෙබ් සීරීස්වල යුගය.

2021 අවුරුද්දේ ලෝකෙ දැවැන්තම ෆිල්ම්වලටත් වඩා මිනිස්සු බැලුවේ සීරීස්. වොන්ඩාවිෂන, ලෝකී, මනී හයිස්ට් අලුත් සීසන් එක, වෝකින් ඩෙඩ් අලුත් සීසන් එක, ලුසිෆර් අලුත් සීසන් එක ආදී සීරීස්වලට තමයි මිනිසුන්ගෙ අවධානය යොමු වුණේ.

ඒත්, ඒ හැම සීරීස් එකක්ම පහු කරගෙන අංක එකේ සීරීස් එක බවට පත් වෙලා තියෙන්නේ ස්කොඩ් ගේම්ස්.

ස්කොඩ් ගේම්ස් මුළු ලෝකයම කැළඹුවා. ඇබ්බැහිවෙලා, එකදිගට නතර නොවී පැයේ එපිසෝඩ් නවයක් තියෙන මේ සීරීස් එක මිනිසුන් මේක බලන්න ගත්තා. දවසක් වැය කරමින්. රටවල් 90කට වැඩි ප්‍රමාණයක ජනප්‍රියම සීරීස් එක බවට ඔක්තෝබර් මාසේ මේක පත් වුණා.

මේක ගැන කතා කරන්න ගත්තා. බලලා ඉවරවුණාට පස්සේත් ඔළුවෙන් මේක යන්නේ නෑ කියලා කට්ටිය කීවා. ලීවා. මනී හයිස්ට් මුල් සීසන් එකෙන් පස්සේ මේ වගේ ලෝකෙම අවධානය දිනාගත්ත සීරීස් එක මේක වෙන්න ඇති. මේ ලොව කැළඹූ සීරීස් එකේ තේරුම මොකක්ද? මේකේ පසුබිම් කතාව මොකක්ද? මේක බලන්න ඕනෑ ඇයි?

කතාවේ තේමාව

මේක කොරියාවේම කතාවක්. කොරියාවේ හතර අතෙර් ණය වෙලා ජීවිතේ කෙළෝගත්ත, රස්සාවක් නැති මනුස්සයෙක් ගැන. බිරිඳ අතෑරලා පුංචි දුවවත් අරන් ගිහින්. වෙන කසාදයක් බැඳලා. දැන් ඒ පවුල ඇමෙරිකා යන්න ලෑස්ති. ඒ කියන්නේ මනුස්සයාගෙන් දුව සදහට වෙන් වෙනවා.

අම්මගෙ ගෙදර වැටිලා ඉන්න මනුස්සයා, හොරෙන් අම්මගෙ සල්ලි අරන් අස්ස රේස්වලට ඔට්ටු දානවා. දහ අතේ ණයයි. ණයකාරයන් පස්සෙන් පන්නනවා.

මුලින් බැලුවාම හිතෙන්නේ දස කාලකණ්ණියෙක් කියලා. මූ රස්සාවක් නැති තැනට පත් වුණේ ඒ කාලකණ්නිකම නිසා කියලා.

ඒත්, පස්සේ වෙලාවක හෙළි වෙනවා මනුස්සයා රස්සාවක් නැති දුප්පතෙක් වෙන්න හැබෑ හේතුව.

කොහොම නමුත් මේ මනුස්සයාට එකපාරම යෝජනාවක් එනවා. ගේම් එකක් සෙල්ලම් කරන්න. දින්නොත් මහා ධනස්කන්ධයක් ලැබෙනවා. මනුස්සයා කැමති වෙනවා. ගේම් එක සෙල්ලම් කරන්න කැමතිවෙච්ච 456 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට ඔහු අයිති වෙනවා.

පස්සේ තමයි දැනගන්නේ. එයාලාට සෙල්ලම් කරන්න තියෙන්නේ ඉස්සර ළමයි සෙල්ලම් කරපු කොරියානු ළමා ක්‍රීඩා. දැන් නම් ලෝකෙ හැමතැනම ළමයි සෙල්ලම් කරන්නේ වීඩියෝ ගේම්නේ.

ඒත් වෙනසක් තියෙනවා. මේ ළමා ක්‍රීඩාවලදී පැරදුණොත් ජීවිතේම අහිමි වෙනවා. පැරදුණොත් මරණය.

ඉතින් මේ ක්‍රීඩාවට යන ඔහුට එකිනෙකට වෙනස් චරිත බොහොමයක් හම්බවෙනවා. විවිධ අයට විවිධ පසුබිම් කතා. විවිධ හේතු මත මේ තරගයට ඇවිත්. හැමෝටම ඕනෑ දිනන්න. ඒත්, ජයග්‍රහණයට අනෙක් අයගේ මිනී මතින් තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ගේම් එක ඇතුළේ විවිධ අය කල්ලි ගැහෙනවා. මිතුරුකම් හදා ගන්නවා. ඒත්, ගොඩක් අය තීරණාත්මක අවස්ථාවකට ආවොත් ළඟ ඉන්න අයගේ ජීවිත නැති කරනවා. කොටින්ම කිව්වොත් නිදාගන්න බයයි, ළඟ ඉන්න කෙනා බෙල්ල කපලා මරා දායිද කියලා.

ඕකයි තේමාව. කවුරු මැරෙයිද? කවුරු දිනයිද? මේ ගේම් එක පිටිපස්සේ ඉන්නෙ කවුද? ආදී ප්‍රශ්න එක්ක කුතුහලයෙන් කතාව ඉස්සරහට ඇදෙනවා. එක එක තරග වටයේදී සිය ගණන් මැරි මැරී වැටෙනවා. හාරසිය ගාණ දෙසිය ගාණට, ඊට පස්සේ එකසිය ගාණට ආදී වශයෙන් සංඛ්‍යාත්මකව පහළ වැටෙනවා.

සිස්ටම් එකේ අවුල

මේ කතා මාලාවේ තියෙන, මාරාන්තික ගේම් එක සෙල්ලම් කරන්න කැමති උදවිය කතා කරන්න ඕනෑ එක දූරකථන අංකයකට. හැබෑ ලෝකේ ඔය අංකය අයිති ව්‍යාපාරික කාන්තාවකට. මේ කාන්තාවට දවස ගත කරන්න බැරි තරම් එකදිගට කෝල් සහ මැසේජ් එනවාලු. මාරාන්තික ගේම් එක ප්ලේ කරන්න කැමතියි කියලා.

නිකමට හිතන්න! මේ අතරේ විහිළු කෝලුත් ඇති. ඒත්, වැඩිහරියක් මේකෙන් සංකේතාත්මකව කියැවෙන්නේ කතාවේ විතරක් නෙවෙයි, හැබෑ ලෝකයේත් මිනිසුන් මේ ගේම් එක සෙල්ලම් කරන්න සූදානම් බව. ඒ කියන්නේ ඇත්තටම මිනිසුන් අච්චර ලොකු මුදලක් ලැබෙනවා නම් ජීවිතේ අනතුරේ දාගෙන හරි ගේම් එකට සහභාගී වෙන්න ලෑස්ති බව.

සිස්ටම් එක ගැන කතාවක්

බොහෝ අය කියනවා, හිතනවා මේක මනුෂ්‍ය ස්වභාවය හෙළි වෙන කතාවක් කියලා. නෑ! මේක හුදෙක් මනුෂ්‍ය ස්වභාවය ගැන කතාවක්ම නෙවෙයි.

මනුෂ්‍ය ස්වභාවය ඕනෑ කතාවක තියෙනවානේ.

ඒත්, මේක එතැනින් එහා ගිහින් අද කාලෙ ලෝකෙ ගැන කියන එකක්. සමාජය ගැන කියන එකක්. මේ වෙද්දී අපේ සිස්ටම් එක තියෙන විදිය ගැන කියන එකක්.

හරියටම කීවොත් ඇමෙරිකන් ඩ්‍රීම් එක, ධනවාදී ඩ්‍රීම් එක ගැන

මේ කතාව කොරියාවේ හැරුණාම ඇමෙරිකාවේ සෑහෙන ජනප්‍රිය වුණා. ඒක ටිකක් වැදගත්.

මේක තනි මනුස්සයෙක් කොච්චර නරක තැන්වලට පත්වෙන්න පුළුවන්ද කියන එක ගැන කතාවක්ම නෙවෙයි. ඒ වෙනුවට මේ සිස්ටම් එක තනි මනුස්සයෙක්ව කොච්චර පහත් තැනකට තල්ලු කරනවාදැයි කියන කතාවක්.

මෑත ඉතිහාසයේ මේ විදියට අද පවතින සමාජ ක්‍රමය කොච්චර වැරදිද, නපුරුද කියලා පෙන්වපු කතා ගොඩක් ආවා. ඒවා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයේ පවා අතිශය ජනප්‍රිය වුණා. අවුරුදු කිහිපයක් තිස්සේ. ස්නෝපියර්සර්, පැරසයිට ආදී කතාවල ලක්ෂණයත් ඒක.

ඇමෙරිකාවෙ පවා දැන් මේ වගේ කතා හැදෙනවා. දැන් පවතින සිස්ටම් එකේ අවුල විනිවිද දකින, ඒ අතරේ සාමාන්‍ය රසිකයන්ට බලලා රසවිඳින්න පුළුවන් ජාතියේ කතා. ඒත් කාලාන්තරයක් තිස්සේ ඇමෙරිකාව මේ වගේ කතාවලට සරු පසක් වුණේ නෑ.

මොකද, ඇමෙරිකානු සමාජය මේ ස්කොඩ් ගේම් එකේ තියෙන ගේම් එකට හොඳම සංකේතය. ‘ඇමෙරිකන් ඩ්‍රීම්’ වගේ සංකල්ප තියෙන්නේ ඇමෙරිකාවේ. ‘මහන්සි වෙලා වැඩ කළොත් ඔයා හිතන ඕනෑ දෙයක් ලබන්න පුළුවන්’ වගේ මිත්‍යාවල් තියෙන්නේ ඇමෙරිකාවේ.

ඒ තමයි මේ ස්කොඩ් ගේම් එක. ඔළුවට උඩින් ධනස්කන්ධයක් තියෙනවා. ඔයාට තියෙන්නේ මහන්සිවෙලා ඒක ළඟා කරගන්න විතරයි කියන ‘ධනවාදී හීනය’ සරුවට වැවිලා තියෙන්නේ ඇමෙරිකාවේ.

ඒත් කවුරුත් හිතන්නේ නෑ. මම වගේම තව ගොඩක් පිරිසක් ඒ ධනස්කන්ධයට තරග කරන බව. තමන් වගේම මහන්සිවෙන බව. හැමෝටම එකපාර ඒ ධනස්කන්ධය ලබන්න බැරි බව. එහෙනම් තමන්ට ඒක ලබාගන්නට, අනෙක් අයව පාගලා දාන්න සිද්ධවෙන බව.

මිනිසුන් හොඳයි

ඉතා පැහැදිලිව! ඉතාම පැහැදිලිව මේ සීරීස් එකේදී අවස්ථා දෙකතුනකදී කියනවා මිනිසුන් ස්වභාවයෙන්ම නරක නෑ කියලා.

මිනිසුන් හොඳයි. ඒත්, නරක සිස්ටම් එකකට පුළුවන් මිනිසුන්ව නරක තැනකට පත් කරන්න.

නොබලපු අයට කතා රසය හානි නොවෙන්න, බලපු අයට විතරක් තේරෙන විදියට අවස්ථා දෙකතුනක් කියන්නම්. බලපු අය මතක් කරගන්න.

මේ තරගය දිනන කෙනා සල්ලිවලට කරන දේ, ඒ වගේම මේ සීරීස් එකේ අන්තිමට නරකම තැනකට පත්වෙන මනුස්සයා මුල් වටයේදී හැබෑ මනුස්සයෙක් විදියට තව කෙනෙක්ගෙ ජීවිතේ බේරන හැටි, ගේම් එක ඩිසයින් කරපු කෙනා ජයග්‍රාහයාට අන්තිමට කරන චැලේන්ජ් එකට වෙන දේ.

මිනිස්සු හොඳයි. ඒත් අද මේ ලෝකය හැදිලා තියෙන්නේ මිනිසුන්ගේ නරකම ගති ලක්ෂණ මතු වෙන විදියට.

කොටින්ම කීවොත් අපි මේ දැන් කීව මේ ගේම් එක සෙල්ලම් කරන නරක තැනට වැටෙන මනුස්සයා අන්තිම වටයේදී අන්තිමට කරන දේ මතකද? ඒ මනුස්සයා ඒ කරන දෙයින් හොඳටම තේරෙනවා ඒ කෙනා ගේම් එක ඇතුළේ මෙච්චර නපුරු වුණේ තමන්ගේ වාසියට නෙවෙයි, අම්මා වෙනුවෙන් බව.

ගේම් එකක්ම නෙවෙයි

මේ වගේ ගේම්වලට අදාල කතා ගොඩක් බලලා ඇති. හංගර් ගේම්ස් වගේ. ඒත්! ඒ ගොඩක් ගේම්වලට වඩා මේක වෙනස්.

හැම වටයක්ම ඉවරවෙද්දී ක්‍රීඩකයන්ගේ මරණ බය දෙගුණ තෙගුණ වෙනවා. ඒත්, හැමදාම සෙල්ලම් කරලා අනූනවයෙන් ජීවිත බේරාගෙන එන අය නිදාගන්න ලොකු හෝල් එකේදී දකිනවා ත්‍යාග මුදල. ඔළුවට ඉහළින් තියෙනවා ලොකු කැටයක් වගේ. ඒකෙ තමයි සල්ලි මිටි ගණන් තියෙන්නේ. හැම ක්‍රීඩකයෙක්ම මැරෙද්දී, සල්ලි මුදල වැඩි වෙනවා.

ඒ තමයි සැබෑ සමාජය. අපි හැමදාම උදේට ඇත්ත ලෝකයේ සැබෑ සමාජයට යනවා. එක එක ගේම් සෙල්ලම් කරනවා.

හැබැයි මේකේ අමුතු නීතියක් තියෙනවා. ක්‍රීඩා කරන හැමෝම අතරින් සරල බහුතරයක් එකඟ වුණොත් තරග නවත්වන්න පුළුවන්. ඒ කියන්නේ 200ක් හිටියොත් ඒ අතරින් 101ක් හෝ ඊට වැඩි පිරිසක් කිව්වොත් අපි තරගාවලිය අතාරිනවා කියලා, ගේම් එකෙන් නිදහස් වෙලා හැමෝටම යන්න පුළුවන්. ඒත් සැනසිලි තෑග්ගක්වත් නෑ.

විශේෂයෙන් මේක ඇතුළේ ඉන්න හැමෝම වගේ කියන්නේ, එළියෙ ලෝකය මේ මාරාන්තික ගේම් එකට වඩා දරුණු බව. එළියේත් දුප්පත්කම, ණය, අපරාධ, පීඩනය එක්ක ඔවුන් කාලය ගෙවන්නේ. මැරි මැරී ජීවත්වෙන්නේ. එළියෙදී මැරෙන්නත් බෑ. ජීවත්වෙන්නත් බෑ. අනෙක සාර්ථකව ජීවත් වුණා කියලා ලැබෙන දේකුත් නෑ.

ගේම් එකේදී එක්කෝ මැරෙයි. නැත්නම් ඉස්සරහට යයි. ඒත්, නොමැරී හිටියොත් අඩු තරමේ අන්තිමේ ලොකු ධනස්කන්ධයක් ලැබෙනවා.

ඒ අනුව මේ ගේම් එකට ඔවුන් ඇවිත් ඉන්නේ චොයිස් එකක් විදියට.

ඔන්න! ප්‍රජාතන්ත්‍රවාදය. මේකෙදී පෙන්වනවා ප්‍රජාතන්ත්‍රවාදයත් කොච්චර බොරුවක්ද? විශේෂයෙන් ඡන්දයකදී මිනිසුන් ධනවාදී සමාජ ක්‍රමය කියන ගේම් එකට අහුවෙලා, ගේම් එක ඇතුළෙම ඉන්නට ඡන්දය දෙන හැටි. ක්‍රමය රැකගන්න ඡන්දය පාවිච්චි කරන හැටි.

ධනවතුන්-දුප්පතුන්

මේ කතාව නොබලපු කෙනෙකුගේ කතා රසයට හානි වෙන එකක් නෑ මේ කරුණ කීවොත්. මේ ගේම් එක පිටිපස්සේ ඉන්නවා මහා ධනවතුන් පිරිසක්. ඔච්චර ලොකු ධනස්කන්ධයක් තෑගි දෙන්න නම් එහෙම සල්ලිකාරයෝ පිටිපස්සෙ ඉන්න එපායැ ඉතින්. ඒ ධනවතුන් ගැන වැඩි විස්තර කතාවෙන්ම දැනගන්න පුළුවන්.

කොහොම නමුත් අපේ විචාරයට වැදගත් කරුණ තමයි එහෙම ධනවතුන් මේක පිටිපස්සේ ඉන්න බව. මේකේ සෙල්ලම් කරන්නේ දුප්පතුන් හෝ, ණය වෙලා දුප්පත් තැනට වැටිච්ච මිනිසුන්.

ඒ ධනවතුන් කතා කරන දේවල්, හැසිරෙන විදියට බලන්න. සෙල්ලම් කරන දුප්පතුන් ගැන ඔවුන් හිතන්නේ හරිම පහත් විදියට. අනෙක ඒ ධනවතුන් පුංචි විනෝදයක් වෙනුවෙන් මිනිසුන්ව තල්ලු කරන තැන බලන්න.

ඒක තමයි මේ සැබෑ ලෝකෙ ස්වභාවය. සල්ලි තියෙන සුළුතරයකගේ සුළු විනෝදය, සතුට, පරිභෝජනය වෙනුවෙන් පොඩි මිනිසුන් දුක් විඳිනවා. එකිනෙකා මරා ගන්නවා. සමහරවිට හිතා මතා කොටවනවා. ඒ තමයි හැබෑ ලෝකය. කුරිරු සමාජය.

මේ කුරිරු සමාජයට, කුරිරු ලෝකයට මනුස්සයන්ව ලෑස්ති කරන්නේ ළමා කාලයේදීමයි. සෙල්ලම් පිටියෙන් සංකේතාත්මකව කියන්නේ ඒක. ඉස්කෝලෙට ළමයෙක්ව යවද්දීම පුරුදු කරන්නේ අනෙකාගේ මිනිය උඩින් හරි සාර්ථකත්වයට යන්න. පාවාදීලා හරි ඉලක්කයට යන්න. විෂය නිර්දේශ හැදෙන්නේ ඒ විදියට.

ළමයින්ට දෙන ඒ නපුරු මානසිකත්වය ඉස්කෝලෙක කැන්ටිමකදී, ක්‍රීඩා පිටියකදී වුණත් අපට දකින්න පුළුවන්. ඉස්කෝලෙක අනෙක් ළමයි අතින් ගුටි කන, විහිළුවට ලක් වෙන, බුලි වෙන ළමයින්ට මතක ඇති. ළමා ලෝකය වුණත් අද කොච්චර නපුරු වෙලාද කියලා.

ස්කොඩ් ගේම්ස් සංකේතාත්මකව ඒ නපුරුකම අල්ලාගන්නවා. ඒ නිසයි ලෝකයම ඇබ්බැහිවෙලා මේක බලන්නේ.