පානදුරා පේපර්ස්! ඒ නම ටිකක් හාස්‍යජනකයි. ඒ වුණාට දැන් හැමෝම පැනඩෝරා.. පැනඩෝරා.. කියද්දී නිකම්ම පැන්ඩෝරා කියන වචනය පානදුරා එක්ක රයිම් වෙනවා.
වචනෙ අදාල නෑ! සනත් ජයසූරියගෙයි-මලීකගෙයි ලීක්, රන්ජන්ගේ හඬපට ලීක් බලලා විනෝද වුණ ලංකාව පැන්ඩෝරා පේපර්ස්වලටත් ඒ වගේ සලකන බව තමයි දවස් දෙකක් යද්දී අපට තේරුණේ. හැමෝගෙම අවධානය නිරූපමා රාජපක්ෂ-තිරු කුමාර් නඩේසන් දෙපළ ගැන විතරයි. එතැනින් එහාට ගිය මේකෙන් හෙළිවෙච්ච මහා අර්බුදය ගැන කවුරුත් කතා නෑ.
පැන්ඩෝරා පේපර්ස් ගැන මූලික කරුණු ටික ඔබ හැමෝම දන්නවා.
ඒත් සමහරවිට ඔබ දන්නේ මේ කතාවෙන් බොහොම චුට්ටක් විතරක් වෙන්න පුළුවන්. ඒ වගේම අපට පේන විදියට මේ පැන්ඩෝරා පේපර්ස් ගැන කතාබහ හරි පැත්තට යන බවක් පේන්නේ නෑ.
පොඩි කාලයක් අපි කතා කරමු. ඔබට නොපෙනෙන පැති වගේම, මේ හෙළිවෙච්ච කාලකණ්නි ක්‍රියාවලියේ පසුපස කතාව අපි කතා කරනවා. ඔබට වැටහේවි මීට මාස දෙකතුනකට කලින් අපි පැන්ඩෝරා පේපර්ස්වලට අදාල මාතෘකාව ගැන බෙරිහන්දීලා කිව්ව බව. මේ ගැන ආවේගයෙන් අපි කතා කරපු බව.
අපි මේ මාතෘකාව කොච්චර ගැඹුරුද? කොච්චර අපේ රටට මේක අදාලද කියන එක සරල බසින් කතා කරමු. මොකද, තවත් එක පුරවැසියෙක් වගේ රාජපක්ෂ පවුලට බණින එක විතරක් නොකර, මේකේ ගැඹුර හරියටම අපි තේරුම් ගමු.
පැන්ඩෝරා පේපර්ස් කියන්නේ?
ලෝකයේ ලොකුම ඔෆ්ෂෝ අකවුන්ට් ගැන තොරතුරු ගොනුව ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ටීම් එකක් හෙළි කළා. ඒ තමයි පැන්ඩෝරා පේපර්ස්.
ඩොකියුමන්ට් මිලියන 11.9ක් මේකේ තියෙනවා. මේ ඩොකියුමන්ට්ස් කියන්නේ පෞද්ගලික තොරතුරු හුවමාරු. ඊමේල්, පාස්පෝඩ් කොපි, බැංකු ස්ටේට්මන්ට් තියෙනවා. මේ ගොනුවේදී කතා කරන සම්පූර්ණ මුදල්වල වටිනාකම ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 32ක්. අපි මේ කතා කරන ඔක්තෝබර් 07 වැනිදා එළියට දාපු ලංකාවේ 2021 සම්පූර්ණ වියදම එක්ක සැලකුවොත්, ලංකාවට අවුරුදු 2546ක් ඒ සල්ලිවලින් ඉන්න පුළුවන්.
ඒ වගේම ඔය ධනස්කන්ධයෙන් සීයට එකක් බදු ගහලා තිබුණොත්, ලෝකෙ පොඩි මිනිසුන්ගෙ ආර්ථිකයට ඩොලර් බිලියන 32ක් එකතු වෙනවා. ඒ කියන්නේ සීයට එකක් විතරක් බද්දට අහු වුණා නම්, අවුරුදු 250ක් විතර මේ අයවැයෙන් ලංකාව කියන රට ගෙනියන්න තරම් සල්ලි.
හැබැයි මේ විදියට හංගලා තියෙන්නේ ධනය විතරක් නෙවෙයි. දේපළ, කලාකෘති සහ ආභරණ විශාල ප්‍රමාණයක් ගැන තොරතුරු මේ හෙළිදරව් අතර තියෙනවා. කලෘකාති අතර සමහර ඒවා හොරකම් කරපුවා.
ජනාධිපතිවරුන්, රජවරුන්, ජනප්‍රිය පුද්ගලයන්, ව්‍යාපාරිකයන් සහ අපරාධකරුවන් සල්ලි එහේ මෙහේ කරපු හැටි විස්තර ඇතිව මේකේ තියෙනවා.
අකවුන්ට්වල අයිතිකාරයන් විදියට ලෝකෙ බලවතුන් ගොඩකගේ නම් අතර මේ රටේ පාලක පවුලේ නිරූපමා රාජපක්ෂගේ නම මේ ගොනුවේ සඳහන් නමක්.
ශකිරා, එල්ටන් ජෝන්, ආදරණීය බීට්ල්ස්ලාගේ ඩ්‍රම්ස් වාදක රිංගෝ ස්ටාර්ර්, සචින් තෙන්දුල්කාර් ආදී ප්‍රසිද්ධ පුද්ගලයන් ඕෆ්ෂෝ ගිණුම්වල සල්ලි තැන්පත් කරපු හැටි මේවායින් හෙළි වුණා.
ඊට අමතරව ලෝකයේ විවිධ රටවල දේශපාලන බලය හොබවන පිරිස්වල නම් ආදිය මේවායේ සඳහන්. ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු ලෝකෙ රටවල් කිහිපයක අධිසුඛෝපභෝගී දේපළ අරන් තිබුණා. අවුරුදු ගාණක් තිස්සේ රුසියාවේ පාලක ව්ලැඩ්මීර් පුටින්ගේ පෙම්වතියක් ලෙස හඳුනාගත් කාන්තාව අවුරුදු 20කට කලින් දියණියකට උපත දුන් වෙලාවේ මොනාකෝවල සුඛෝපභෝගී ගෙයක් අරන් තිබුණා. අනුමාන කරන විදියට දියණිය පුටින්ගේ.
හැබැයි වැදගත්ම කරුණ තමයි මේවායේ තියෙන්නේ ඔය ක්‍රමයට සල්ලි හංගපු හැම කෙනාගේම නම් නෙවෙයි. ඒ අය අතරින් කිහිපදෙනෙකුගේ නම් විතරයි. බොහෝ විට ඉතා සුළුතරයක්. මීට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේත් මේ වගේ විශාල පිරිසක් ඔය ක්‍රමවලින් සල්ලි හංගලා තියෙනවා.
මේ පළවැනි වතාවද?
මේ ජාතියේ හෙළිදරව් අතරින් තුන්වැනි හෙළිදරව්ව තමයි මේ. පළවැනි එක තමයි පැනමා පේපර්ස් කියන්නේ. පැනමා පේපර්ස් හෙළිදරව් වෙද්දී ලෝකය යහපත් කරන්න මහන්සි වෙන මිනිස්සුන්ගෙ ඇස් ලොකු වෙලා බෝල එළියට පැන්නා. එතැන් ඉඳන් මේ වෙද්දී ලෝකයේ රටවල් මෑත ඉතිහාසයේ ටිකෙන් ටික ගමන් කරන දැවැන්තම සිස්ටම් චේන්ජ් එකට මේ හෙළිදරව් බලපෑවා.
පැන්ඩෝරා පේපර්ස්වලින් කළේ එළියට පැනපු ඇස් බෝල ගලවලා අතට දෙන එක. මොකද, කලින් තිබුණ නම් ලිස්ට් සහ මූලික තොරතුරුවලට එහා ගිහින් පැන්ඩෝරා පේපර්ස්වල තියෙනවා ඒ නම් සඳහන් අය ගනුදෙනු කරපු විදිය. ධනවතුන් බදුවලින් බේරෙන්න කොච්චර දේවල් කරනවාද කියන එක.
අයිසීඅයිජේ කියන ගවේෂණාත්ම මාධ්‍යවේදීන්ගේ එකමුතුව නියොජනය කරන ප්‍රධාන මාධ්‍ය ආයතන ගණනාවක මාධ්‍යවේදීන් 600 දෙනෙක් පැන්ඩෝරා පේපර්ස් මෙහෙයුමට සම්බන්ධයි. ඔවුන් එකතුවෙලා මේ දත්ත මාස ගාණක් තිස්සේ අධ්‍යන කරලා හොයාගත්ත තොරතුරු තවම එළියට දාලා ඉවර වෙලාත් නැහැ. මේ දිහා එක එක පැතිවලින් ඔවුන් බලනවා.
හොයන්නේ මොනවාද?
එයාලා ප්‍රධාන වශයෙන් මේ සල්ලි ආයෝජනය කරපු මිනිස්සු කවුද? එයාලා ඒවා ආයෝජනය කරන්න පාවිච්චි කරපු උපක්‍රම මොනවාද? මේවායේ බලපෑම මොකක්ද? මේවා කොච්චර දුරට වංචා සහගතද? මේ තත්වය ගැන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කරන්න ඕනෑ මොනවාද? මේවා ගැන නීති හැදෙන්න ඕනෑද? මිනිසුන්ට කරන්න පුලුවන් මොනවාද? වගේ පුළුල් කලාපෙක මේ මාතෘකාව විහිදෙනවා.
තවත් එක ප්‍රවෘත්ති බලන්නෙක් විදියට ආ රාජපක්ෂලා මෙහෙමයි, රාජපක්ෂලා ගැන මෙහෙම දෙයක් හෙළි වුණා වගේ සීමාවක හිර නොවී, පුළුල් විදියට මේ ගැන අපි බලන්න ඕනෑ.
ටැක්ස් හෙවන් එකක් කියන්නේ මොකක්ද?
මේ ගැන වොෂිංටන් පෝස්ට් වෙත විස්තර කරපු අයිසීඅයිජේ එකේ විල් ෆිට්ස්ගිබන් සහ ග්‍රෙග් මිලර් කියන විශිෂ්ඨ මාධ්‍යවේදීන් දෙන්නා කියන්නේ සරල අදහසක්. යම්කිසි රටක් හෝ ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ මුදල් ආයෝජනය කරද්දී, ඒ කෙනා මුදල් හම්බකරපු ප්‍රදේශයට අදාල බදු ගෙවීමෙන් බේරෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ තොරතුරු ආවරණය කරගන්න පුළුවන්.
ටැක්ස් හෙවන් එකක් ස්වභාවයෙන්ම නීතිවිරෝධී නෑ. අපරාධකාරී නෑ. සංකල්පයක් විදියට ගත්තොත් මේවා පාවිච්චි කෙරෙනවා ධනවතුන්ව ආයෝජනය සඳහා ආකර්ශනය කරන්න. එයාලා බදු අඩු නම්, වැඩිපුර ආයෝජනය කරන්න කැමති වේවි. තව සමහර අය ආරක්ෂාව සඳහා තමන්ගේ ධනය මේ වගේ තොරතුරු අඩු පැත්තක දානවා. ඒ නිසා ආර්ථික සංකල්පයක් විදියට ටැක්ස් හෙවන් අවුලක් නෑ.
ඒත්, ප්‍රශ්නය තියන්නේ ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මත. අද ටැක්ස් හෙවන් පාවිච්චි කරන්නේ, ඒ ක්‍රමය පවත්වාගෙන යන්නේ සම්පූර්ණයෙන් පාහර වැඩකට. ආචාරධාර්මික
ඇයි ඕකට දරුණුම වචනවලින් බණින්නේ?
මේ ටැක්ස් හෙවන් වැඩේ ලෝකයේ තියෙන හිත්පිත් නැති, කාලකණ්ණිම වැඩක්. මේ වෙද්දී ලෝකය හිතාගන්න බැරි තරම් විෂමතාවකට ඇදී යනවා. ලෝකෙ මහා ධනස්කන්ධයක් තියෙන ධනවතුන් සහ එදිනෙදා ජීවිත සටන වෙනුවෙන් දුක්විඳින දුප්පතුන් අතර බෙදීම අතිශය දරුණු වෙලා. ලෝකෙ ධනයෙන් අතිවිශාල කොටසක් ධනවතුන් සුළු පිරිසක් අතර බෙදී ගිහින්.
ඒ ධනවතුන් තමන්ගේ ධනය උපයන්නේ කොහොමද? සමහරුන් වංචා කරලා. තවත් සමහරුන් මිනිසුන්ගේ ශ්‍රමය හූරාකාලා.
ඔය විදියට හම්බකරපු සල්ලි බදුවලින් හැංගිච්ච කම්පැණි හැදීම, නිර්නාමිකව ආයෝජන කිරීම ආදී ක්‍රමවලින් තමන්ගේ ධනය වැඩි කරගන්න සමත් වෙනවා. මේ හැංගිච්ච ධනය පාවිච්චි කරමින් තමයි පෞද්ගලික යොත් නැව්, ජෙට් සහ දැවැන්ත ඉඩම් සහ ගෙවල් මිලට ගන්නේ. අධිපරිභෝජනය කරන්නේ.
මහා ධනවතෙකුගේ චූටි රසවිඳීමකට යන වියදම පීඩිත මනුස්සයෙක් අවුරුද්දක් තිස්සේ ජීවත්වෙන සල්ලි වෙන්න පුළුවන්.
මේක පිටිපස්සේ තියෙන දුක්බර කතාව තමයි මේ මහා ධනස්කන්ධය ඔවුන් නිසියාකාරව බදු ගෙවමින් ආයෝජනය කළා නම් පීඩිත මිනිසුන්ට යහපතක් කරන්න ඔය සල්ලි යොදවන්න තිබුණා.
ඉතින්, හරියටම කීවොත් මේ ධනස්කන්ධයෙන් හෙළි වෙන්නේ පීඩිතයන් හූරාකන, ධනවතුන් බදු ගහන මේ සිස්ටම් එක අද ගමන් කරලා තියෙන තැන.
ලෝකය වමට හැරෙමින් තියෙන බව ප්‍රකට කතාවක්. ඇත්ත. සමහරවිට සෝවියට් දේශය, කියුබාව හෝ චීනය වගේ ෆුල් සමාජවාදී ක්‍රමයක් හදපු රටවල් ෆේල් වෙන්න ඇති. ඒ මොඩල් අවුල් වෙන්න ඇති. ඒත් අනූ ගණන්වල වෙද්දී ගොඩක් අය විශ්වාස කරපු දේ මේ ධනවාදී සිස්ටම් එක මාර රාජ්‍ය සිස්ටම් එකක් කියලානේ. ඒක එහෙම නොවන බව තමයි පැන්ඩෝරා පේපර්ස්වලින් පෙනුණේ. මේක කෙළින්ම ලෝකයේ ඔලුවට වැදුණ පොලු පාරක්.
ඉස්සර ගවේෂණාත්මක මාධ්‍යවේදීන් හෙව්වේ ආණ්ඩුවල කෙරුවාවල් ගැන. ඒත්, අද ලෝකෙ දැවැන්තම මාධ්‍ය ආයතන ගොනුවක්, තමන්ගේ උපරිම විශිෂ්ඨ මාධ්‍යවේදීන් යොමු කරලා, එයාලාට මාස ගණන් පඩි නඩි ගෙවමින් ඔවුන් ලව්වා මේ පේපර්ස් ගැන හෙළිදරව් කරවන තැනට තල්ලු කළා. ඒක අහම්බයක් නෙවෙයි. මේවා පාරෙ යන ගමන් කවුරුහරි ඇහිඳගෙන හෙළිදරව්වක් විදියට මතු වූ එකක් නෙවෙයි. මාධ්‍ය ආයතන ගණනාවක් වුවමනාවෙන්ම හොයා බලා කරගත්ත හෙළිදරව්වක්. ඔවුන් අවුරුදු හතකට වැඩි කාලයක් තිස්සේ මේ කම්පැණි ගැන හොයමින්, ලෝකෙට මේ ගැන කියන්න උත්සාහ කරමින් ඉන්නවා.
ඒ අරූ නරකයි, මූ නරකයි කියල කියන්න නෙවෙයි.
මේ සිස්ටම් එක නරකයි කියල කියන්න.
අපි මීට කලිනුත් අවස්ථා ගණනාවකදී කීවා. මේ ධනවතුන්, බලවතුන් සිස්ටම් එකේ අද පවතින තත්වයට වගකියන්න ඕනෑ බව.
ලෝකෙ ප්‍රතිචාරය මොකක්ද?
මේකෙදී ඇලස්කා, ඩෙල්වෙයාර්. සවුත් ඩකෝඩා, නෙවාඩා ආදී ප්‍රදේශ පවා බදුවලින් හැංගිලා ආයෝජනය කරන්න ඉඩ ලැබෙන බව මුල්වරට ඇමෙරිකානුවන් දැනගත්තා. ඇමෙරිකන් මාධ්‍ය සහ දේශපාලන විචාරකයන් මේක ගන්නේ හුදෙක් නම් සඳහන් පුද්ගලයන් අල්ලගෙන කයිය ගැසීමෙන් එහා තැනකින්.
මේ වෙද්දී ගොඩක් අය සවුත් ඩකෝඩාවල මිනිසුන් බදු ගෙවීමෙන් හැංගෙන එක වෙනස් කරන්න නීති හදන්න කතා කරනවා. මේකේ අවුල දකිනවා. තමන්ගේ රට ඇතුළේ බදු නොගෙවා හැංගෙන්න ඉඩ ලැබිලා තියෙන බව දැනගත්තම ඇමෙරිකන්කාරයන් කැළඹෙනවා.
අපි කරන්නේ මොකක්ද?
ඒත්, ලංකාවේ අපි මොකද කරන්නේ. මාස කිහිපයක් ඇතුළේ අපි මිනිසුන්ට බදු නොගෙවා හැංගෙන්න ඉඩකඩ සපයන පනත් දෙකක් සම්මත කරගත්තා. අපි කරන්න යන්නේ ඒ කාලකණ්ණින්ව පුළුවන් තරම් අපේ රටට ආකර්ශනය කරගන්න එක. ඒ සිස්ටම් එක අනුමත කරන එක.
අන්න ඒකයි මාස ගාණකට කලින් අපි බෙරිහන් දුන්න හේතුව. අපි මේ කරන්නේ අපේ රටේ
ලෝකෙ ඉන්න මහත, තඩි දස කාලකණ්ණි ටික රටට ඇදගන්න එක. අපි කලිනුත් කිව්ව වගේ සමහරවිට සල්ලි ටිකක් නං එයි. ඒත්, ඒ එක්කම මේ රටට එන්නේ ධනවාදී සිස්ටම් එකේ කාලකණ්ණිම පැත්ත. ඒ එක්ක ගැටගැහිච්ච අපරාධකාරී සංස්කෘතිය.
අන්න ඒ නිසයි අපි කිව්වේ, මේ රටේ ආත්මය විනාස කරන වැඩක් මේ කියලා. ලංකාව නම් කාන්තරව පාහර විදියට දූෂණය කිරීමක් තමයි මේ පාලකයන් පිරිස කරමින් ඉන්නේ.
ලෝකය මේ ධනවතුන් බදු ගෙවීමට යටත් කරන්න නීති හදන හැටි කතා කරද්දී. අපේ රාජ්‍යය තක්කඩි, කාලකණ්ණි පාරක ගමන් කරනවා. ඒ, මුළු රටේම කැමැත්තෙන්ද? නෑ. මිනිසුන් රවට්ටලා දේශපාලන බලය ගත්ත තක්කඩි පවුලක කැමැත්තට සහ ඒ පවුලෙ වුවමනාවට ඕනෑ කුණු ගොඩකට අත උස්සන්න ලෑස්ති තක්කඩි අනුගාමිකයන් පිරිසක් හින්දා.
හරියටම කීවොත්, පැන්ඩෝරා පේපර්ස්වලින් හෙළි වෙන්නේ තිරුකුමාර් නඩේසන් සහ නිරූපමා රාජපක්ෂ කියන පුද්ගලයන් ගැන නෙවෙයි. ඊට එහා ගිය දෙයක්. මේ පාලක පවුල ලංකාව ගෙනියන්න හදන පාපතර මාවත ගැන හෙළිදරව්වක්.