‘පැන්ඩෝරා ලොජික් ලංකාවට ඇලජික් ද?’ ආචාර්ය ප්‍රිංයග දුනුසිංහ  

දේශසීමාවලට පිටතින් පිහිටුවා ඇති රහසිගත සංකීර්ණ සමාගම් ජාල ගැන හෙළිදරව් කෙරුණු පැන්ඩෝරා පේපර්ස් විසින් ලෝක දේශපාලනය අවුලනු ලැබ තිබේ. චූදිතයන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ ජාත්‍යන්තර වශයෙන් අනාවරණය නොකළ මුදල් යොදාගෙන ආයෝජන පවත්වාගෙන යෑමය. මෙහිදී දකින්නේ ඉතාම කෙටි කලෙකින් සාමාන්‍ය ධනවතුන් සුවිසල් ධනවතුන් බවට පත්වීමය. මීට පෙර සිදු වූ පැනමා පේපර්ස් ජනමාධ්‍ය අනාවරණයේදී ද ලංකාවේ නම් ගම් ගෑවී තිබුණි. එහෙත් ඒ අවස්ථාවේදී නිසියාකාරව සොයාබැලීමක් සිදුවූයේ නැත. මේ සිදුවීමේදී ජනාධිපතිවරයා විමර්ශනයක් කරන්නැයි නියෝග කර තිබේ.

එය කොපමණ සීඝ්‍රතාවයකින් කොපමණ ස්වාධීනතාවකින් වේදැයි අපට කියන්නට බැරිය. එහෙත් පැන්ඩෝරා පේපර්ස් අනාවරණය වන කාල සීමාව වනවිට ලංකාවේ දේශපාලන ආර්ථිකය පවතින තැන සුවිශේෂී බව නම් කිව යුතුමය. ඊට හේතුව නම් පැන්ඩෝරාවේ ඉලක්කගත ධනවතුන් කිසියම් ආකාරයකට ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ද ඉලක්ක බවට පත්ව තිබෙන සන්දර්භයයි.


නව මුදල් ඇමැතිවරයාගේ සම්ප්‍රාප්තිය සමග ගත් ප්‍රධාන පියවරක් වූයේ මුදල් පනතක් සම්මත කරගැනීමය. එයින් පාලකයන් අදහස් කළේ අනාවරණය නොකළ මුදල් මෙරටට ගෙනඒමට පාර කැපීමය. දැන් මේ පැන්ඩෝරා අනාවරණය සමග ඕනෑම අයෙකුට හටගන්නා සැකය නම් ප්‍රතිපත්ති සම්පාදකයන් මේ තීන්දුව ගත්තේ මෙවැනි ධනවතුන් ඉලක්ක කරගෙනද යන්නයි. තවත් සරල කළහොත් හෙළි කළ නොහැකි ක`ඵ සල්ලි ලොව පවතින්නේ යැයි ද ඒවා ලංකාවටත් ගෙන්වාගත හැකි යැයි අදහස ඔවුන් තුළ තිබූ බවයි.

ආර්ථික අර්බුදයක පතුලටම වැටී ඇති මොහොතක විදේශීය මුදල් කෙසේ හෝ අද්දවාගැනීමක් ගැන යම් ආකාරයකින් සිතිය හැකි වුවත් මෙසේ හදිසියේ ධනවතුන් වී ඇති ලාංකිකයන් ගැන අපට ඒ ආකාරයෙන්ම සිතිය හැකිද? මුදල් පනත හරහා ආණ්ඩුව මාන බැලුවේ ලංකාවෙන්ම සොරකම් කළ මුදල් නැවත ගෙන්වාගැනීමටදැයි කෙනෙකුට සැක සිතුණහොත් එහි අසාධාරණයක් නැත.  


සැබැවින්ම පැන්ඩෝරා යනු අයිස්කන්දේ මාදිලිය සිහිකරන කතාවකි. ලොව අනීතික ධනස්කන්දය අයිස් කන්දක් නම් අපට තවමත් පෙනෙන්නේ එහි ජලයෙන් මතුපිට ඇති කොටස පමණි. අයථා ලෙස උපයාගත් මුදල් කන්ද ඒ සා විශාලය. අනාවරණය කළ නොහැකි ලෙස ලාංකිකයන් අතලොස්සක් උපයා ගත් මුදල් යනු නිසැක වශයෙන්ම මේ රටේ සාමාන්‍ය ජනයාගෙන් කිසියම් ප්‍රමාණයකට කොල්ල කා ගත් මුදල්වල ද අන්තර්ගතයකැයි යන අදහස මේ වනවිට ජනතාව අතරේ පවතී. අනෙක් අතට මේ මහා ධනස්කන්ධය කිසියම් පුද්ගලයකු අතේ තිබුණත් ඒවායේ මූලාශ්‍ර මොනවාද ඒවාට සම්බන්ධ සෙසු පුද්ගලයන් කවුද ආදී වශයෙන් ප්‍රශ්න රැසක් මතුවේ. අයථා ලෙස උපයා ගත් මුදල් කා අතේ පැවැතිය ද ඒවා මොන රටක හෝ ජනයාගෙන් හූරා ගත් ධනයයි. ලංකාවේ මෑතදී ගෙනා මුදල් පනත යනු එසේ බලද්දී එවැනි ක්ෂණික ධනපතියන් බිහිකිරීමට ධෛර්ය දෙන අවලස්සන වැඩකි. මොන රටක හොරකම් කළත් සොරා කෑ මුදල් පිරිසිදු කරගත හැකි වැඩපිළිවෙලකි.


දෙවැනි කරුණ වන්නේ පැන්ඩෝරා අනාවරණයේ අරමුණු හා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පාලකයන්ගේ ලෝකදැක්ම අතර පරතරයයි. බී.බී.සී පවසන ආකාරයට ලෝක නායකයන් දේශපාලකයන් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස් ධනය, ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ මූල්‍ය ලේඛන ලක්ෂ 120කට ආසන්න සංඛ්‍යාවක් මෙමගින් අනාවරණය කර ඇත. රටවල් 117ක මාධ්‍යවේදීන් 600 කට අධික පිරිසක් සම්බන්ධ වී කළ මේ අනාවරණය ලෝක ජනමාධ්‍ය ඉතිහාසයේ විශිෂ්ට පියවරක් පමණක්ම නොවේ. එය මේ ලෝකයේ ශිෂ්ටසම්පන්න ආණ්ඩුකරණයට අදාළව තැබූ යෝධ ප්‍රජාතන්ත්‍රීය පියවරකි.

ජනමාධ්‍යවේදීන් සිය ගණනක් වසර ගණනාවක් තිස්සේ මෙසේ විශාල පරිශ්‍රමයක් දරමින් කටයුතු කිරීමෙන් හෙළිදරව් වන්නේ කුමක්ද? මහජන ධනය කොල්ලකෑමේ කැත වැඩපිළිවෙලට එරෙහිව ලෝක පරිමාණයෙන් දියත් වන ප්‍රජාතන්ත්‍රීය වැඩපිළිවෙලයි. මහජන ධනය කොල්ලකෑමේ වැඩපිළිවෙල ජාත්‍යන්තරවත් දේශීයවත් අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාවයයි.

එහෙත් ඒ අතරේ ලංකාවේ සිදුවන්නේ කුමක්ද? ක`ඵ සල්ලි වුව ලංකාවට ගේනවා නම් දොර විවර කර දෙන වැඩපිළිවෙලකට පාර්ලිමේන්තුවෙන්ම පාර කැපීමකි. ඒ අර්ථයෙන් බලද්දී පැන්ඩෝරා අනාවරණය හා ලංකාවේ ආණ්ඩුකරණය අතර තිබෙන්නේ මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ සම්බන්ධයකි. මෙවැනි ක්‍රියාකාරකම් හරහා මූල්‍ය ලෝකය තුළ ශිෂ්ටසම්පන්න හා අභිමානවත් රටක් හැටියට හිටගන්නේ කෙසේදැයි අපට නම් නොවැටහේ.  


තෙවැනි ප්‍රශ්නය නම් මුදල් පනත ඉදිරිපත් කරන්නන්ට මෙවැනි මුදල් මූලාශ්‍ර ගැන අදහසක් තිබුණාද යන්නයි. එමෙන්ම ඔවුන් එසේ සිතුවේ නම් ආයෝජන ගැන ඔවුන්ට ඇති අදහස ඉතා ව්‍යාකූලය. අයථා ලෙස ධනවතුන් වූවන් ගැටෙන ආර්ථික පරිසරයක ආයෝජන කරන්නට වැදගත් ආයෝජකයන් කැමැති වන්නේ නැත. ඊට හේතුවක් තිබේ. උණ පුරුකේ දැම්මත් බලු වලිගයේ ඇදය යැවිය නොහැකි යම් සේ ද අයථා ලෙස ධනවතුන් වූවන් පසුකාලීනවවත් හොඳ මිනිස්සු වන්නේ නැත. ඔවුන්ගේ පුරුද්ද තිබෙන්නේම අයථා ව්‍යාපාරවලටය. මෙවැනි කටයුතුවල ස්වභාවය නම් ඒවාට යහමින් දේශපාලන සහාය ලැබීමය.

මෙවැනි ආයෝජන පරිසරයක් සැබෑ ආයෝජකයන්ට යහපත් වන්නේ නැත. එය ඔවුන්ට ඉතා පීඩාකාරීය. විශේෂයෙන්ම ඉන්සයිඩර් ඉන්ෆොමේෂන් හෙවත් ඇතුලත තොරතුරු පිටතට දීම වැනි ක්‍රම මගින් අසාධාරණ වාසි ලබාගැනීමට ක`ඵ සල්ලිකාරයෝ පෙළඹෙති. ලංකාවේ දේශපාලනය හා පරිපාලන යාන්ත්‍රණය අත්වැල් බැඳගත් දූෂිත යාන්ත්‍රණ ඊට හොඳ පසුබිමක් විය හැකි වුවත් සැබෑ ආයෝජකයන් ඊට කැමැති නැත.  


නිදසුනකට ගතහොත් කොළඹ වරාය නගරය ගැන කතා කිරීමේදී ඇතැමුන් කියන්නේ මවුන්ට් එලිසබෙත් වැනි රෝහල් ඇමෙරිකාවේ හා එංගලන්තයේ ජාත්‍යන්තර පාසල්වල ශාඛා ගැනය. ලෝ ප්‍රකට ආයෝජකයන් ගැනය. එහෙත් එවැනි ආයෝජකයෝ නම් දැරූ මුදල් ලොන්ඩරි සමග එකට සිටගන්නා ප්‍රවණතාවක් ආයෝජන පරිසරයේ නැත. එය සංචාරක ක්‍ෂේත්‍රයේ උපහැරණයකින් කියන්නේ නම් රුසියානු සංචාරකයන් ගැවසෙන තැන්වලට සෙසු සංචාරකයන් පැමිණීමට අමනාප සේ යැයි සඳහන් කළ හැකිය.

මේ වනවිට ජගත් ජනමාධ්‍ය මෙන්ම ලංකාවේ ජනමාධ්‍ය ද සැලකිය යුතු අයුරින් රාජ්‍ය යාන්ත්‍රණය හා බැඳුණු දූෂණ වංචා හෙළිදරව් කරමින් සිටී. එය යහපාලන මූලධර්මයක් ද වේ. රට පාලනය කරන්නන් මේ කිසි දෙයක් ගැන වද නොවී ක`ඵ සල්ලිකාරයන්ට පාර කපන ගමනක් යන්නේ නම් එය බරපතල තත්ත්වයකි. නාමිකව පැවැති චෞර රාජ්‍යට නෛතිකව මුද්‍රා තැබීමකි.  


මේ තත්ත්වය මත මා සිතන්නේ පැන්ඩෝරා පේපර්ස් පිළිබඳ සාකච්ඡාව ගැන ලාංකිකයන් ලොකු අවධානයක් දිය යුතු බවය. විශේෂයෙන්ම පැන්ඩෝරා සමග එකට තබා පසුගියදා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් මුදල් පනත ගැන සාකච්ඡා කළ යුතු බවයි. මුදල් පනතම අවුලක් වුවත් ලංකා සමාජයෙන් ඒ ගැන ලොකු විරෝධයක් පැන නැගුණේ නැත. ඇතැම්විට ජනතාව මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අහේනියම මේ අනවධානයට හේතුවන්නට ඉඩ ඇත.

එය එසේ නම් මගේ යෝජනාව වන්නේ පැන්ඩෝරා පේපර්ස් හරහා මතුවන අවකාශය මහජනයාට අතිශයින් බලපාන මෙම කරුණ ගැන පු`ඵල්ව සාකච්ඡා කිරීමට භාවිත කළ යුතු බවයි. දේශපාලකයන් හා ඔවුන්ගේ සහචර ව්‍යාපාරිකයන් කල්ලි ගැසී මහජන ධනය කොල්ල කන්නේය යන්න අලුත් චෝදනාවක් නොවේ. එහෙත් එසේ කොල්ල කෑ මුදල් ද නිරුපද්‍රිතව තමන්ට අවශ්‍ය ආකාරයට පරිහරණය කිරීමට එම පිරිස්ම ඉඩකඩ හදාගන්නේ නම් එය ඊටත් වඩා ඛේදයකි.


කතාබහ – බිඟුන් මේනක ගමගේ