ලංගමට පරිඝණක මිලදී ගැනීමේදී වැඩිපුර කෝටි 9ක් වියදම් කරලා!

  • රුපියල් කෝටි 3 කට ගත්ත සීසීටීවී ජීපීඑස් කඩලා
  • ඉලෙක්ට්‍රොනික් ටිකට් මැෂින් 2000 ක් තියෙද්දී තවත් 1000 ක් අරගෙන
  • අවුරුදු 4ක වාර්ෂික වාර්තා නැහැ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පරිඝණක මිලදී ගැනීමේදී ඇස්මේන්තු ගත මුදල ඉක්මවා රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් 2018 වර්ෂයේදී වැය කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී ආනාවරණය වී ඇත.

2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පරිගණක 139ක් හා ලැප්ටොප් යන්ත්‍ර 74ක් රුපියල් 15,290,000 ක ඇස්තමේන්තුගත මුදලකට මිලදී ගැනීමට සැලසුම් කොට තිබුණද, එය ඉක්මවා පරිගණක යන්ත්‍ර මිලදී ගෙන ඇති බවද අනාවරණය වී ඇත. මේ අනුව පරිගණක යන්ත්‍ර 800ක් හා ලැප්ටොප් යන්ත්‍ර 47ක් රුපියල් 113,303,750ක මුදලකට ප්‍රසම්පාදනය කර ඇත.

ඒ අනුව 2018 වර්ෂයේ පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් 89,977,500 ක මුදලක් ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය ගිණුම් හරහා වියදම් කොට ඇති බවත් අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ එහි වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 06 දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සුඛෝපභෝගී බස් රථ 125 ක කැමරා හා ජී.පී.එස් පද්ධති පවත්වා ගෙන යාමට අවශ්‍ය උපකරණ මීලදී ගැනීමට පෞද්ගලික සමාගමක් සමඟ රුපියල් කෝටි 3 ක වටිනාකමකින් යුතු ව්‍යාපෘති ගිවිසුමකට එළැඔ තිබුණත් මෙම උපකරණවලින් කිහිපයක් හැර අනෙක් උපකරණ නිවැරදිව ක්‍රියාකාරී මට්ටමක නොපැවති බව අනාරණය වී ඇත.

මෙම බස් රථ සේවකයන් එම උපකරණවලට හිතාමතාම හානි සිදු කර ඇති බවත් ඒ සම්න්ධයෙන් පරීක්ෂණයක් සිදු කරමින් යන බවත් ලංගම ප්‍රධානීහු එහිදී පවසා ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලයේ 2017,2018,2019,2020 යන වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ලබා නොදීම ගැන කෝප් කමිටුව ලංගම නිලධාරීන්ෙගන් ප්‍රශ්ණ කර තිබුණි.

2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 1000 ක් රුපියල් කෝටි 3 කට වැඩි මුදලක් වියදම් කරමින් මිලදී තිබුණි. නමුත් ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 2000ක් එම වර්ෂයේදී මිලදී ගැනීමට රුපියල් හත්කෝටි පනස් ලක්ෂයක් වියදම් කර තිබුණි. මේ අනුව අනුමැතියකින් තොරව ඉලෙක්ට්‍රොනික් බස් ටිකට් මැෂින් 1000 ක් මිලදී ගත් මැෂින් මඟින් අපේක්ෂිත අරමුණු ඉටු නොවීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර මාසයක් ඇතුළත ලබා දෙන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර ඇත.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ජගත් පුෂ්පකුමාර, මධුර විතානගේ, ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරු සහභාගී වුහ. පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාර්ග ගත ක්‍රමය ඔස්සේ මෙම කමිටුවට සම්බන්ධ විය. එසේම මේ සඳහා ප්‍රවාහන අමාත්‍යාශයේ ලේකම්වරයා ඇතුළු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්ද සහභාගී වූ අතර ඇතැම් නිලධාරීහු මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ද සම්බන්ධ විය.