බැසිල් දැම්මේ මැජික් අයවැයක්ද? පවුලට සීයට 30ක් බෙදාගත්තා! විමල්ගේ වියදම් කැපුවා!

අයවැය ඉස්සරහට එන්න නියමිතයි. මේ වෙද්දී විසර්ජන පනත් කෙටුම්පත එළියට දාලා තියෙනවා. මේක තමයි ඔය අයවැය කියලා අපි සම්මත කරන්නේ. ඒ ඒ අමාත්‍යාංශයට අයිති වැය ශීර්ෂ, ණය සීමා, වියදම් හා ආදායම්. ඒ නිසා හරි නම් අපි අයවැය කියන්න ඕනෑ මේකට.

ඒ වුණාට අපි ‘අයවැය’ කියල පුරුදු වෙලා තියෙන්නේ මුදල් ඇමති පාර්ලිමේන්තුවේදී කියවන අයවැය ප්‍රකාශයනේ. ඒකේ තියෙන්නේ කලින් කීව වැය ශීර්ෂ වියදම් කරන්නේ කොහොමද කියලා මුදල් ඇමති විස්තර කිරීම. බයියා කියන වචනය හැදුණේත් 2014 අයවැය අහවර වුණාට පස්සේ ‘කොහොමද බයියන්ගේ අයවැය?’ කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු කතාව නිසානේ.

සාමාන්‍යයෙන් මංගල සමරවීර මහතා ඉදිරිපත් කරපු අයවැය කතාව හැරුණාම මේ වගේ කතා කිසි තේරුමක් නෑ. ඒ වගේම විසර්ජන පනත් කෙටුම්පත ගැන කීවොත්, සුපුරුදු විදියට මේකත් රාජපක්ෂ අයවැයක්. වෙනසක් නෑ. හැන්ද තියාගෙන එක එක්කෙනාට බෙදාදීමක් මිස, ගැඹුර ගිය දැක්මක් මේකේ පේන්න නෑ.

රාජපක්ෂ පවුලට වෙන් කරපු මුදල සම්පූර්ණ අයවැයෙන් සීයට 30ක් වෙන් කරලා. ඒ වගේම විමල් වීරවංශ අමාත්‍යවරයාට 2021 අවුරුද්දේ වෙන් කරපු ගාණට වඩා බාගෙට බාගයක් 2022 අයවැයේදී කපලා. ළමා ආරක්ෂාව ගැන පුරවැසියන් කලබල වූ කාලෙක පාලක පවුලට කලබලයක් නෑ වගේ. 2021 අවුරුද්දේ වෙන් කරපු ගාණට වඩා බිලියන 5ක විතර මුදලක් 2022 අයවැයේදී කපලා.

ඔය කාරණා ඇතුළු 2022 විසර්ජන පනත් කෙටුම්පතේ වැදගත්ම කාරණා ගණනාවකට අපි මෙතැනදී අවධානය යොමු කරනවා.

කැබිනට් එකේ ඉන්නේ රාජපක්ෂවරුන් පස්දෙනයි. ඒ කියන්නේ සම්පූර්ණ කැබිනට් මණ්ඩලයේ 28 දෙනාගෙන් පහෙන් එකකටත් අඩුයි.

ඒත් සම්පූර්ණයෙන් ඇමති මණ්ඩලයට රාජ්‍ය ඇමතිවරුන් 37 දෙනෙකුත් අයිතියිනේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය ඇමතිවරයාත් ඔය අතරේ ඉන්නවානේ. එතකොට සම්පූර්ණ ඇමති, රාජ්‍ය ඇමති එකතුව 65ක්.

පාලක පවුලේ හයදෙනෙක් කියන්නේ මේකෙන් දහයෙන් එකකටත් අඩු ප්‍රමාණයක්. ඒත් අයවැයෙන් සීයට තිහක් එයාලාට. මේ හැරුණාම ‍එක් එක් අමාත්‍යාංශවල ඇමතිවරුන් ගත්තත්, හොඳම රාජපක්ෂ භක්තිවන්තයන්ට තමයි වැඩිපුර සල්ලි වෙන් වෙලා තියෙන්නේ. දයාසිරි ජයසේකරලා කැළේ.

මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල ආදී රාජපක්ෂ හිතෛෂිවන්තයන්ට, විශේෂයෙන් බැසිල් හිතවාදීන්ට කොහොමත් වැඩිම මුදලක් ගැවසෙන ඇමතිකම් තියෙනවා. ඒ අයට තමයි අයවැයේදීත් වැඩි සල්ලියක් වෙන් කරලා තියෙන්නේ.

විශේෂයෙන් මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයාට වඩා පාලක පවුලේ සාමාජික රාජ්‍ය ඇමති ශෂීන්ද්‍රට මුදල් වෙන් කරලා තියෙනවා.

මේ සියලු කරුණු ඔක්තෝබර් 10 වැනි ඉරිදා අනිද්දා පත්තරයේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ පෙන්වාදීලා තිබුණා. දේශපාලනය ගැන උනන්දු ඕනෑ කෙනෙක් හැම සති අන්තයේම අනිද්දා පත්තරය ගන්න කියලා අපි අතුරු යෝජනාවක් කරන්න ඕනෑ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ ඇතුළු දේශපාලන විචාරකයන්ගේ විචාර, ලසන්ත රුහුණගේ වගේ ලංකාවේ අංක එකේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ හෙළිදරව් අනිද්දා පත්තරේ තියෙනවා.

අපිත් මේ මාධ්‍ය ලෝකයට හැඩගැහුණේ රාවය, අනිද්දා පත්තරවල ඉඳලා. තිඹිරි ගේ ප්‍රමෝෂන් කළා ඇති. අයවැයේ කතාවට හැරෙමු. කලින් කී අනිද්දා වාර්තාවට අමතරව අපි විසර්ජන පනත් කෙටුම්පත කියෙව්වා. ඔබත් කියවන්න කැමති නම්, පහළ ලින්ක් එක ඇති.

සැප්තැම්බර් 07 වැනිදා උදේ වරුවේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළා. අවුරුද්දේ රජයේ වියදම රුපියල් දෙදාස් පන්සිය පස් බිලියන තුන්සිය හතලිස් හය මිලියන පන්සිය පනස් අට දාහක්. ට්‍රිලියන දෙකහමාරක් විතර.

ඉක්කම්වලින් 2,505,346,558,000ක්.

එතකොට අවුරුද්දේ ණය සීමාව. රුපියල් තුන්දහස් එකසිය අසූහතර බිලියන හාරසිය හැත්තෑ මිලියනයක්. ඉලක්කම්වලින් 3,184,470,000,000ක්. ට්‍රිලියන 3.1ක්.

මුළු වියදමෙන් බිලියන 1776ක් පුනරාවර්ථන වියදම්. මූලධන වියදම් බිලියන 728ක්.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය බිලියන 2.7ක්. කෝටි 2700ක්. ඒ අනුව 2020 අවුරුද්දට වඩා මිලියන 600කින් විතර ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අඩු වෙලාලු. අම්මෝ! ආණ්ඩු හිතවාදින්ට ආඩම්බරයක් වේවි. ජනාධිපතිතුමා වියදම් අඩු කරගෙන.

ඒත්, ඇත්තටම ජනාධිපතිවරයාගේ ශීර්ෂය අඩු කළාට, ඔහුගේ අමාත්‍යාංශවල වියදම් අඩු වෙලා නෑ. ඒ වෙනුවට වැඩි වෙලා.

ඕකයි මෙදා අයවැයේ රහස. තනි තනි වැය ශීර්ෂ ගත්තොත් වගේම සම්පූර්ණ වියදම ගත්තොත් 2022 අවුරුද්දේදී වියදම් කපලා. 2021ට වඩා අඩුයි. අමාත්‍යාංශ අතරින් සීයට 50කට වැඩි ප්‍රමාණයක වියදම අඩු කරලා තියෙන්නේ. ඉතිරි ඒවායිනුත් සෑහෙන ප්‍රමාණයක වියදම් ආසන්න වශයෙන් සමානයි.

ඒත්, රාජපක්ෂවරුන්ට වෙන්වෙච්ච වැය ශීර්ෂ ගණනාවක වියදම් වැඩි වෙලා. දැන් ලංකාව ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවක අපි හිතන්නේ ආරක්ෂාව වෙනුවෙන් ලංකාව හැමදාම වෙන් කරන අධික වියදම අඩු කරන්න ඕනෑ බව.

ඔව්, ත්‍රස්තවාදී අවදානමක් ගැන හැමදාම කියන නිසා ඒවාට අදාලව යම් වියදම් ප්‍රමාණයක් දරන්න ඕනෑ බව ඇත්ත. ඒත්, ඒ හැරුණාම ලොකු යුද්ධ එන්නේ නැති නිසා ගොඩක් මිලිටරිමය වියදම් කපන්න පුළුවන්. ඒත් ඉතින් ක්‍රිකට් බැට් එකකින් ටෙනිස්, බේස්බෝල්, හොකී, පෝලෝ, ටේබල් ටෙනිස් වගේ ඔක්කොම ක්‍රීඩා කරන්න යන මෝඩයෙක් වගේ හැම මගුලටම හමුදාව ඔබන්න හිතන කෙනෙක්ට වියදම් වැඩි කරනවා හැර වෙන විසඳුමක් නෑනේ.

ඉතින් සහෝදරවරුනි වැඩිම වියදමක් ආරක්ෂක අමාත්‍යාංශයට. බිලියන 373ක්. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2020 එක්ක බැලුවාම මිලියන 600කින් අඩු වෙද්දී, ආරක්ෂක අමාත්‍යාංශයේ වියදම මිලියන 1800කින් වැඩි වෙලා. ටිකක් වැඩිපුර බෙදා දීලා.

ඒ කියන්නේ ජනාධිපති කාර්යාලයේ අඩු වුණ වියදම වගේ තුන් ගුණයක් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩි කරලා. මතක තියාගන්න, තත්වයේ හැටියට මේ අයවැයේදී අමාත්‍යාංශ ඔක්කොගෙන්ම බාගෙකට වඩා ප්‍රමාණයක වියදම් කපලා දාලා. බරපතල විදියට අඩු කරලා.

අගමැති කාර්යාලයට බිලියන 1.3ක්. මේක ගිය අවුරුද්දට වඩා මිලියන 300ක විතර වැඩිවීමක්.

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘත කටයුතු අමාත්‍යාංශයට බිලියන 5ක් වෙන් කරලා.

බැසිල් මහත්තයාගේ මුදල් අමාත්‍යාංශයට බිලියන 185ක් විතර වෙන් වෙලා. දැන් ඉතින් මහින්ද අයියගෙ අමාත්‍යාංශවලට වඩා බැසිල් මල්ලිගේ අමාත්‍යාංශවලට සල්ලි වැඩියිනේ.

ඊළඟට චමල් ලොකු අයියාට හැන්දෙන් පදමට බෙදාගෙන. බිලියන 47ක්. ගිය අවුරුද්දට වඩා බිලියනයක් වැඩිපුර බෙදාගෙන.

ජොන්ස්ටන් ප්‍රනාන්දු පවුලට හිතවත් මහත්තයාගෙ මහාමාර්ග අමාත්‍යාංශයට බිලියන 250ක් බෙදා දීලා.

ඒ මහත්තයාගේ පුත්‍ර රත්නය වන ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයාට බිලියන 45ක්. කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එලවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම අමාත්‍යාංශය. කෘෂිකර්ම විෂයට අයිති උප විෂයක්.

ඒත් ඒ උප විෂය අයිති පාලක පවුලේ පොඩි හාමු මහත්තයාට ලැබිච්ච මුදලෙන් බාගයක් විතර තමයි කෘෂිකර්ම විෂය භාර ප්‍රධාන ඇමති වෙච්ච මහින්දානන්ද මැතිතුමාට බෙදලා තියෙන්නේ. බිලියන 23ක්.

ඒත් ඉතින් රාජපක්ෂ පවුල එක්ක නෙවෙයිනේ, මහින්දානන්ද මහත්තයාගෙ මුදල සංසන්දනය කරන්න ඕනෑ. ඒක සංසන්දනය කරන්න ඕනෑ කැබිනට් එකේ අනෙක් පුහුදුන් උදවිය එක්කනේ. ඉතින්, කෘෂිකර්ම අමාත්‍යාංශයට සෑහෙන ලැබිලා තියෙනවා රාජපක්ෂලා හැර අනෙක් ඇමතිවරුන් එක්ක සංසන්දනය කළොත්.

කොහොමත් කවුරුහරි පොහොට්ටුවේ කට්ටිය සහ ආණ්ඩුවේ බල්ලන් රංචුවට අයිති වැය ශීර්ෂ සංසන්දනය කළොත් බල්ලෝ පව් කියා හිතේවි.

මීට අමතරව අපට මතු කරන්න ඕනෑ ප්‍රතිපත්තිමය කාරණාවක්. ලංකාව ඉන්නේ ආදායම් අඩු පසුබිමක. මං හිතන්නේ මොන මහත්තයා අයවැය ගෙනාවත් අපි හැමවෙලාවෙම හිතන්න ඕනෑ අපේ අධ්‍යාපනය ගොඩදාන එක, ළමා ආරක්ෂාව තහවුරු කරන එක, විශ්වවිද්‍යාල සංවර්ධනය කරන එක, විශ්වවිද්‍යාලවලට යන්න බැරි අයට නිපුණතා සංවර්ධනය වෙනුවෙන් ලොකු මුදලක් වෙන් කරන එක ආදී දේවල්. ඊට අමතරව මේ රටේ කර්මාන්ත ටික සංවර්ධනය කරන්න ඕනෑ. අපට දැනටමත් ආදායම් ලැබෙන කර්මාන්ත වගේම, අලුතින් ආදායම් එකතුවෙන කර්මාන්ත වෙනස් කරන්න ඕනෑ.

නිකමට හිතන්න, අපි හරියට නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රය සහ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය වගේ තැන්වලට සල්ලි දාලා ලොකු වෙනසක් කළොත් අවුරුදු හතරක් පහක් යද්දී ප්‍රතිඵල ලැබෙන්න ගනීවි. උගත්, බුද්ධිමත්, අලුත් ශ්‍රම පරපුරක් බිහිවේවි.

කර්මාන්ත ක්ෂේත්‍රවල ප්‍රශ්න විසඳන්න වැඩි අවදානයක්, මුදලක් යොමු කළොත් අවුරුද්ද දෙක යද්දී ආදායම් වැඩි වේවි.

ඒත්, පාරවල් හැදූ පළියට කලින් කී දේවල් තරම් වෙනසක් වෙන්නේ නෑ. අපි කියන්නේ පාරවල් ඕනෑ නෑ කියලා නෙවෙයි. කලින් විෂයන්ට වැඩි අවධානය යොමු කළොත් අධිවේගී පාරවල් හදන්නත් සල්ලි ලැබේවි අපට.

ගේම් චේන්ජ් කරන අයවැයක් නම් ඒක විසර්ජන පනත් කෙටුම්පතෙන්ම පේන්න තියෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන්නේ බිලියන 127යි. ගිය අවුරුද්දට වඩා බිලියන දෙකක් වැඩි වෙලා නම් තියෙනවා. ඒත් මහාමාර්ග අමාත්‍යාංශය තරම් මුදලක් නෑ.

කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංයට වෙන් කරලා තියෙන්නේ බිලියන 22.8ක විතර ගාණක්. ඒක ගියපාර වෙන් කරපු බිලියන 30ට වඩා බිලියන 7කට වැඩි මුදලකින් අඩු වීමක්. විශේෂයෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව අයිති වෙන්නේත් මේ යටතට. මේ කාලසීමාව රිෂාඩ් බදියුදීන් මහතාගේ ගෙදර දැරියගේ සිදුවීම, අන්තර්ජාලයෙන් දැරියක් විකිණීම වගේ දේවල් නිසා ළමා ආරක්ෂාව ගැන වැඩිම අවධානය යොමු වෙච්ච කාලයක්. ඒත්, කපන්න වුවමනාව ආපු ගමන් බිලියන ගණන් කපන්නේ ඔය වගේ විෂයන්ගෙන්.

ළමා ආරක්ෂාව මොන මගුලටද? ඒක රාජපක්ෂ පවුලට අයිති විෂයකුත් නෙවෙයිනේ.

මේ හැරුණාම නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට බිලියන 11යි. මේක ගිය අවුරුද්දට වඩා බිලියනයක විතර අඩුවක්.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයට බිලියන 2යි.

කලින් කීව අනාගතයට වැදගත් අමාත්‍යාංශ හතරේම වියදම් එකතු කළත් ආරක්ෂක අමාත්‍යාංශය තරම් මුදලක් නෑ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට බිලියන 153ක්. මේක ගිය අවුරුද්දේ බිලියන 158ට වඩා බිලියන 5ක් විතර අඩු වීමක්. ඒකත් වැදගත්ම විෂයක්නේ. අපි සෞඛ්‍ය සංවර්ධනය කරන්න ඕනෑ නැතිද?  

විමල් වීරවංශ අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ හිතවතෙක් නම් නෙවෙයි. ඉතින් පව්! ඔහුගේ කර්මාන්ත අමාත්‍යාංශයට දීලා තියෙන්නේ බිලියන 1.6යි. ඉතින්, අපි කීවා වගේ ඔහුට 2021 අයවැයේදී බිලියන 3ක් විතර වෙන් කරලා තිබුණා. මෙදා පාර ඒකෙන් බාගෙට බාගයක් කපා දාලා. දඟ කළාට හොඳ වැඩේ.

වාසුදේව නානායක්කාර ඇමතිවරයාගේ ජල සම්පාදන අමාත්‍යාංශයට බිලියන 32ක් ලැබිලා තියෙනවා.

දයාසිරිගේ බතික්, අත්යන්ත්‍ර රාජ්‍ය අමාත්‍යාංශයට මිලියන 760යි. එයාට වඩා මැටි ඇමතිට බජට් එකක් තියෙනවා. බිලියන 1යි ගාණක්. ඒ අනුව විමල් වීරවංශ මහත්තායට තරම්ම ගාණක් ප්‍රසන්න රණවීර මහත්තයාට දීලා.

හැබැයි ඉතින් ඒ අතින් ගත්තම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහත්තයාට ලැබිලා තියෙන්නේ මිලියන 250ක් විතර.

ඕකට ආසන්න මුදලක් තමයි ඔලුවට පිස්තෝල තියලා මරණ තර්ජනය කිරීම් ගැන තර්ජනය කරපු චෝදනා තියෙන අතිගරු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට මැණික් හා ස්වර්ණාභරණ විෂය වෙනුවෙන් ලැබිලා තිබුණේ. මිලියන 191ක විතර ලැබිලා තියෙනවා දෙයියනේ කියල.

ඔය කිව්ව සමහර අමාත්‍යාංශ යටතේ සමාගම්, අධිකාරී, සංස්ථා වගේ ඒවාත් තියෙන බව අමතක කරන්න බැහැ. ඒක හරි. උදාහරණයක් විදියට ගම්මන්පිළ මහත්තයා යටතේ ලොකුම ලොකු ලංකා ඛනිජ තෙල් සංස්ථාව තියෙනවා. විමල් වීරවංශ අමාත්‍යවරයා යටතේත් තියෙනවා. ඒත්, ඇමති කෙනෙක්ට යමක් කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ වාර්ෂිකව තමන්ට අයවැයේදී ලැබුණ මුදල අනුව.

මේ විදියට අපට තව කතා කරන්න පුළුවන්. විදේශ රැකියා, සංචාරක ආදී ලංකාවේ ආදායම වැඩි කරවන්න ඕනෑ අමාත්‍යාංශවලට සාපේක්ෂව පාරවල් හැදීම වගේ වැඩවලට වැඩි අවධානයක් මේ අයවැයේත් තියෙන්නේ. කිසිම ගේම් චේන්ජින් ගතියක් මේ මොළ හතේ අයවැයේ නෑ. ඒ වෙනුවට සුපුරුදු සාම්ප්‍රදායික විෂයන්ට සල්ලි වෙන් කරපු වැය ශීර්ෂ තමයි තියෙන්නේ. බලමු, ඉදිරියේදී අයවැය කතාව එනවා.

සාමාන්‍යයෙන් අයවැයක් වගේ එකක් ආවාම ඒ ඩොකියුමන්ට් එකත් කියවලා බලන්න කියලා අපි පුරවැසියන්ට යෝජනා කරනවා. උඩින් පල්ලෙන් හරි බැලුවොත් මේ වගේ ඩොකියුමන්ට්වල ස්වභාවය, ඒවායේ තියෙන වැදගත් කරුණු හඳුනාගන්න ලැබේවි. 2022 අයවැය පහත ලින්ක් එකෙන් කියවන්න පුළුවන්.

2021 අයවැය එක්ක සංසන්දනය කරනවා නම් පහත ලින්ක් එකෙන් බලන්න.