ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – උතුර සහ දකුණ! කතිකාචාර්ය සුදර්ශණී කුමාරි දමුණුපොල

An elderly Sri Lankan woman shows her hand with the Ink-Stained Finger after casting vote at the Local Government election at Colombo, Sri Lanka on Saturday 10 February 2018. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

දීර්ඝ කාලීන රාජාණ්ඩු ක්‍රමික ආකෘතියෙන් බැහැරව යටත් විජිතකරණයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ ගාමක බලවේගයන් වැළඳගත් ශ්‍රී ලාංකීය රාජ්‍ය ආකෘතිය තුළට කිසිදු විභේදනයකින් තොරව සියලු ජනතාවගේ අභිලාෂ සහ අවශ්‍යතා සන්තර්පණය කර ගැනීමේ ක්‍රියාවලිය තුළ ආණ්ඩුකරණ කලාවට සුවිශාල වූ කාර්යයක් පැවරේ. එහි දී බි්‍රතාන්‍යයන් විසින් මෙරටට ලබාදුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයන් හරහා මෙරට ජනතාවගේ විශේෂයෙන් ම බහුතර සිංහල ප්‍රජාවගේ හා දෙමළ ප්‍රජාවගේ අභිලාෂ පුනර්නිෂ්පාදනය කිරීමේ මූලික පරාමිතීන්හි ප්‍රබලත්වය කෙසේ ද යන්නත් එමගින් නිර්ණය කරන ලද දීර්ඝකාලීන ගැටුම් උදෙසා එහි පරාමිතීන් කෙබඳු ද යන්න විමසීමේ දී අපට හඳුනා ගත හැකි ප්‍රධාන මූලික නිශ්චාකයන් කිහිපයකි.


ඒ අනුව බලන විට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව පැරණි රාජාණ්ඩුක්‍රමික වැඩවසම් ක්‍රමයෙන් වියෝජනය වී, ධනවාදයේ මුලික ප්‍රතියමානයන් වෙත අවලෝකනය වීම නිරායාසයෙන් සිදු වු සංසිද්ධියක් විය. ඒ අනුව මෙරට නවීන ජාතික රාජ්‍ය ක්‍රමයකට හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයකට මාරු වුව ද, එසේ මාරු වී තිබුණේ එම පරිවර්තනය සම්පූර්ණ වීමට අවශ්‍ය ප්‍රධාන කොන්දේසි දෙකක් සම්පූර්ණ කර ගැනීමෙන් තොරවය. එනම් ජාතික රාජ්‍යය සඳහා අවශ්‍ය එක්සත් ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් සඳහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමෙන් තොරවය. එම නිසා නිදහසින් පසුව ශ්‍රී ලංකාව මුහුණ දුන් බහුවිධ අර්බුදයන්ගේ මූලික පදනම වූයේ, ගොඩනඟාගත් ජාතික රාජ්‍ය ආකෘතිය තුළ හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය තවදුරටත් ශ්‍රී ලාංකික ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කිරීමෙන් තොරව ගෙනයෑමට දැරූ උත්සාහය යි. මන්දයත්, තවදුරටත් ජාතිය, වර්ගය, කුලය හා ආගම් අනුව සමාජ ව්‍යුහය විභේදනය වී තිබුණේ ය. එනම් එය මෙරට ජනවර්ග අතර සේම ජනවර්ග තුළ ද විභේදනයන් තිබුණි. ඔවුන් අතර තිබෙන වෙනස්කම් අවම කොට සියලු දෙනාට සමාන අයිතිවාසිකම් ලබාදෙන පදනමක් මත ශ්‍රී ලාංකික ජාතියක් ද, එමගින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීම ඉලක්ක කරගත් දෘෂ්ටියක් හා ඊට ගැළපෙන දේශපාලන වැඩපිළිවෙළක් අපට නොතිබුණි.


විශේෂයෙන්ම එම බහුවිධ ජනවර්ග විභේදන ක්‍රියාවලිය තුළ එකම ලේ බිඳුවකුදු හෝ නොසොල්වා නිදහස දිනාගත් ශ්‍රී ලංකාව තමන්ගේ ප්‍රමාණයට නොගැලපෙන තරමට ලේ හලන රටක් බවට පත් වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. කිසිදු පටු විභේදනයකින් තොරව සියලු ජාතින් සමග්‍රහණය කරගනිම්න් එක්සත් ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමෙන් තොරව ජාතික රාජ්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය ඉදිරියට ගෙන යන්නට දරන උත්සාහය තුළ මෙරට සමස්ත අංශයන් හා ප්‍රතිබද්ධ ව නිර්ණය වු සමාජ සම්බන්ධතාවල සේම දේශපාලන සම්බන්ධතාවල ද මහා විකෘතියක් ඇති විය. එකී තත්ත්වය පටු නිශ්චායනකයන් පෙරදැරිව නිර්මිත වර්ග, ආගම් හා කුල වශයෙන් පැවැති අසමමිතික බෙදීම් තව දුරටත් උග්‍ර ප්‍රතිරෝධකයක් බවට මෙරට සමාජයීිය පසුතලය මගින් සකස් කරනු ලැබීය.

එකි සැකැස්ම මගින් මෙරට සියලු අංශයන් හි පැවැත්ම ප්‍රකෘති කොට සක්‍රීයව පවත්වගෙන යාම වෙනුවට සිදු වූයේ සියලු අංශයන් වෙත පවතින පරායත්ත බද්ධභාවය වියෝජනය කරමින් මෙරට සමස්ත අංශයන්හි මූලික සැකැස්ම පුනර්නිෂ්පාදනයට පැවති අවස්ථාව විකෘති කරනු ලැබීය. ඒ අනුව ඊට සමගාමිව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයද විකෘතියක් බවට පරිවර්තනය කළේය. මෙලෙස ඇති වී තිබුණ පරිවර්තනය තුළ සම්පූර්ණ කරගත යුතු රික්තකයක් තිබෙන බව එකල දේශපාලනයේ නියැලුණු නායකයන් දැන නොසිටියා සේම පසු කාලයක දේශපාලනයට එකතු වූ නායකයෝද එය දැන නොසිටියේ යැʼයි කිව නො හැකි ය.

කෙසේ වෙතත් ඒ තත්ත්වය තේරුම් ගැනීම සඳහා අවශ්‍ය පොහොසත් හා විධිමත් ලිබරල් න්‍යායික දැක්මක් ද ඒ සියලුදෙනාට නොතිබුණේ ය. නිදහසින් පසු ලංකාව ඉදිරියට ගියේ ඉහත සඳහන් කළ එම අත්‍යාවශ්‍ය කොන්දේසි දෙක සම්පූර්ණ කිරීමෙන් තොරව ය. දේශපාලන චින්තන තලයේ ආරම්භයේ සිට වර්තමානය දක්වා පැවති එම දුගීභාවය රාජ්‍ය අවුල් ජාලාවක් බවට පත් කිරීමට හේතුවී තිබෙන ප්‍රබලතම සාධකයක් ලෙස සැලකිය හැකි ය. ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා එක්සත් ජාතියක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් විය. විශේෂයෙන් ම ප්‍රභාකරන් පරාජය කිරීම, නිදහසේ දී සම්පූර්ණ කරගැනීමට අවස්ථාවක් නොලැබුණු එම අවශ්‍යතාවයත් සම්පූර්ණ කිරීමට ඉතිහාසය විසින් අපට ලබා දී තිබූ අලුත් අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. නමුත් එම අවස්ථාව ද ප්‍රඥාවන්ත ලෙසින් ප්‍රයෝජනයට ගැනීමට අප සමත් වූයේ නැත.

සමාජ ක්‍රමය තුළ අසමමිතිකව ව්‍යුහගතව තිබූ වර්ග භේදයට, කුල භේදයට හා ආගම් භේදයට තවදුරටත් කුණු වී දුගද හමන දේශපාලන ක්‍රමය ද හේතුවක් විය.


ජේ. ආර්. ජයවර්ධන සකස් කරන ලද මෙම දේශපාලන ක්‍රමය කොතරම් බලවත් වුව ද රටට දායාද කර තිබුණේ දීර්ඝ කාලීන පැවැත්මක් ඇති, භේදයකින් තොරව සියලු ජනතාවගේ විශ්වාසයට හේතු වූ කාර්යක්ෂම දේශපාලන ක්‍රමයක් නොව එකට එකක් පටහැනි දේශපාලන ක්‍රම ගණනාවක් එකට එකතු කොට තැනූ මනා ගලපීමක් නැති, එක පුද්ගලයකු වෙත සකලවිධ රාජ්‍ය බලය ලබා දෙන, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වය බෙලහීන කරන හා විකෘති කරන, නීතියේ පාලනයට ඉඩක් නැති අවිධිමත් ලෙස සකස් කරන ලද දූෂිත දේශපාලන ක්‍රමයකි.

එලෙස ගොඩනගා ගත් දූෂිත දේශපාලන ක්‍රමය තිස් වසරක් පුරා පැවැති ජනවාර්ගික අර්බුදයට ප්‍රධාන සාධකයක් වූවා මෙන් ම ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීමත් සමගම පැවැති දේශපාලන ක්‍රමය නිරුවත් විය. ඒ අනුව පැවැති ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන ආකාරයට දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීම මෙරට දේශපාලන නියෝජිතයින්ගේ මූලික කාර්යභාරයක් වූව ද තව දුරටත් පැවැති දූෂිත දේශපාලන ක්‍රමය තුළම සිය පැවැත්ම පුනර්නිශ්පාදනය කරගැනීම සඳහා පැවැති ආණ්ඩු ක්‍රමයන්ට සංශෝධන ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවාහය තුළ දිගින් දිගටම සිදු විය. ඒ තත්වය තුළ තව දුරටත් සිදු වූයේ එක්සත් ශ්‍රී ලාංකික රාජ්‍යයක් ලෙස ඉදිරියට ගමන් කරනවා වෙනුවට අසමමිතික වූ අභිලාෂ සහ අවශ්‍යතාවයන්ගෙන් යුක්ත ජනවර්ගයන් සිය අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා වන අනවරථ වාර්ගික බල අරගලයක නිරත වීමයි.


ඒ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් සහිත එක්සත් ජාතියක් ගොඩනැගීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධයක් ඇති ප්‍රජාතන්ත්‍රවායේ වටිනාකම් වලට ගරු කරන දැනුවත් සමාජයක් ඇතිකර ගතයුතු බවත් එමෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ව්‍යුහයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි දැක්මක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ක්‍රමයක් ද ඇති කර ගත යුතු බව යි. නිදහසට පෙර හෝ පසුව හෝ අද දක්වා සම්පූර්ණ නොකර ගත් එම මූලික කොන්දේසි දෙක සම්පූර්ණ කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම වර්ගභේදයට, කුලභේදයට හා ආගම් භේදයට තිබෙන සමාජ පිළිගැනීම අවම කොට සමාන අයිතිවාසිකම් පදනමකින් යුක්ත ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැගීමට අවශ්‍ය පසුබිම සකස් කළ යුතු වේ.

එලෙස ගොඩනැගීමේ දී බලපාන දූෂිත දේශපාලන ක්‍රමය වෙනුවට දූෂණයට, වංචාවට හා අයථා ලෙස වස්තුව උපයා ගැනීමට තිබෙන ඉඩ උපරිම ලෙස අහුරන, මානව හිමිකම්වලට ගරු කරන, නීතියේ ආධිපත්‍ය රජයන ප්‍රජාතන්ත්‍රවාදී ව ආණ්ඩුක්‍රමයක් ඇති කළ යුතු ය. ඒ සඳහා ආගමික නායකයන්, දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, රාජ්‍ය නිලධාරීන්, වෘත්තීයවේදීන්, ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් හා විද්‍යාඥයන් වැනි අය සිය යුතුකම් හා වගකීම් නිසි ලෙස අවබෝධ කරගත යුතු වේ. එමෙන්ම ආණ්ඩු වෙනස් වීම්වලින් වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති සමුදායක් ද ඇති කිරීමට පියවර ගත යුතු අතර තරුණ අසහන කොමිසමේ නිර්දේශ සේම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ බැරෑරුම් ලෙස සලකා බැලීම අනිවාර්ය වේ.


එමෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය සකස් වී ඇති ආකාරය දෙමළ ජනතාවගේ ප්‍රශ්නයේ පදනම බව අප අවබෝධ කරගතයුතුය. ශ්‍රී ලංකා රාජ්‍යයේ මූලික රාමුව සකස් වී ඇත්තේ මූලික සංඝටක දෙකක් එකතු වීමෙනි. එනම් යටත් විජිත රාජ්‍යය විසින් මූලික වශයෙන් නිර්මාණය කරනු ආයතනික රාමුව හා 19 වන ශත වර්ශයේ මැද පටන් ස්වදේශීය ප්‍රභූ පංතියේ කොටස් විසින් නිර්මාණය කරන ලද සිංහල – බෞද්ධ ජාතිකවාදී දෘෂ්ටිවාදයයි. මීට අමතරව රාජ්‍යයේ සකස් වීමට දායක වී ඇති තවත් සංඝටක ගණනාවක් හඳුනාගත හැකි වුව ද වඩාත් මූලික වීමේ නිර්ණායකය කුමක් ද යන්න විමසීමේ දී හඳුනාගත හැකි වන්නේ කිසියම් සැකැස්මකින් එම සැකැස්මට මූලික වශයෙන් හානි නොකර එයින් ඉවත් කිරීමට වඩාත්ම අපහසු සංඝටක එම සැකැස්මේ මූලික සංඝටක වන බව යි. ඒ අනුව ගත් කල ඉහත සඳහන් කළ සංඝටක දෙක ලංකාවේ වර්තමාන රාජ්‍ය සැකැස්මෙන් ඉවත් කිරීමට වඩාත්ම දුෂ්කර සංඝටල දෙක ලෙස හඳුනා ගත හැකි ය.


ඒ අනුව පැහැදිලි වනුයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සැකැස්ම සඳහා බලපාන ඉහත සඳහන් කළ සංඝටක දෙක මගින් ගම්‍ය වනුයේ මෙරට රාජ්‍ය සැකැස්මට පසුබිම් වන ලංකාවේ නූතන භූ -දේශපාලන සැකැස්මේ ඉතා වැදගත් යථාර්ථයක් නොතකා හැර ඇති බව යි. එම යථාර්ථය නම් වර්තමානයේ අපි ලංකාව යනුවෙන් හඳුන්වන භූ – දේශපාලන ඒකකය නිර්මාණය වී තිබෙන්නේ එකිනෙකින් ස්වායත්ත සමාජ සැකසුම් දෙකක් මුල් කර ගෙන බව යි. එම සමාජ සැකසුම් දෙක නම් වවුනියාව ප්‍රදේශයෙන් දකුණට වන්නට ඇති මූලික වශයෙන් වාර්ගික වශයෙන් සිංහල ජනයා වැඩි වශයෙන් ජීවත්වන සමාජ සැකැස්මත්, යාපනය අර්ධද්වීපය කේන්ද්‍ර කරගෙන පවත්නා, වැඩි වශයෙන් වාර්ගික වශයෙන් දෙමළ ජනයා ජීවත්වන සමාජ සැකැස්මත් ය. මෙම සැකසුම් දෙක අපි හැදින්වීමේ පහසුව තකා උතුරු සැකැස්ම හා දකුණු සැකැස්ම ලෙස හඳුන්වමු.

මෙම සැකසුම් දෙක වෙන වෙනම සලකා බැලීමේ දී අපගේ අවධානයට ලක් විය යුතු සුවිශේෂ තත්ත්වයන් කිහිපයක් ඇති බව හඳුනා ගත හැකි අතර දකුණු සැකැස්ම දෙස බැලීමේ දී ඇත්ත වශයෙන්ම විවිධත්වයන් රැසක් හඳුනා ගැනීමට හැකි අතර ඇත්ත වශයෙන්ම එක් සැකැස්මකට වඩා සැකසුම් ගණනාවක එකතුවක් ලෙස පෙනී යෑමට පුළුවන. කෙසේ වෙතත් මෙම දකුණු සැකැස්ම පසුගිය ශතවර්ෂ එක හමාරක පමණ කාලය තුළ එක් හෙජමොනික සැකැස්මක් ලෙස විකාශනය වී ඇති බව පැහැදිලි ය. එමෙන් ම උතුර දෙස දෙස බැලීමේ දී එම සැකැස්ම දකුණු සැකැස්ම සමඟ ඇත්ත වශයෙන්ම මෙම තත්ත්වය උතුරු සැකැස්ම හා දකුණු සැකැස්ම යන යන සැකසුම් දෙක ක්‍රමානුකූලව නැගෙනහිර ප්‍රදේශයට ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී ඇති තත්ත්වයක් බව සඳහන් කළ හැකි ය.


එපමණක් නොව පාර්ශව දෙකෙහිම පැවැත්ම සුරක්ෂිත කරලීම උදෙසා මෙන් ම සිංහල ඩයස්පෝරාව සහ දෙමළ ඩයස්පොරාවේ මූලික අභ්‍යුපගමනයන් සමමිතික අක්ෂයක සිට යා කිරීමට නම් දෙපාර්ශ්වයෙහිම මූලික අභිලාෂ වෙත ගමන් කිරීමට අවශ්‍ය පසුබිම් සාධක මොනවා ද යන්නත් එම පසුබිම් සාධක මගින් නිර්මාණය කරන ලද මූලික පැවැත්ම සම්බන්ධ කාරණාවන්හි නිශ්චායකයන් වෙනස් කිරීමට අවශ්‍ය රාජ්‍ය අභ්‍යන්තර බල බෙදීමක් මෙන්ම රාජ්‍ය ව්‍යුහය තුළ සියලු දෙනාගේ අභිලාෂ සමග්‍රහණය කර ගත හැකි රාජ්‍ය පද්ධතියක් නිර්මාණය කිරීම ද මෙහි දී වඩා වැදගත් වන්නකි.


ජාතික රාජ්‍ය ආකෘතිය තුළ වඩා හොඳින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කර වීම සඳහා බිහි කරගත් මෙවලමක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුනා ගත හැකි ය. විශේෂයෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය මෙන් ම මූලික නීතිය ලෙස ද සලකනු ලබ යි. මන්දයත් රාජ්‍ය පාලනය පිළිබඳවත් රාජ්‍ය තුළ අන්තර්ගත සියලු පුරවැසියන් සමඟ ඇති කර ගන්නා ගිවිසුමක් වන හෙයිනි. එම නිසා ව්‍යවස්ථා සම්පාදනය තුළ පුරවැසියන්ගේ පොදු යහපත උදෙසා සිදු කරනු ලබන නීති සම්පාදනයක් විය යුතු අතර සියලු පුරවැසියන්ට ව්‍යවස්ථාව තුළින් සිය පැවැත්ම සඳහා අවශ්‍ය නිර්නායකයන් ඇතුළත් විය යුතු ය.

කෙසේ නමුත් පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාවේ සෝල්බරි ව්‍යවස්ථාව නිර්මාණය කරනු ලැබුයේ සුළු වර්ගවල හා සුළු කුලවල අභිලාෂයන් නොසලකා ඩී. ඇස්. සේනානායකගේ සිතැඟියාවන්ට ගැලපෙන ලෙෂ ය. ඉන්පසු 1972 කොල්වින් සුළු වර්ගවලට පරණ ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ සීමිත ආරක්ෂාව පවා ඉවත් කරමින් නව ව්‍යවස්ථාවක් ඇති කර ගත්තේ ද සුළු වර්ග පක්ෂවල අදහස් නොසළකා සමගි පෙරමුණු ආණ්ඩුවට තිබූ තුනෙන් දෙකේ බලය භාවිත කරමිනි. ඉන් තවන් අවුරුදු 6කට පසුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ආණ්ඩුක්‍රමයක් හඳුන්වා දුන් 1978 ව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබුවේ ව්‍යවස්ථා සඳහා පොදු සම්මුතියක් ඇති කර ගැනීමෙන් නොව සිය ආණ්ඩුවට තිබූ හයෙන් පහේ බලය භාවිත කරමිනි. මේ අනුව පැහැදිලි වනුයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආකෘතිය තුළ සම්පාදනය කරනු ලැබූ ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි ඓතිහාසික විකාශනයේ පරාමිතීන් මගින් නිර්ණය වූයේ හුදෙක් සුළු ජාතික ප්‍රජාවන්ගේ අභිලාෂ සහ අවශ්‍යතාවන් අභිභවමින් මහජාතිය වූ සිංහල ජන ප්‍රජාවගේ අභිලාෂ සහ අවශ්‍යතාවන් සන්තර්පණය කර ගැනීම සඳහා උත්සුක වී ඇති ආකාරය යි.


එම නිසා ව්‍යවස්ථා සම්පාදනය සිදු කිරීමේ දී එය සැඟවුණු යටි අරමුණුවලින් තොරව අවංක හා නිසි ගෞරවයකින් යුක්තව සියල්ලන්ගේ ම පොදු යහපත සඳහා සිදු කරන දෙයක් විය යුතු වේ. එහි දී එම කාර්යයට නායකත්වය දෙන්නන් තුළ ව්‍යවස්ථා සම්පාදනය හා සාම්ප්‍රදායන් පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබිය යුතු අතර ව්‍යවස්ථා සම්පාදනය සිදු විය යුත්තේ ව්‍යවස්ථා සම්පාදනයක දී ආරක්ෂා විය යුතු ප්‍රතිපත්ති හා සම්ප්‍රදායන් ආරක්ෂා කෙරෙන ආකාරයට ය. එමෙන් ම ව්‍යවස්ථා සම්පාදනයට මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය අත්‍යාවශ්‍ය විය යුතු අතර සම්පාදනය කරන ව්‍යවස්ථාවේ ස්වභාවය හා දර්ශනය පුරවැසියන්ට අවසානයේ නොව ආරම්භයේ සිටම දැනගන්නට හා පෙනෙන්නට තිබිය යුතු ය. ඒ සඳහා යොදාගත හැකි පිළිගත් නවීන ක්‍රමවේදයන් යොදා ගත යුතු ය.


නෛතික ලේඛනයක් තුළින් ප්‍රමුඛව බලාපොරොත්තු වන්නේ එම ලේඛනය පිළිපදින සහ එම ලේඛනය බලාත්මක වන කිසිදු විභේදනයකින් තොරව පොදු මහත් ජනතාවගේ පැවැත්ම සුරක්ෂිත කිරීම යි. ඒ අනුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී කිසිදු විභේදනයකින් තොරව දකුණේ ප්‍රමුඛ සිංහල බහුතර ජනතාවත්, උතුරේ ප්‍රමුඛතම සුළුතර දෙමළ ජනතාවගේත් මූලික අභිලාෂ සහ අවශ්‍යතා මෙම ව්‍යවස්ථාව තුළට ඇතුළත් කර ගත යුත්තේ තව දුරටත් දේශපාලන පක්ෂවල හා බලපෑම් කණ්ඩායම්වල නො එසේ නම් රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ එපාකම් මත නොව සෘජුවම සහ සැබෑ ලෙසම පුරවැසියන්ගේ අභිලාෂ සහ අවශ්‍යතා යන ප්‍රස්තුතය මත පිහිටා කිසිදු විභේදනයකින් තොරව සියලු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අති මූලිකතම මෙවලම වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙත ලබා දෙන ගෞරවය හා එම ගෞරවය මගින් නිර්මාණය කරන ලද ස්වාධිපත්‍යයේ සුජාත නීතියක් වශයෙන් ගරු කරන තත්ත්වයක් මත පිහිටා අපක්ෂපාතීි බේරුම්කරුවකු වශයෙනි.