ඉදිරියේදී පවත්වන පළාත් සභා මැතිවරණයේදී වයඹ පළාත් මහඇමති අපේක්ෂකයා ලෙස චිචී යන සුරතල් නාමයෙන් හඳුන්වන මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ඉදිරිපත්වන බව මව්රට ඉරිදා පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස වාර්තා කරලා තිබුණා.
ඔවුන් පෙන්වා තිබුණේ මෑත දවසක කුරුණෑගල ප්‍රදේශයේ සංචාරය කළ හැටි, රෝහල්වලට ආධාර උපකරණ බෙදාදුන් හැටි එක්ක ඔහු මහඇමති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්න සැලසුම් කරන බව.
කෙසේ වෙතත් එතැනින් එහාට රෝහිත රාජපක්ෂගේ අපේක්ෂකත්වය ගැන මව්රට වාර්තාවේ විස්තර සහිත කරුණු නැහැ. කුරුණෑගල ප්‍රදේශයේ ආධාර වැඩසටහන්වලට සම්බන්ධ වූ නිසා පමණක්, ඔහු මහ ඇමති අපේක්ෂකයෙකු වනු ඇතැයි කියන්නත් බැහැ.
දැනටමත් පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති පුටුවේ ඍජුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් 7 දෙනෙකු ඉන්නවා. මහින්ද, ගෝඨාභය, බැසිල්, චමල්, නාමල්, ශෂීන්ද්‍ර, නිපුණ රණවක යන අය. දේශපාලනයට ඍජුව සම්බන්ධ නැතත්, ප්‍රකට දේශපාලන චරිත ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ අනෙකුත් පුතුන් දෙදෙනා වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ සැලකිය හැකියි.
තමන්ගේ සහෝදරයන් දෙන්නා මෙන්ම රෝහිත රාජපක්ෂත් තාත්තා ජනාධිපති කාලයේ සුවිශේෂී හැකියාවන් ඉස්මතු වූ රග්බි ක්‍රීඩකයෙක්. ඒ ක්‍රීඩක හැකියාව අතරේම සුප්‍රිම් සැට් නම් ආයතනයක චන්ද්‍රිකා ව්‍යාපෘතියකට සම්බන්ධ වෙන්නට තරම් කීර්තිමත් තරුණ අභ්‍යවකාශ ඉංජිනේරුවෙක් වෙන්නට ඔහුට හැකියාව ලැබුණා. ඒ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් වාර්තාගත ලකුණු ප්‍රමාණයක් ලැබූ ලොකු අයියාගේත්, බ්‍රිතාන්‍ය රාජකීය නාවික ඇකඩමියේ ශිෂ්‍යත්වයක් ලැබීමට තරම් දක්ෂතා පෙන්වූ පොඩි අයියාගේත් අඩි පාරේ යමින්. මේ තුන්දෙනාම ජාත්‍යන්තර මට්ටමේ රග්බි ක්‍රීඩක හැකියා පෙන්වන අතරේම උක්ත වෘත්තිමය දක්ෂතා පෙන්වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් නාමල් අයියා නීති ක්ෂේත්‍රයෙන් ඉහළට නොයන්නා වාගේ, මල්ලිලා දෙන්නාත් අභ්‍යවකාශ හා නාවික ක්ෂේත්‍රවල තමන් සතු සුවිශේෂී දක්ෂතා මත වෘත්තිමය ගමනක් යන්නට සූදානම් බවක් පෙනෙන්නේ නෑ. චිචී මල්ලි නම් තමන් සතු තවත් විශේෂ දක්ෂතා දෙකකින් එකක් වන ගීත ගැයීමේ හැකියාව (අනෙක් හැකියාව කසාද නොබැඳපු අය සොයා කසාදයක් බැඳලා ළමයි හදන්න කියා යෝජනා කිරීම.) ප්‍රායෝජනයට ගනිමින් සිංදු කිහිපයක් ගායනා කළා.
ඒ වෙනුවට රෝහිත, යෝෂිත දෙන්නාම දේශපාලන වේදිකාවල සිට තිබෙනවා. දෙන්නාම ‘පබ්ලික් ෆිගර්ස්’ ලෙස සමාජ මාධ්‍ය පිටු, කැමරා සහිත මාධ්‍ය කණ්ඩායම් ආදිය පවත්වාගෙන යනවා. ලක්ෂ 4ක පමණ ලයික් සහිත ෆේස්බුක් පිටුවක් රෝහිතටත්, ලක්ෂ එකහමාරක පමණ ලයික් සහිත ෆේස්බුක් පිටුවක් යෝෂිතටත් හිමියි. මැතිවරණවලට ඉදිරිපත් නොවුණාට දැනටමත් ඔවුන් දේශපාලනඥයන්. ඒ නිසා කුමන මොහොතේ හෝ ඔවුන් දේශපාලනයට එක්වනු ඇතැයි අනුමාන කළ හැකියි.
එහෙත් ප්‍රශ්නය වන්නේ වියපත් රාජපක්ෂලා දේශපාලනයෙන් (හෝ ජීවිතයෙන්) සමුගන්නාතුරු ඔවුන් ඉවසනු ඇතිද? නැතිනම් දැන්ම මැතිවරණවලට ඇවිත්, එකගොඩේ රාජපක්ෂලා හැටහුටහමාරක් දේශපාලන තනතුරුවල සිටිමින්, රටට ලෝකෙට දැනටමත් විහිළුවක් වෙච්ච තත්වය තවත් දරුණු විහිළුවකට හරවාවිද කියන එක.
නාමල් රාජපක්ෂ මහතාගේ සහෝදරයන් දෙදෙනා අතරින් යෝෂිත රාජපක්ෂ දේශපාලනයට මුලින් පිවිසීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළා. ඔහු නාවික හමුදාවේ සිටි කාලයේදී පවා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයට අනුයුක්ත කර සිටියා. වැඩි වශයෙන් එකල ජනාධිපතිවරයාට සමීපව සිටියේ ඔහු. මේ වෙද්දී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ සේවය කරනවා. යෝෂිත රාජපක්ෂ මහතාට සමීප මාධ්‍ය කණ්ඩායමක්ද සිටිනවා. ඇතැමුන් කියන්නේ යෝෂිත රාජපක්ෂට රාජයෝගයක් ඇතැයි පවුලට හිතවත් අනාවැකිකරුවන් කියා ඇති බව.
මව්රට වාර්තාව කෙසේ වෙතත් මේ වගේ වෙලාවක මහඇමති අපේක්ෂකත්වයකින් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු ඉදිරිපත් වනු ඇතැයි අනුමාන කරන්න අමාරුයි. විශේෂයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ ජනප්‍රියත්වය හීන වී ඇති පසුබිමක. පළාත් සභා මැතිවරණය පරාද වුණොත් ඔහුට විපක්ෂ නායක වෙන්න සිදු වේවි.
අනෙක් අතට මේ වෙද්දී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර කියා ඇත්තේ ශ්‍රීලනිපය ප්‍රමුඛ වෙනම සන්ධානයක් වයඹ පළාත් සභා මැතිවරණයේදී තනිව ඉදිරිපත් වුවහොත්, පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්ව මහඇමති අපේක්ෂකයා ලෙස තරග කිරීමට තමන් සූදානම් බව.
උක්ත මව්රට වාර්තාවේ නම් තියෙන්නේ, දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත්වෙන බව ප්‍රකාශ කිරීමට පසුබිම් වූ හේතුව පොදුජන පෙරමුණෙන් රෝහිත රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම බව.
රෝහිත රාජපක්ෂ 2015 මහමැතිවරණයට කලින් ‘රනිල් වික්‍රමසිංහ දින්නොත් ෆෙඩරල් ක්‍රමයක් ගේනවා’ කියලා පට්ටපල් බොරුවක් වගේම ෆෙඩරල් ක්‍රමයක් ගැන වැරදි, මෝඩ විග්‍රහයක් කළ හැටි පහත වීඩියෝවේ තියෙනවා.