ණය අර්බුධයට යෝජනා -කතිකාචාර්ය සුදර්ශණි කුමාරි දමුණුපොල

නුතන ආණ්ඩුකරණ ක්‍රියාවලියේදී ජනතාවගේ බහුවිධ අභිලාෂ හා අවශ්‍යතාවයන් ඉටුකරදීමේ ක්‍රියාවලිය තුළ නොයෙකුත් ගැටලුවලට රජයන්ට මුහුණ දීමට සිදුවේ. අපවැනි රජයන් මීට විකල්ප සෙවීමෙදි පුමුඛ විශ්වාසයක් ආධාර හා ණය විෂයට ලබා දේ. ආධාර හා ණය පිළිබද මුලික අවබෝධයක් ලබාගනිමින් මෙරට ණය ලබාගැනීමේ ගැටලු හා විකල්ප කෙරෙහි මුලික අවධානය යොමු කෙරේ.


ආර්ථික විද්‍යා විෂය පථය තුල තුළ ණය සහ ආධාර සදහා එක් අර්ථයක් නොව එකී පදයන් ද්ත්වය සදහා එයටම ආවේනික අර්ථ තිබේ. ඒ අනුව ආධාර යන්නෙහි සරල අදහස වන්නේ උපකාර කිරීම යන්නයි. “ Cambridge dictionary˜”ට අනුව විදේශ ණයක් යනු කිසියම් රටක් වෙත විදේශ රටක් හෝ විදේශ සමාගමක් ලබා දෙන්නා වූ ණය මුදලකි.” ඇඩමි පර්ගසන් අනුව යම් කිසි විදේශ රටක් විසින් කොන්දේසි හෝ බැදීම් වලට යටත්ව තවත් රටකට ලබා දෙන්නා වූ ණය මුදලක් විදේශ ණය ලෙස හැදින්විය හැක. මෙම ණය ගෙවීමේ ආකාර ආධාර,බිල්පත්, බැදුම්කර, කොටස් ආදී වශයෙන් විය හැක.


විදේශ ණය සහ ආධාර අතර පවතින ප්‍රධාන වෙනස නම් ණය ලබාදුන් විට එය යම් පොළී ප්‍රතිශතයක් ද සමඟ නැවත එකී ණය ලබා දුන් රාජ්‍ය හෝ සංවිධානය වෙත ලබාදීමේ නෛතික බැදීමක් පවතින නමුත් ආධාර ලබා දීමකදී බැදීමක් සදහා යටත්වීමේ සෘජු හා පැහැදිලි තත්වයක් නොමැත. වර්තමාන ලෝක ආර්ථිකය තුල විවිධ රාජ්‍යන් අතර සංචලනය වන විදේශ ණය සදහා විවිධ වූ පොලී ප්‍රතිශත පවතී. එමෙන්ම විදේශ ණය ගෙවීම සඳහා ලබාදෙන කාලය අතින්ද වෙනස් වේ. එනම්, කෙටිකාලීන ණය හා දිගුකාලීන ණය වශයෙනි. විදේශ ණය සඳහා සපයනු ලබන සහන කාලයක්ද පවති. එහි අර්ථය වන්නේ යම් කාලයක් වන තෙක් කිසිදු පොලී මුදලක් අය කිරීමක් සිදු නොකිරීමයි. පොළි ප්‍රතිශතය අඩු සහ පරිණත කාලය අඩු ණය, සහනදායී ණය ලෙසද පොලිය වැඩි අගයක් ගන්නා පරිණත කාලය අඩු ණය සහනදායී නොවන ණය වශයෙන් හදුන්වනු ලැබේ.


විදේශ ණය අතර ඒකපාර්ශවික ගෙවුමක් වශයෙන් ලැබෙන විදේශ ආධාර ප්‍රධාන වශයෙන්, බැදි ආධාර හා නොබැදි ආධාර ලෙසද කොන්දෙසි සහිත ආධාර හා කොන්දෙසි රහිත ලෙස කොටස් දෙකකි. බොහෝ අවස්ථා වල බැදි ආධාර බවට පත් වන්නේ යොජනා ක්‍රම ආධාර හෝ භාණ්ඩ ආධාර වේ. එම ආධාරවල ලක්ෂණය වන්නේ කොන්දේසි වලින් යුක්ත ආධාර වීමයි. නොබැදි ආධාර මීට හාත්පසින්ම වෙනස් වන අතර එහිදී භාණ්ඩ සම්බන්ධ කරගැනීමක් නොකරන අතර රටේ ඔනෑම අවශ්‍යතාවයක් සදහා භාවිතා හැකි වන අයුරින් ලබා දෙන්නා වූ ආධාර වේ. නමුත් විදේශීය ණය බහුලව සැපයෙන්නේ යෝජනා ක්‍රම ණය හෝ භාණ්ඩ ණය ලෙසය. ඒ අනුව වර්තමාන ලෝක ආර්ථිකය තුළ බහුලව විදේශ ණය ලබා ගන්නා ඌණ සංවර්ධිත රාජ්‍යන්ට විදේශීය ණය සහ ආධාර ලබා ගැනීමේදී වඩාත් විශේෂ වන්නේ සහනදායී ණය සහ ආධාර ලබා ගැනීමයි.


එමෙන්ම ආධාර ලබා ගැනීම තුළදීද වඩා වැදගත් වන්නේ නොබැදි ආධාර ලබා ගැනීමයි. මන්ද යත් රාජ්‍යක් තමන් සිටින තත්වයෙන් මිදිමට ආධාර ලබා ගැනීම තුලින් මතුවන ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වේ. වෙනත් රාජයන්ගෙන් විදේශ ණය ලබා ගැනීම රටක ආයෝජන සදහා අවශ්‍ය දේශීය ඉතිරි කිරීම් ප්‍රමාණවත් නොවන අවස්ථානකදී එම අඩුව පිරිමසා ගැනීම සදහා ප්‍රයොජනවත් වේ. එලෙසම දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධනයට රුකුලක් විය හැකි මහාපරිමාණ යටිතල ව්‍යාපෘති ගොඩනැංවීම උදෙසාද එවැනි ණය ප්‍රයෝජනවත් වේ. රටක සංවර්ධනය සදහා සම්පත් හිඟ අවස්තාවකදී එකී විදේශ ණය ඉතා වැදගත් වූ කාර්්‍යයක් කරනු ලබයි. එසේම ගෙවුම් ශේෂ හිඟයේ තාවකාලික ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සදහාද විදේශ ණය වැදගත් වේ.

අදවන විට ආර්ථික අභිවෘද්ධිය කේන්ද්‍ර කර ගනිමින් ලබා ගන්නා විදේශ ණය සහ ආධාර රාජ්‍යන්හි ආර්ථික වර්ධිත තත්වයන් සදහා ප්‍රබල සාධකයක් බවට පත්ව ඇත. එහෙත් ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් විසින් විදේශ ණය ලබා ගැනීම ඝෘණාත්මක වූ ප්‍රතිඵල වන විදේශ ණය සහ අධාර මත යම් රාජ්‍යක් යැපීම හේතුවෙන් එකී රාජ්‍ය තමාම නොදැන දේශීය ඉතුරුම් අවමවීමේ ග්‍රහණයකට නතු වන බව තර්ත කරයි. විදේශ ණය සදහා කොතෙකුත් පක්ෂ හා විපක්ෂ තර්කයන් ගොඩනැගුවද සංවර්ධනය වෙමින් සිටින රාජ්‍යන්ට සිය ආර්ථික ක්‍රියාදාමය සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය නිර්ණායකයකි.


එලෙස බලන විට ඌණ සංවර්ධිත රාජ්‍යන් විසින් ලබා ගන්නා විදේශ ණයවලින් බහුතර ණය ප්‍රමාණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිරිනමනු ලබයි. 1930 වසරේදී පමණ ඇති වූ ලෝක ආර්ථික අවපාතය හේතුවෙන් විදේශ වෙළදාම බිදවැටීම, සේවා නියුක්තිය පහල වැටීම, අකාර්්‍යක්ෂම ලෙස සම්පත් බෙදීයෑම ආදී වූ අහිතකර තත්වයන්ට මුහුණ දීමට සිදු විය. එහිදී ලොකයේ සෑම රාජ්‍යකටම ජාත්‍යන්තර වෙළදාම තුළින් වාසි අත්කරගැනීම සදහා ආරක්ෂක තීරු බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, මුදල් අවප්‍රමාණය කිරීම සහ වෙනත් වෙළඳ බාධක ඉවත් කිරීම සදහා සම්මත ක්‍රමයක ඇති වූ අවශ්‍යතාවය මත 1944 ඇමරිකාවේ බේරට්න්වූඩ් නගරයේදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මූල්‍ය සම්මේලනයේදී ඇති කරගත් බේරට්න්වූඩ් ගිවිසුමට අනුව 1947 මාර්තු 01 වන දා සිට ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිහිකර ගැනීම දැකිය හැක.


මෙම ආයතන විසින් නූතනයේ සංවර්ධනය වෙමින් පවතින රටවල දිශානතිය හසුරවනු ලබන ජීවකේන්ද්‍රීය මෙවලමක් බවට පත්ව ඇත. එහිදී මොවුන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ලබාදෙන්නේ කොන්දේසි සහිතවයි. එහිදී එම කොන්දේසි වලින් නිර්ණය කෙරුණු සාධක වලට අනුකූලව ණය ලබාගන්නා රටවල සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමට බල කෙරේ. මෙමගින් සංවර්ධනය වන රටවල විදේශ ආයෝජන හා දියුණු තාක්ෂණය ලබාගෙන නිෂ්පාදන ධාරිතාව ඉහල නන්වාගැනීමට හැකිවේ. එහිදී ව්‍යුහාත්මක සැලසුම්, වැඩසටහන් තුලින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, අප්‍රිකාවේ සමහර රටවල් යම් සංවර්ධනීය තත්වයක් දිනාගෙන ඇත.


ලංකාව විදේශ මුලාශ්‍රවලින් ණය ලබාගැනීම 1955 ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා ප්‍රතිසංස්කරණ හා සංවර්ධන බැංකුවෙන් ආරම්භ වී අදවන වට වාර්ෂික අයවැය හිඟය පියවාගැනීමටත් අප ණය ලබාගනී. පසුගිය 70 වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ විදේශ ණය තොගය 1950 දී දළ දේශිය නිෂ්පාදනයේ අනුපාතයට සාපේක්ෂව ණය වැඩිවීම 17% සිට අදවන විට 101% ඉහළ ගොස් ඇත. 2021 වන විට ශ්‍රී ලංකා ජාතික රජයේ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 90 ඉක්මවයි.


අද වන විට මෙරට ණය ලබා ගන්නේ වර්තමාන වියදම් පියවා ගැනීමට මෙන්ම ප්‍රාග්ධන වියදම් පියවා ගැනීමය. නොඑසේනම් නම් පරිභේාජනයට මෙන්ම ආයෝජනය සදහාද ණය ලබා ගැනීම සිදු කර ඇත. රටෙහි නිෂ්පාදිතය ඉහල නගිනුයේ ආයෝජන වියදම් හරහාය. රටෙහි දළ දේශීය නිෂ්පාදිතය ඉහල යන විට එහි ප්‍රතිලාභ රටේ කුටුම්භ වලට ගලා යයි. ඒ.පු.ආ ඉහල යන විටදී සෘජු බදු මගින් රජයේ බදු ආදායමද වැඩිකරගත හැක. බදු ආදායම ඉහල නගින වාතාවරණය තුළ ණය ගැනීමේ අවශ්‍යතාවය අවම වනු ඇත. රටක සංවර්ධිත ඉලක්ක සපුරා ගැනීම සදහා ලබා ගන්නා විදේශ ණය එම රටේ ආර්ථික ස්ථාවරය සහ සංවර්ධනය කෙරෙහි යහපත් සහ අයහපත් ලෙසද බලපෑ හැක. මේ හේතුවෙන් රටක ආර්ථික ස්ථාවරභාවය සහ සංවර්ධනය සදහා ණය සහ පොලිය ආපසු ගෙවීමේ හැකියාව වඩවා ගැනීමේ අවශ්‍යතාවය පුමුඛ වේ.

විදේශ ණය ප්‍රශ්නයේ ස්වාභාවය තීරණය වන්නේ ලබා ගන්නා විදේශ ණය භාවිතා කරනු ලබන්නේ කෙසේද යන්නත් නැවත ණය ගෙවීමේ කාල පරාසය කොපමණ වේද යන්නත් මතය. ණය ආපසු ගෙවා දැමීම රටේ ආර්ථිකයට බරක් නොවීමට නම් බලයේ සිටින පාලකයන් මෙන්ම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයද පොදුජනතවගේ මුදල් පරිහරණයේදී සැලකිලිමත් විය යුතුය. මෑත කාලයේ රටේ විදේශ ණය ඉහල යෑම දරාගත නොහැකි මට්ටමක් බවට පත් වී ඇත්තේ ලබා ගත් ණය ගෙවා දැමීමට තරම් ප්‍රතිපාදන නොපවතින මහා පරිමාණ යටිතල සංවර්ධන ව්‍යාපෘති සදහා එම ණය පාවිච්චි කර තිබීම එක් හේතුවකි. එය තවත් උග්‍ර වී ඇත්තේ විදේශ වෙළද ශේෂයේ හිඟය වැඩි වන ආකාරයේ මූල්‍ය සහ පිස්කල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසාවෙන්ය. ශ්‍රී ලංකාවේ ලබා ගන්නා විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි තත්වයන් තුළදි එකී ණය ගෙවා ගැනීම සදහා තවදුරටත් ණය ලබා ගැනීමට නැඔුරුවීම මේ වන විට ඉතා සුලබ කරුණක් බවට පක් වී ඇත. එය ආර්ථික විද්‍යාව තුළ දී පිරිහුණු රාජ්‍ය ණය තිරසාරභාවය (Public debt sustainability) වශයෙන් හදුන්වා දෙනු ලබයි.


නිදහසින් පසු වරින් වර බලයට පත්වු ප්‍රධාන දේශපාලන ධාරා දෙකම අපට ආවේණික ප්‍රශ්නයක් බවට පත්කර ඇත්තේ ලබා ගත් ණය ගෙවාගත නොහැකි ආකාරයෙන් භාවිතයට ගෙන තිබීමයි. ණය ගෙවීමේ ප්‍රමාණය මේ වසර තුළ අඩුකරගැනීම හා ඉදිරි වසරවල ණය ගෙවීම සදහා වන ශක්තිය වැඩි දියුණු කර ගැනීම සදහා අවස්ථාවක් කරගත යුතුව තිබේ. එනම් ණය නඩත්තු කිරීමේ හැකියාව අප සතුව තිබිය යුතුය. විදේශ ආදායම් අර්බුදකාරී මට්ටමකට යාමට නොදී කළමනාකරණය නොකිරීම අප රට මෙවන් ණය අර්බුදයක් සදහා මුහුණ දීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.


ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක යටිතල පහසුකමි සංවර්ධනය, මහා පරිමාණ ව්‍යාපෘතීන් ගොඩනැගීම සදහා පෞද්ගලික ආයෝජනයන් සේම රාජ්‍ය ආයෝජනයද වැඩි කිරීම මේ සදහා ගත හැකි සාර්ථක විසදුමක් වේ. විදේශ ණය ලබා ගැනීමේදී ලබා ගන්නා ණය ප්‍රමාණයෙන් 50% කට වැඩි වූ ප්‍රමාණයක් නැවත ණය ලබාදුන් රාජ්‍යන් වෙතම ලබා දීමට සිදුවීම නොවැළැක්විය හැක. එම නිසා අවම පොළී අනුපාතයකට අනුව ණය ලබා ගැනීමට උත්සහ කළ යුතු අතර රුපියල අවප්‍රමාණය වීමේ අවාසියද ඒ සදහා සැලකිය යුතුය. ව්‍යාපෘතීන් සදහා ශ්‍රමිකයන් යොදා ගැනීමෙන් අඩු තරමින් 50% ට 50 කොන්දේසි සදහා එම ආයතනයන් පෙළඔවිය යුතුය.


ණය අර්බුදයට පොදුවේ නැගෙන යොජනාවක් නම් රජය විසින් ණය නිසි කළමණාකරණයක් සහිතව පාලනය කළ යුතු බවයි. රජයේ නියෝජිතයා හා මහජන මුදල් කලමණාකරණය සම්බන්ධව ශ්‍රී ලංකා මහබැංකුවට හිමි මුදල් නීති පණතේ 113 වගන්තිය ප්‍රකාරව එම බලතල හා වගකීම් අනිසි දේශපාලන මැදිහත්වීම්වලින් තොරව විශේඥ ප්‍රාගූණ්‍යය සහිත පිරිස්ගේ හැකියාවන් මනාව හා නිසි පරිදි ප්‍රයෝජනයට ගත යුතුය. එමෙන්ම මුදල් අමාත්‍යංශයේ විශේෂයෙන් භාණ්ඩාගාර මෙහෙයුම් හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වගකිම හා වගවීම සහිත ශක්තිමත් ආයතනික රාමුවක් ස්ථාපනය කළ යුතුය. මීට සමගාමීව කවුරු ආණ්ඩු බලයට පත්වුවත් රාජ්‍ය ණය කළමණාකරනය පිළිබඳ බහුපාර්ශවිය යොජනා මගින් සම්මත රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇතිකරගත යුතුය.


මහාපරිමාණ ව්‍යාපෘතින් සඳහා ආයතනවල අත්සන් කරන ගිවිසුම්වල බොහෝ අඩුපාඩු දක්නට ලැබෙන බව අසන්නට ලැබේ. බොහෝ විට ආදාළ නිලධාරින්ගේ දැනුම හා අත්දැකීම් මීට පාදක වන අතර නැතහොත් ඔනෑකම්න් ඒවා මඟහරිනවා විය හැක. (හෙජින් ගිවිසුමට සිදුවු දේ) මේ සදඟා නීති කෙටුම්පත් දෙපාර්තුමේන්තුවේ සමාජිකයන්ගෙන් සැදුම්ලත් ආයතනයක් පිහිට වියහැක. එම ආයනතය මගින් රජයේ හා පෞද්ගලික අංශයේ ව්‍යාපෘතිවලට උපදෙස් දෙන ආයතනයක් ලෙස ස්ථාපනය කල යුතුය. එම ආයනතය [Self Financing] තමන්ට ආදායම් උපදවන ආයතන කළ යුතුය.
එමෙන්ම රජය අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතින් මෙන්ම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘතින් වලට ණය ගැනීම නතර කළ යුතු මෙන්ම මෙරට ලබාගන්නා ණය ප්‍රතිඑලදායි අන්දමින් යෙදවිය යුතුය. ඒ අනුව කෙටිකාලීනව ඉක්මනින් ප්‍රතිලාභ අත්කර ගතහැකි ව්‍යාපෘති මෙන්ම දිර්ඝකාලීන ප්‍රතිඑලදායි ප්‍රතිලාභ ලබාගත හැකි අන්දම්න් ඒවා නිශ්චිත හා කාලීන පදනම් යටතේ සැලසුම් කළ හැකිය.

එමෙන්ම යම් ආකරයට පොලී රහිත ණය දිගූකාලිනව හිමිවන්නෙම් හෝ යම් ප්‍රදාන හිමිවේනෙම් ඒවා යෙදවිය යුතු රාජ්‍ය ආයෝජන සංයුතියද මීට සමගාමීව වෙනස් කළ යුතුය. දේශිය ඛණිජ සම්පත් ප්‍රතිඑලදායි ලෙස මෙරට ආර්ථික ස්ථාවරත්වයේ පුමුඛ ශක්තීන් ලෙස භාවිතයට ගැනීමට ආදාළ අංශ අවධානය යොමු කිරීම වැදගත්ය. මෙරට ජනතාවගේ මුලික අවශ්‍යතා හැකිඋපරිම ආකාරයෙන් මෙරට තුළම නිෂ්පාදනය කරමින් ආනයනය සීමා කළ යුතුය. බහුතර පොදු මහත් ජනතාවගේ භාවිතයට අත්‍යවශ්‍යය වාහන හා යන්ත්‍රෝපකරණ මෙරට තුළදීම නිෂ්පාදනය කෙරෙහි රජය ලබාගන්නා ණය ආයෝජන කළ යුතුය. එපමණක් නොව අපගේ විදේශ ප්‍රතිපත්තිය අප මෙහෙය විය යුත්තේ අපගේ අවශ්‍යතාවයන් වලට සහනදායී ණය හා ආධාර ලබාගතහැකි අන්දමේ රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රම මනාව අනුගමනය කරම්න්ය.


ලබා ගන්නා ණය වලින් සිදු කරනු ලබන ව්‍යාපෘති වල සිදුවන දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීම සදහා වෙනම යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. ව්‍යාපෘතින්වල අනාගත ඇගයීම් සිදු කළත් ඒවායේ ප්‍රයෝගිකභාවය පිළිබඳ පුර්ව හා පසු විමර්ශණ කළ යුතය. එමෙන්ම ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් අවම කිරීම මෙන්ම හිතුමතේ පොදු මුදල් භාවිතයද අහෝසි කොට වගකීමෙන් හා වගවීමෙන් ක්‍රියාකළ යුතුය. මීට සමගාමීව රාජ්‍ය මුදල් අවභාවිත කරන්න්ට එරෙහිව නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරිම මෙන්ම පොදුජන යහපැවැත්ම උදෙසා ලබාගන්නා ණය මනාව කළමණාකරණය කරම්න් ජනතාව ණය බරින් බෙරිමද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක අත්හළ නෙැහැකි පුමුඛ වගකීමකි.