ඵලදා අනුපාතිකය
ඍජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේදී දෙපාර්ශ්වයක් කතිකා කරගෙන, දෙපැත්තේ කැමැත්තෙන් මුහුණත අගය හා ඵලදා අනුපාතිකය තීන්දු කරයි. පාඩු සිදුවන්නේ ඵලදා අනුපාතිකය මහ බැංකුවට අවාසි සහගත ලෙස තීන්දු කළහොත්ය. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් ඵලදා අනුපාතිකය ගැන එකඟ වෙද්දී, පෞද්ගලික සමාගමට විශේෂ වාසියක් සලසන අන්දමට තීන්දු ගතහොත්, එහි ප්‍රතිඵලය වන්නේ පාඩු ලැබීමය.
කෙසේ වෙතත් 2012 ඔක්තෝබර් සහ 2015 පෙබරවාරි අතර කාලසීමාවේදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඵලදා අනුපාතිකය තීන්දු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සූදානම් කර ඇත. එහිදී වෙළඳපොලේ පවතින මිල, අවසාන වතාවට වෙන්දේසියේදී බැඳුම්කර ලබාදුන් මිල ආදී කරුණු ගණනාවක් සැලකිල්ලට ගනු ලබයි. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට බැඳුම්කර ලබාදීමේදී කරන්නට තිබුණේ එම ක්‍රමවේදය අනුගමනය කිරීමය. ඒ අනුව විධිමත් ලෙස ඵලදා අනුපාතිකය තීන්දු කිරීමය. ඊට වෙනස්ව තීන්දු කළහොත්, ඒ පසුපස යටි අරමුණක් තිබෙන බව පැහැදිළිය.
කෙසේ වෙතත් එම කාලයේදී ඍජුව බැඳුම්කර නිකුත් කළ 142කදී නිකුත් කර ඇති සමස්ත වටිනාකම රුපියල් කෝටි 3373ක් වන බැඳුම්කර ඉහත කී අනුමත ඵලදා අනුපාතිකයට වඩා වැඩි වටිනාකමකින් නිකුත් කර ඇත.
වංචාව ඇත්තේ එවැනි තැන්වලය. මෙය ඉබේ ලැබුණු පාඩුවක් නොව, හිතාමතා ලබාගත් පාඩුවක් බව තහවුරු වෙන්නේ හිතාමතාම මහබැංකුවට අවාසි සහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම නිසාය.
එලෙස බැඳුම්කර නිකුත් කළ අවස්ථා 142 න් අවස්ථා 33 කදී නිකුත් කර ඇති රුපියල් කෝටි 776ක් වටිනා බැඳුම්කර ඒ වනවිට පැවති ද්විතීයික වෙළඳපොලේ බැඳුම්කට මිලට වඩා වැඩියෙන් නිකුත් කර තිබේ. ඒ නිසා කෝටි 87ක පාඩුවක් සිදුවී තිබේ.
ඊට අමතරව තවත් අවස්ථා 29 කදී නිකුත් කළ කෝටි 438ක් වටිනා බැඳුම්කර වල ඵලදා අනුපාතිකය නිකුත් කර බැඳුම්කරවලට අනුරූපව නොමැත. ඉන් ඍජු නිකුතු 10 දී නිකුත් කළ කෝටි 103ක් වටිනා බැඳුම්කරවල ඵලදා අනුපාතික ආකෘතිය නොමැති බව පවසයි. එම අවස්ථා 29න් අවස්ථා නවයකදී කෝටි 1.8ක පාඩුවක් සිදුවී තිබේ.
ඒ අනුව ඵලදා අනුපාතිකය තීන්දු කිරීමේදී සමස්තයක් ලෙස රුපියල් කෝටි 88.98 ක් මහ බැංකුවට පාඩු සිදුව ඇත. එයට හේතුව නිසි ක්‍රමවේදය අනුගමනය නොකිරීමය.
කල් මැරීම
තවත් තත්වයක් වන්නේ ඍජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම සඳහා කටයුතු සූදානම් කොට, බැඳුම්කර නිකුත් කිරිම සඳහා ගතවෙන කාලය නිසා පාඩු සිදුවීමය. සාමාන්‍යයෙන් දින පහක් ඇතුළත බැඳුම්කර නිකුත් කළ යුතුය. එහෙත් ඊට වඩා කල් මැරීමෙන් වෙළඳපොලේ ඵලදා අනුපාතිකය වෙනස් වීමෙන්, මහ බැංකුවට පාඩු සිදුවී ඇත.
බැඳුම්කර නිකුතු 195 කදී නිකුත් කර ඇති රුපියල් කෝටි 2499ක් වටිනා බැඳුම්කර එලෙස දින පහකට වඩා ප්‍රමාද වී නිකුත් කර ඇත. එලෙස නිකුත් කර ඇති අවස්ථා 14 කදී රුපියල් කෝටි 131ක් වටිනා බැඳුම්කර නිකුත් කරද්දී ද්විතීයික වෙළඳපොලේ ඵලදා අනුපාතිකය පහළ වැටීමෙන් බැඳුම්කර මිලදී ගත් පාර්ශ්වයට වාසි සිදුවී තිබුණි.
හඳුනාගැනීමේ අංක
බැඳුම්කර සඳහා නිකුත් කරන ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනාගැනීමේ අංකය හෙවත් අයිඑස්අයිඑන් නම් අංකයක් ඇත. එක් අංකයක් යටතේ බැඳුම්කර ගණනාවක් නිකුත් කරනු ලබයි. එම කාලසීමාවේදී බැඳුම්කර නිකුත් කරද්දී වෙන්දේසි සහ ඍජු නිකුතු වලදී අයිඑස්අයිඑන් අංක 139ක් නිකුත් කර ඇත. ඒ අතරින් අයිඑස්අයිඑන් අංක 34කට අදාල බැඳුම්කර නිකුත් කර ඇත්තේ ඍජු නිකුතු ක්‍රමයට පමණි. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 6747කි. ඊට අමතරව එම අංක රැගත් බැඳුම්කර නිකුත් කිරීමේදී නිල දැන්වීමක් කර නැත.
ඒ අතරින් අයිඑස්අයිඑන් අංක 5ක් රැගත් කෝටි 592ක් වටිනා බැඳුම්කර නිකුත් කර ඇත්තේ අනුගමනය කළ යුතු භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ පරිපාලන ක්‍රමවේදයට පිටින්ය. සාමාන්‍ය මූල්‍ය ප්‍රවාහයේ අවශ්‍යතාවලට අනුගත නොවන ආකාරයට එම බැඳුම්කර නිකුත් කර ඇත.
ඒ අතරින් තවත් අයිඑස්අයිඑන් 4ක් රැගත් කෝටි 1663ක් වටිනා බැඳුම්කර මුල්වරට නිකුත් කර තිබුණේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ පරිපාලන අවශ්‍යතාවලට පිටින්ය. පසුව ඒවා සාමාන්‍ය මූල්‍ය ප්‍රවාහයේ අවශ්‍යතාවලට අනුගත වන ආකාරයට නිකුත් කර තිබුණි.
ඉතිරි අයිඑස්අයිඑන් අංක 25න් 22 ක වටිනාකම රුපියල් කෝටි 3792 කි. ඒවා නිකුත් කර ඇත්තේ සාමාන්‍ය මුදල් ප්‍රවාහ අවශ්‍යතා වලට පමණි. ඉතිරි තුනේ වටිනාකම කෝටි 699කි. ඒවා මුලින් මූල්‍ය ප්‍රවාහ අවශ්‍යතාවලට අනුව නිකුත් කර ඇත. ඒවා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ පරිපාලන අවශ්‍යතාවලට පිටින් පසුව නිකුත් කර ඇත.
සමස්තයක් ලෙස ඉහත කී අයිඑස්අයිඑන් අංක වෙන්දේසිවලට ඉදිරිපත් නොකිරීම බරපතල විනිවිදභාවයෙහි ප්‍රශ්නයක් බව සඳහන් කර ඇත. ඒ නිසා වෙළඳපොල ආයෝජකයන් එම අංක ඉදිරිපත් කිරීම ගැන දැන සිට නැත. ඊටත් අමතරවට එම බැඳුම්කර අවස්ථා ගණනාවකදීම නිකුත් කර ඇත්තේ රජයට තිබෙන මුදල් අවශ්‍යතාවලට අතිරික්ත වශයෙන්ය.
ඍජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර ඇති අවස්ථා 207 කදී එකම අයිඑස්අයිඑන් අංකයක් රැගත් බැඳුම්කර එකම මොහොතක එකිනෙකට වෙනස් ප්‍රාථමික ගැනුම්කරුවන්ට ලබාදීමේදී එකිනෙකට වෙනස් මිලට අලෙවි කර ඇත. ඒ අතරින් අවස්ථා 80 කදී පවතින ද්විතීයික වෙළඳපොලේ ඵලදා අනුපාතිකයට වඩා වැඩියෙන් බැඳුම්කර නිකුත් කර ඇත. එයින් රුපියල් කෝටි 83.5ක පාඩුවක් සිදුව තිබේ.
ලොකුම පාඩුව
ඉහළම පාඩුවක් සිදුව ඇත්තේ 2005 සිට 2015 මුල දක්වා බැඳුම්කර නිකුත් කිරීමේදී පවතින මුහුණත අගයට වඩා අඩු අගයකින් යුතුව බැඳුම්කර නිකුත් කර අවස්ථා 1,105 කදීය. එයින් රුපියල් කෝටි 104ක පාඩුවක් සිදුව තිබුණි. එහිදී සැලකිල්ලට ගත යුත්තේ, මෙලෙස මුහුණත අගයට වඩා අඩු අගයකින් ලාබෙට බැඳුම්කර නිකුත් කිරීමේදී වාසියක් සැලසී තිබුණේ පෞද්ගලික අංශයටය. ඊපීඑෆ් වැනි අරමුදල්වලට නොවේ. අප මුලින්ම කී ලෙස රජය සතු ප්‍රාථමික ගැනුම්කරුවන්ට පමණක් බැඳුම්කර නිකුත් කළානම් අඩු තරමේ එයින් වාසි සැලසෙන්නේ රජය සතු ආයතනවලටය. පෞද්ගලික ආයතනවලට ලාබෙට බැඳුම්කර නිකුත් කිරීමෙන් සිදුව ඇත්තේ හිතාමතාම පාඩු ලැබීමය.
මෙම බැඳුම්කර නිකුත් කිරීම් නිසා ලැබූ පාඩුව අහම්බයක් නොවන බව තහවුරු කෙරෙන තවත් කරුණු වෝහාරික විගණන වාර්තාවල ඇත. ඒ පාඩුව අහම්බයක් නම්, එම පාඩු වලින් පෞද්ගලික ආයතන පමණක් ඉහළ ලාභ ලැබීම සිදුවිය නොහැක. වැරදීමකින්වත් එම පාඩු ලැබූ ගණුදෙනු රජය සතු සමාගම් සමග සිදුකර නැත්තේ ඇයිද යන්න විමසිය හැකිය. එමෙන්ම එම ගණුදෙනු සිදුකර ඇති සමාගම්වල ගජමිතුරන් සේවය කර ඇති අන්දමද එම වාර්තාවල සඳහන්ය. ඒවා ගැන වැඩි විස්තර ඉදිරියේදී කතාකරන්නට බලාපොරොත්තු වන්නෙමු.
2020.02.02