සිරකරුවන් මරන්න වුණත්, ගෝඨා මට බලය දුන්නා! -ලොහාන් කීවාලු සිරකරු පෙත්සමෙන් අලුත් කතා මතු වෙයි!

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට පැන තර්ජනය කළායැයි කියවෙන සිදුවීම අස්සේ සිරකරුවන් නිදහස් කිරීමේ හෝ වෙඩි තබා මරා දැමීමේ බලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට දුන්නායැයි ලොහාන් රත්වත්තේ ඇමතිවරයා කී බවක් සිරකරුවන්ගේ ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් වෙලා.

එසේ සඳහන් වෙන්නේ දණගස්වා තර්ජනයට ලක් වූ බව කිය සිරකරුවන් 08 දෙනෙක් වෙනුවෙන් සැප්තැම්බර් 30 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නීතිඥවරුන් ගොනු කළ පෙත්සමක. ප්‍රබාලසිංහම් සූර්යපාලන්, එම්. සුලක්ෂන්, ගනේෂන් තර්ෂාන්, කේ. කජේන්දිරසේ, ආර්. තිරුවල්, ජී.සී. තාරෂන්, එම්. සුදාහරන්, ටී. කංකානබරන් මේ පෙත්සම්කරුවන් අතර ඉන්නවා. පෙත්සම්කරුවන් 08 දෙනාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගතවූවන්.

එම සිදුවීමෙන් සති දෙකකට වඩා ගත වුණත්, මිනිසුන් දණගස්වා තර්ජනය කිරීමේ චෝදනාවකිනුත් පස්සේ තාවකාලිකවවත් පොහොට්ටු සාමාජිකත්වය හෝ රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරන්න පෙළඹුණේ නෑ. පරීක්ෂණ වාර්තාලින් පස්සේ ‘හෙමිහිට’ තීන්දුවක් ගත හැකි තරම් පුංචි සිදුවීමක් ලෙස ආණ්ඩුවේ නායකයන් මේ ගැන හිතනවා වාගෙයි. සැප්තැම්බර් 30 වැනිදා මේ කමිටුව බන්ධනාගාරවලට ගිහින් ප්‍රකාශ අරන් තිබුණා. මේ කමිටු වාර්තාව මාස 2ක් ඇතුළත ලැබෙන බවයි කියා තිබුණේ. එතෙක් ලොහාන් රාජ්‍ය ඇමති.

අවුලක් නෑ. ලොකු චෝදනා නෙවෙයිනේ! මිනිසුන් දණගස්වලා පිස්තෝල ඔළුවට තියලා මරණවා කියපු චෝදනානේ! ඇමතිකමේ තියමු. පාලක පවුලේ කෑම මේසයේ එකඟතාව ඕකද?

සැප්තැම්බර් 12 වැනිදා හවස 6.05ට මණ තවත් කීපදෙනෙක් එක්ක අනුරාධපුර බන්ධනාගාරයට ඇමතිවරයා ආවාලු. ඔහු එක්ක ලේකම්වරයෙක් කියා හිතන්න පුළුවන් තවත් කෙනෙක් හිටියාලු. ආරක්ෂකයන් ලෙස පෙනුණු තව කීපදෙනෙක් හා බන්ධනාගාර ආරක්ෂකයන් හිටියාලු. සිරකුටිවලින් සිරකරුවන් 10 දෙනෙක් එළියට අරන්, කෝට්යාඩ් එක ළඟට ගෙන්වුවාලු. අඩ රවුමක් වගේ හිටගන්න කියලා දණගහන්න නියෝග කළාලු. සිංහලෙන් තර්ජනය කරපු බවත්, නිදහස් කිරීමේ හෝ වෙඩි තබා මරා දැමීමට ජනාධිපතිවරයා බලය දුන්න බවත් ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයා කීවායැයි සඳහන් වෙන්නේ ඒ පෙත්සමේ. තර්ජනය කරපු වෙලාවේ ඔහුගේ අතේ පෙත්සමක් තිබුණු බවත් පෙත්සමේ සඳහන්.

පෙත්සමේ තියෙන හැටියට මේ සිරකරුවන් පෙළගස්වා කරපු වැරදි මොනවාදැයි එකිනෙකාගෙන් විමසුවාලු. ඒත්, පළවැනි සැකකරුවාගෙන් ඇහුවාම ඔහු සිංහල දන්නේ නැති බව ප්‍රකාශ කළාලු. ඒකට ඇමතිවරයාට හොඳටම කේන්ති ගියාලු. පිස්තෝලය හිසට එල්ල කරලා වෙඩි තබා මරණ තර්ජන කළාලු. ඒ මොහොතේ එතැන සිටි අනෙක් අය ඔහුව පාලනය කරලා එතැනින් ඉවතට අරගෙන ගියාලු. පස්සේ බන්ධනාගාර ආරක්ෂකයන් කීවාලු ඇමති එළියට ගියා, බය වෙන්න එපා කියා.

එම සිදුවීම මොහොතේ තමන් තැතිගැන්මට පත් වූ බවත්, තමන්ගේ ජීවිතය ගැන බිය තවමත් පවතින බවත් පෙත්සමේදී සිරකරුවන් කියලා.

ඒත්, මේ සියලු චෝදනා ආණ්ඩුවේ ලොක්කන්ට නම් එදිනෙදා ‘පුංචි චෝදනා’ වගෙයි. ඔවුන්ගෙන් හදිසි කලබලයක්, බරපතළ ප්‍රතිචාරයක් පෙනෙන්න තිබුණේ නෑ.

මේ රැඳවූවන් ඉල්ලා තියෙන ප්‍රධානම දේ තමයි තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූවායැයි නියෝගයක් කරන ලෙස.

තමන්ගේ ජීවිතවලට හානියක් විය හැකි බවත්, එම නිසා තමන්ව බන්ධනාගාරයෙන් මුදා හැරීම හෝ ඇප පිට මුදා හැරීම සඳහා නියෝග කරන්න කියලාත් පෙත්සමෙන් ඉල්ලලා.

එමෙන්ම උතුරු පළාතේ බන්ධනාගාරයකට හෝ තමන් කලින් හිටපු යාපනය බන්ධනාගාරයට මාරු කරන්න කියා නිලධාරීන්ට නියෝග කරන්නට අතුරු නියෝගයක් දෙන්න කියා පෙත්සම්කරුවන් ඉල්ලලා.

පෙත්සම පිළිගෙන පවත්වාගෙන යන්න අවසර දෙනන කියලාත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 12(2) වගන්තිවලින් සහතික කරපු මූලික අයිතීන් උල්ලංඝනය වෙලා කියලා තීන්දු කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලලා තියෙනවා.

ලොහාන් රත්වත්ත, අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා වන එම්.එච්.ආර්. අජිත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.වී.එන්.උපුල්දෙණිය, අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් විදියට නම් කරලා.