ත්‍රස්ත ප්‍රහාර ඩ්‍රාමා එකක්? නිල වශයෙන් බය එපා! නොනිල වශයෙන් බයෙන් අන්ධ වෙයල්ලා!

සැප්තැම්බර් 29 වැනිදා උදේ බෝපිටිය සෙන් නිකොලා දේවස්ථානයට ආපු නාවික හමුදාවේ පිරිසක් තමයි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්, ඒ නිසා පරෙස්සම් වෙන්න කියලා දැනුම්දීලා තිබුණේ. ඉතින්, ඒ අයට විරුද්ධව දැන් නීතියක් ක්‍රියාත්මක වෙනවාද?

ප්‍රහාරයක් දේවගැතිවරුන් වාගේ ලෝගු ඇඳගෙන වුණත් එන්න පුළුවන් කියා තිබුණා. ඒ අය ආපු වීඩියෝ හිරු ටීවී එකෙන් පෙන්නලා තිබුණා. මේ ගැන වැඩිදුර විමසුවාම කියා තිබුණේ නේවි එකට ‘මොනිටර්’ වුණ බව. එහෙම ප්‍රහාරයක් ගැන. කොහොම නමුත් මේ ගැන අගරදගුරු දැනුවත් කරලාත් නෑ. පොදුවේ දේවස්ථානවලට දැනුම්දීලාත් නෑ.

ඊට පස්සේ තමයි ‘බය වෙන්න එපා’ කියලා පස්සේ නිවේදන දාන්නේ. මොන නිවේදනේ දැම්මත් මේ වෙලාවේ අමුතුවෙන් ත්‍රස්තවාදයක් ගැන කතන්දර මවන අය මිනිසුන්ගේ හිත්වලට යවන්න ඕනෑ හැඟීම යවලා ඉවරයි. බයවෙන්න එපා කියන නිවේදනය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න දාපු එකක්. ඒකේ ඔහු කියන්නේ මේ තොරතුර විශ්ලේෂණය කරලා තහවුරු කරපු නැති තොරතුරක් කියලා. ඒ ගැන බයවෙන්න දෙයක් නැහැලු. කලබල වෙන්න එපාලු.

ඒත් ඇස් දෙකක් තියෙන, සාමාන්‍ය මට්ටමෙන් වැඩ කරන මොළයක් තියෙන ඕනෑ කෙනෙක්ට පේනවා මේ උත්සාහ කරන්නේ එකම මොහොතේ මිනිසුන්ව බය කරලා, ඒ අතරේ නිල වශයෙන් ‘බය වෙන්න එපා’ කියලා කියන්න බව. නිල වශයෙන් අනතුරක් නැති බව කියන අතරේම නොනිල විදියට බය පතුරුවන්න උත්සාහයක් අපට පේන්න තියෙනවා පැහැදිලිවම.

මේ නල්ලමලේ ආරක්ෂක දැනුම්දීම ගැන ලියූ මාධ්‍ය සටහනක ප්‍රශ්න කිහිපයක් විමසා තිබුණා.

1  නාවික හමුදාවට මෙම තොරතුර ලැබුණේ කෙසේද? කවදාද? ඒ පිළිබඳ කරන ලද සටහන් තිබේද?

2 නාවික හමුදා නිලධාරියකුට තමන්ට ලැබෙන මෙවැනි තොරතුරක් එක් දේවස්ථානයකට පමණක් ලබා දීමට ඇති විධානය කුමක්ද?

3 අනතුර දැනුම් දුන් දේවස්ථානයට හෝ ආරක්ෂාවක් ලබා නොදුන්නේ මන්ද?

4  නාවික හමුදාව එම තොරතුර ඉහළ නිලධාරීන්ට දන්වා උපදෙස් ලබා ගත්තේද? නැත්තේ නම් ඒ ඇයි?

5 එසේ නම් අනෙක් දේවස්ථානයන්ට දැනුම් නොදුන්නේ මන්ද?

6 ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන බව කියන රාජපක්ෂවරුන් යටතේ මෙවැනි දෙයක් සිදු වූයේ කවරකුගේ උපදෙස් අනුවද?

මේ ගැන බය වෙන්න එපා කියලා කියන අයගෙනුත් ප්‍රශ්න කිහිපයක් විමසලා තිබුණා.

1. පාස්කු ප්‍රහාරයන්ගේ අත්දැකීම ඇති රටක මෙවැනි තොරතුරක් මොනිටර් වූයේ නම් එය නොසළකා හැරිය හැක්කේ කෙසේද?

2. එවැනි ප්‍රහාරයකින් ඇති විය හැකි මිනිස් ජීවිත විනාශය නොසළකා හැරිය හැක්කේ කෙසේද?

3. එවැනි තර්ජනයක අනතුරක් ඇත්නම් මෙරට සංචාරක ව්‍යාපාරයට පවා බරපතළ අනතුරක් වන අතර ඒ පිළිබඳව සියලු අදාළ පාර්ශවයන්ට දැනුම් දීම   ආණ්ඩුවේ යුතුකමක් නොවන්නේද?

පොදුවේ ගත් කළ, එකපාරම දවස කළඹමින් ප්ලාන්ට් වුණ මේ ප්‍රවෘත්තිය, අනතුරු හැඟවීම ඔක්කෝම රටේ මිනිසුන් බියපත් කරන සිදුවීම්වල දිගුවක් බව පේනවා. හිරු ටීවී ඇතුළු මාධ්‍යවලට ගිහින් ඥාණසාර හිමි කිසිම පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් නොකර ඉදිරිපත් කරන කතා, ඒවා සාධාරණීකරණය කරමින් පාර්ලිමේන්තුවේ සරත් වීරසේකර ඇමතිවරයා කී කතා ආදී සියල්ලේම දිගුවක් විදියට තමයි මේ අනතුරු හැඟවීමත් පෙනුණේ.

මේ වෙද්දී ත්‍රස්තවාදය ගැන මිනිසුන් බියපත් කරන සිදුවීම් ගණනාවක් සිදුවෙලා.

ගුවන් තොටුපළට ප්‍රහාරයක් කියා ව්‍යාජ පණිවිඩයක් හුවමාරු වුණා. ඕනෑ වෙලාවක බෝම්බයක් ගහන්න පුළුවන්, තොරතුරු පවා තියෙනවා කියා ඥාණසාර හිමි හනුමන්තා වගේ ගිනිතැබීමක් කළා. ඒත්, ඒ ප්‍රකාශය ගැන ප්‍රෙෂර් එකක් එල්ලවෙද්දී ‘නෑ ඒ හාමුදුරුවෝ කීවේ මේ අන්තවාදය ඔළුවේ තියෙන එකක්. ඒ නිසා ඕනෑ වෙලාවක ඇටෑක් කරන්න ඉඩ තියෙනවා කියලයි.’ වගේ හනුමන්තාගේ ක්‍රියා ගැන පැහැදිලි කිරීම් කරන හනුමන්ගේ ලේකමා බවට පොලීසිය භාර ඇමති පත් වුණා.

ඒ හනුමාගේ ලේකමා මිනිස්සු අදහන දෙවි කෙනෙක් ත්‍රස්තවාදියෙක්ය කියා හඟවමින් කීව තක්කඩි කතාව සම්පූර්ණයෙන් මඟහැරියා. මොකෝ ලංකාවේ අයිසීසීපීආර් වගේ පනත් තියෙන්නේ කෙටිකතා ලියන කොල්ලන්ව හිරේ දාන්නනේ. ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව කවි ලියන මුස්ලිම් කවියන්ට චෝදනා එල්ල කරන්නනේ.

යකෝ, ඔය සීඅයිඩීයෙන් කුදලන් යන වෙන මිනිස්සු කියපු කරපු දේවල් ගැනත් ප්‍රශ්න නොකර, ඒ වෙනුවට එයා අදහස් කළේ මේකයි කියල පාර්ලිමේන්තු ගිහින් පැහැදිලි කරන්න ඇමතියෙක් හිටියනං හරිනේ!

කොහොමහරි මුස්ලිම් අන්තවාදයක් ගැන බියක් අපූරුවට මතු කෙරුණේ එකිනෙකට සම්බන්ධ මාධ්‍ය ප්‍රචාර මාලාවක් මගින්. සමහර ඒවා බොරු වට්ස්ඇප් සහ සමාජ මාධ්‍ය ප්‍රචාර.

ඒ විතරක්ද? කොහෙන්දෝ දෙමළ අන්තවාදයක් ගැන කතන්දරේකුත් ආවා.

යාපනයේදී ආවා කල්ලියේ පස්දෙනෙක් අත්අඩංගුවට ගත් බව කීවා. කොළඹ රෝහලක පොඩි අත්බෝම්බයක් ගැන කීවා. පස්සේ ඒ ප්‍රවෘත්තිය පත්තුවෙලා අත්බෝම්බය පිටිපස්සේ හිටපු කොටි සාමාජිකයන් ඉන්න බව කීවා. යාපනයේ ඉඳන් ඇවිත් මෙහේ ඉන්න පිරිසක් සතුව ආයුධ තිබුණා කියලා අත්අඩංගුවට ගැනීමක් කළා. ඒ ප්‍රවෘත්තිය ‘යාපනේ හිටපු’ කියන කොටස හයිලයිට් කරමින් පළ කෙරුණා.

ඒ මදිවාට යාපනයේ කාන්තා මාධ්‍යවේදිනියකගේ දූරකථනයක් බලහත්කාරයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් පැහැරගත්තේ ‘පුළුවන් දෙයක් කරන්න, ඕනෑ තැනකට යන්න’ කියා දෙයියන්ගේ බලය අතට අරන් තර්ජනය කරමින්. කාන්තා නිලධාරිනියක්වත් නැතිව ඒ මාධ්‍යවේදිනිය පැහැරගැනීමට පවා උත්සාහ කළා. දැන් කියන්නේ ඇගේ දූරකථනයේ ‘කොටි ක්‍රියාකාරකම්’ තිබුණාලු. ඇගේ දූරකථනය පැහැරගනිද්දීම ඔය වගේ තවත් පුවතකින් තම ක්‍රියාව සාධාරණීකරණය කරනු ඇතැයි අපි නම් අනුමාන කළා.

කොටි ක්‍රියාකාරකම් කියන්නේ හරියටම මොනවාද? අපිත් ඊයේ පෙරේදා තිලීපන් ගැන මාධ්‍ය වාර්තාවක් වෙනුවෙන් එල්ටීටීඊයට අදාල අතීත සිදුවීම් ගැන තොරතුරු, තිලීපන් ගැන හැදුණ එල්ටීටීඊ ගීත, වගේම තිලීපන්ගේ බලපෑම ගැන අධ්‍යනයට වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පැරණි කතා කිහිපයක් බාගත කළා. නැරඹුවා. ඒවා තිබුණා කියා අපේ දූරකථන අල්ලාගෙන අපිත් ‘කොටි ක්‍රියාකාරකම්’ කළා කියා කොටු කරන්න පුළුවන්ද? 

මතකනේ, යාපනයේදී තරුණ සිසුන් දෙන්නෙක්ට වෙඩි තියපු පොලීසිය කියපු බොරු තොගේ. ඒ බොරු හෙළි වුණත් අදටත් නීතියක් ක්‍රියාත්මක වුණාද?

ඒ අනුව එක්වරම දෙමළ, මුස්ලිම් ත්‍රස්තවාදයක් පිළිබඳ බිය වඩවන සිදුවීම් මාලාවක් මෑත කාලයේ සිද්ධ වුණා.

ඒ අනුව මේ වෙද්දී එදිනෙදා කෑම ටික වරායෙන් නිදහස් කරගන්න ආණ්ඩුව දුක්විඳින හැටි, බඩු මිල, හාල් ගැසට් ආපහු හරවමින් ආණ්ඩුව විඳින ලැජ්ජාව, ඖෂධ නියාමන අධිකාරියේ දත්ත හොරකම වගේම යුගදනවි බලාගාරයේ කතාන්දරය යටගැසීමට ආණ්ඩුව උත්සාහ කරනවාද කියා අතීත අත්දැකීම් ඇති අපට සාධාරණ සැකයක් මතු වෙනවා.

30 වැනිදා උදේ දෙරණ අරුණ වැඩසටහනේදී ‘මේවා සුළුවෙන් තකන්න හොඳ නෑ.’ කියාගෙන දෙරණේ සංඛ අමරජිත් පවා බිය අවුස්සන හැටි අපි දැක්කා.

බය කියන්නේ ලංකා ඉතිහාසයේ දේශපාලනයේ යළි යළිත් පුරවැසියන් වැටෙන වළ. බෙදා පාලනය කරන ප්‍රතිපත්තිය හැමදාම ඉටු කරගත්තේ බය අවුස්සමින්. ඒ බයෙන් අන්ධ වෙන්න අපට පුළුවන්. දැන් එදිනෙදා ප්‍රශ්න අමතක කරලා බයෙන් අන්ධ වෙලා කිසිදෙයක් පේන්නෑ වගේ ඉන්න අපට පුළුවන්.

ඒ ඒ ජාතීන්ව ජාතිවාදයට දක්කාගෙන යන උදවියට රැවටෙන්නත් පුළුවන්.

අපි කියයි මෙදා පාර අහුවෙන්නේ නෑ කියලා. ඒත්, එහෙම විමසිල්ලෙන් මේවා දිහා බලන සුළුතරයයි ඉන්නේ. අතිබහුතරය බයෙන් අන්ධ වෙලා දක්කන පැත්තට ඇවිදින්න ලෑස්තියි කියා අපි හිතනවා.