මස්ක්-බේසෝස්! ලෝකෙ ලොකුම ධනවතුන්ගේ පිස්සු වළිය

ටෙස්ලා ලොක්කාගේ සහ අනාගත අභ්‍යවකාශ ජනපද හිමියාගේ ධනස්කන්දය ඔහුගේ ප්‍රතිවාදියාව පහු කරලා. ඔහු එය සමරන්නේ කොහොමද? හැකි තරම් බොළඳ වීමෙන්.

නම – ඊලෝන් මස්ක්ට එදිරිව ජෙෆ් බේසෝස්

වයස – අවුරුදු දෙකක් විතර

පෙනුම – රත්තරන් පිඟන් සහිත, බඩ දඟලවන අශෝභනත්වය

මේ දෙන්නා ගැන මේ වෙලාවේ කතා කරන්න හේතුව මොකක්ද? ටෙස්ලා සහ ස්පේස් එක්ස් සමාගම්වල ලොක්කා වන මස්ක් මේ වෙද්දී සැලසුම් කරනවාලු, බේසෝස්ට දැවැන්ත පිළිමයක් යවන්න. ඒ දෙවැනි ස්ථානය ලැබීම සංකේතවත් කරන පිළිමයක්. ඒ මදිවාට රිදී පදක්කමකුත් යවනවාලු. ලෝකයේ ධනවත්ම පුද්ගලයා වීම අතින් බේසෝස්ව පහු කිරීමේ ජයග්‍රහණය සමරන්න.

ඉතින්, මේ දෙපළ විනිශ්චය කරන්න පුළුවන්ද අපට? කරලා බලමු.

ඔය කතාව එක විදියකට ප්‍රවෘත්තියක් විදියට අහන්න ලැබෙන තේරුමක්ම නැති කතන්දරයක්. ඒත් ඉතින් කෙනෙක් අහයි පිස්සු හැදෙන ධනවතෙක්ට තවත් පිස්සු හැදෙන ධනවතෙක්ව ප්‍රසිද්ධියේ විහිළුවට ලක් කරන්න බැරි නම්, මොකක්ද පිස්සු හැදෙන ධනවත්කමේ තේරුම? මේ ධනස්කන්ධය කුමකටද?

අනේ මන්ද ඉතින්! නිකං කැන්සර් ලෙඩ්ඩුන්ගේ යහපතට යොදවනවා වගේ එකක්? එහෙම එකකට යොදවන්න බැරිද ඕක? නැත්නම් අර බිල් ගේට්ස් වගේ වතුර නැති අයට පානීය ජලය යොදවන වැඩකටද? නොමිලෙ එන්නත් බෙදන වැඩකට?

පිස්සු වැඩක් කරන්නම ඕනෑ නං, ලංකාව වගේ රටක මිනිස්සුන්ට කන කෑම ටික නිදහස් කරගන්න පවා හති දාන්න වෙච්ච කඩාවැටිච්ච ආණ්ඩුවට කීයක් හරි දෙන්න තිබුණනෙ අප්පා!

මේ වෙද්දී බේසෝස් සහ මස්ක් ඉන්නේ ලෝකෙ ධනවත්ම පුද්ගලයා වීමේ රේස් එකක වුණත්, වැඩි කාලයක් ධනවතා වෙලා හිටියේ බේසෝස්. 2018 ඉඳන් මේ දක්වා. ඒත්, 2021 අවුරුද්දේ මුල ටෙස්ලා සමාගමේ කොටස් වටිනාකම ඉහළ යමින් මස්ක් ධනවතා වුණා. කාලෙකට පස්සේ පළවැනි වතාවට. ඒත්, නැවත වතාවක් මාසයකින් බේසෝස් ඉස්සර වුණා. ආයෙත් මස්ක් ඉස්සර වුණා. ආයෙමත් බේසෝස් ඉස්සර වුණා. මොකා මොකාද කියලා නම් පවා පැටලෙන ගාණට දෙන්නා මාරුවෙන් මාරුවට ඉස්සර වුණා.

හරි! ඊට පස්සේ සිද්ධ වුණේ පහුගිය සතියේ ඇමසන් සහ බ්ලූ ඔරිජින් (අභ්‍යවකාශෙ අල්ලන්න දඟලන කම්පැණිය) ලොක්කා ජෙෆ් බේසෝස්ට රුපියල් බිලියන… වැරදුණා සොරි. ඩොලර් බිලියනයක් විතර අහිමි වුණා.

අම්මෝ! ඩොලර් බිලියනයක්. ලොකු ගාණක් වෙන්න ඇති. ලංකාව පාලක පවුල මේ වෙද්දී ඩොලර් මිලියන දෙසිය ගාණකට හෙවත් ඔය ගාණෙන් අටෙන් එකක විතර ගාණකටනේ අර බලාගාරයකින් කෑල්ලක් දෙන්න දඟලන්නේ. කැබිනට් එකත් අන්දලා, ගම්මන්පිල, වාසු, විමල් වගේ පාලක පවුලේ ගෙදර බල්ලන්ගෙත් යනවනං යන්න කියාගෙන හිත් රිද්දලා මැරෙන්නේ ඩොලර් දෙසීයකටනේ.

නෑ! එච්චර ලොකු නෑ. බේසෝස්ගේ කම්පැණි අතරින් ඇමසන් කම්පැණියේ කොටස් වටිනාකමින් සීයට 1කකින් අඩක් විතර අඩු වෙලා. එච්චරයි.

ඔව්! ඔය බොළඳ ධනවතුන් දෙන්නා එක්කෙනෙක් ඩොලර් බිලියන 200ක් විතර වටිනවා.

ඒ කියන්නේ ලංකාවෙ දළ ජාතික නිෂ්පාදනය වගේ දෙගුණයකටත් වැඩියි! ඔය දෙන්නගෙම ධනය ලංකාවේ මිනිස්සුන් වන මිලියන 21යි ගාණ අතරේ සමානව බෙදා දැම්මොත් එක්කෙනෙක්ට ඩොලර් 18,000කට වඩා ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් 3,612,805ක්. මිලියන තුනක්.

නිකමට හිතන්න! මේ මිනිසුන්ගෙ ධනය මිලියන ගාණකින් බෙදා දැම්මත්, අපේ සමහර අයට හීනෙංවත් හිතන්න බැරි තරම් ධනයක්.

මේ දෙන්නාගේ තරගය සල්ලිවලට විතරද? නෑ, සල්ලිවලට සහ අභ්‍යවකාශය වෙනුවෙන්.

මේ වෙද්දී මේ දෙන්නාම අභ්‍යවකාශය ජනාවාසගත කරන පළමු ධනවතා වීමේ තරගයක ඉන්නේ. ඒ නිසාම ඇමෙරිකාවේ අභ්‍යවකාශ මාකට් එක වෙනුවෙන් දෙන්නා සටනක. නාසා ආයතනයේ ඩොලර් බිලියන 2.9ක සඳගමන් කොන්‍ත්‍රාතතුවක් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමට දුන්නාම, බේසෝස්ගේ බ්ලූ ඔරිජින් සමාගම ඒකට විරුද්ධව නඩුවක් දැම්මා.

මේ විදියට මස්ක් සහ බේසෝස් ලෝකෙ ලොකුම ධනවතා වෙන්න පොරකද්දී ඇත්තටම අහන්න ඕනෑ ප්‍රශ්නය තමයි ‘ඔය මිනිසුන්ට බදු ගහන්නේ නැද්ද?’ කියන එක.