අපෙන් වරදක් වුණා! අපි චීනෙන් පොහොර ගේන්නෑ කිව්වෙ නෑ -මහින්දානන්ද (ඒ මොන අපභ්‍රංශයක්ද?)

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවා නැති බවත් අහිතකර බැක්ටීරියා හමුවූ පොහොර නිපදවන චීන සමාගමෙන් පොහොර ගෙන්වීම අත්හිටවූ බවත් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයකින් කියලා.

එහෙනං, කලින්දා කිව්වේ මොන අපභ්‍රංශයක්ද? කියා ඔබට හිතේවි.

නෑ, එයාලා කිව්වේ චීනෙන් ගේන්නේ නැහැ කියලා නෙවෙයිලු. ඒ වෙනුවට කීවේ චීනයේ සමාගමකින් එවපු සාම්පල්වල අහිතකර බැක්ටීරියා තියෙනවා කියලා පරීක්ෂණවලින් නිගමනය වුණ නිසා ඒ සමාගමෙන් ගෙන්වන්නේ නෑ කියලා විතරයිලු. චීනෙන් ගේන්නේ නෑ කියලා නෙවෙයිලු.

නිවේදනයේ වචනවලින් නොකීවාට අදහස පැහැදිලියිනේ. ඒ කම්පැණියෙන් නොවුණාට වෙන කම්පැණියකින් වුව, චීනෙන්ම පොහොර ගෙන්වන එක සිද්ධවේවි.

දැන් මීට කලින් කෘෂිකර්ම අමාත්‍යාංශයයි, මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයායි දැඩිව කිවේ ඔය කම්පැණියෙන් ගේන කාබනික පොහොරවල ක්ෂුද්‍රජීවීන් නෑ කියලා. ඒත්, පරීක්ෂණවලින් තහවුරු වුණේ වෙන දෙයක්. ඇත්තටම ඔය පරීක්ෂණ පත්‍රිකා ප්‍රසිද්ධ වෙලා, කතාව එළියට ආපු නිසා හොඳයි.

ආණ්ඩුව එළියට දාලා අකුලගත්ත දේවල් අතරින් තව එකක් බවට මේ චීන කම්පැණියෙන් පොහොර ගෙන්වීමේ සිද්ධිය පත් වුණා.

ඒත්, මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ක්ෂණිකව එක දෙයක් තහවුරු කළා. චීනෙ ඕන මගුලක් මිලට ගන්න කසඩ මාකට් එකක් වීමෙන් ලංකාව ගැලවෙන්නේ නැති බව. ඒ නිසයි දෙවැනි නිවේදනයක් දාලා ඔය කම්පැණියෙන් නොවුණාට චීනෙන්ම බඩු ගේන්න ඉඩ තියෙන බව තහවුරු කළේ.

හැබැයි ඒ අතින් නම් මහින්දානන්ද ඇමතිවරයා අවංකයි.

‘මහින්දානන්ද තරම් එඩිතර, පූර්ණ විශ්වාසයකින් අදහස් ප්‍රකාශ කළ හැකි, සත්‍යය පමණක් ප්‍රකාශ කරන දේශපාලකයෙක් මා දැක නැත!!!’ කියලා මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ෆේස්බුක් පෝස්ට් එකක්  ලියා තිබුණා.