ජීඑස්පී+ නොදී ඉන්න දැනටමත් තීන්දු කරලාලු! සුමන්තිරන් කීවා! සුමා කේලාම් කියන දේශද්‍රෝහියෙක්ද?

ජීඑස්පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලබාදීම අත්හිටුවීමට යුරෝපා කවුන්සිලය පැත්තෙන් දැනටමත් තීන්දු කර හමාර බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කීවා. ඒ වගේම ඔහු ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් යුරෝපා කවුන්සිලයේ නියෝජිතයන් හමු වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගැන හොඳ දේවල් නොකී බව නම් පැහැදිලියි.

අපි සිරස්තලයට සුමා කියලා දැම්මේ ඔහුගේ වෘත්තීය සගයන් මිතුරුකමට ඔහුව අමතන නම ඒක හින්දා.

කොහොම නමුත්, ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් සමහරුන්ට දේශද්‍රෝහියෙක් වගේ පෙනේවි. එක පැත්තකින් දැන් ලංකාවේ ගොඩක් අයට කොච්චර ගෞරවණීය මනුස්සයෙක් වුණත් දෙමළ නම් දේශද්‍රෝහියෙක් කියලා හිතෙනවානේ. ලංකාවේ මානව හිමිකම් කැඩීම් ගැන සාක්ෂි අරන් ජිනීවා ගිහින්, ලංකාවට ආධාර දෙන්න එපා කියලා මං සුද්දන්ට කිව්වා කියල ආඩම්බරයෙන් පාර්ලිමේන්තුවේ කතාවකුත් කරපු මහින්ද රාජපක්ෂ වීරයෙක් වුණාට, දෙමළෙක් ඕවා කළාම ‘දෝහීන්’ වෙනවානේ.

ඔහුත්, ශ්‍රී ලංකාව ගැන උක්ත නියෝජිතයන් හමුවේ ඍණාත්මක දේවල් කියන වෙන ඕනෑම කෙනෙකුත් දේශද්‍රෝහීන් ලෙස ලේබල් වේවි.

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට එවූ නියෝජිතයන් පිරිස මේ වෙද්දී ශ්‍රී ලංකාවේදී විවිධ පාර්ශ්ව මුණගැසී සාකච්ඡා කරමින් ඉන්නවා. ඔවුන් පැමිණ සිටින්නේ ජීඑස්පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවෙන් අහෝසි කරනවාද, නැද්ද යන්න පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට. විපක්ෂ නායකවරයා ප්‍රමුඛ ප්‍රධාන විපක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වගේම විවිධ සංවිධානවල නායකයන් මුණගැසුණා. ඉදිරියේදීත් මුණගැසේවි. සැප්තැම්බර් 27 වැනිදා ආපු ඔවුන් ඔක්තෝබර් 01 වැනිදා දක්වා ඉන්නවා.

යුරෝපා වෙළෙඳාම සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක  නිකොලාස් සයමිස්, යුරෝපා විදේශ ක්‍රියාකාරී සේවයේ (EEAS) දකුණු ආසියා කලාපීය ප්‍රධානී අයෝනිස් ජියෝගරාකිස්-ආර්ජිරෝපොලෝස්, GSP වෙළෙඳ වරණය පිළිබඳ සම්බන්ධීකාරක ගුයිඩෝ ඩෝරා, රැකියා, සමාජ කටයුතු සහ අන්තර්ග්‍රහණය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ ප්‍රධානී ලුයිස් ප්‍රාට්ස් සහ ශ්‍රී ලංකාව හා මාලදිවයින සම්බන්ධ EEAS නිලධාරිනී මොනිකා බයිලයිටේ යන අය මෙහෙම ආපු කණ්ඩායමේ සාමාජිකයන්.

ඇත්තටම සුමන්තිරන් මන්ත්‍රීවරයා කීවා වගේ දැනටමත් ජීඑස්පී ප්ලස් සහනය නොදී ඉන්න තීන්දුව අරන් හමාරද? පෙනෙන විදියට තත්වය ඒ වගෙයි. මොකද, ඔවුන්ගේ තීන්දුවට බලපාන ප්‍රධානම කාරණය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. ඒක ගැන බොරු පොරොන්දු දෙනවා මිසක, කිසිම තීන්දුවක් ආණ්ඩුව ගත්තේ නෑ. අනෙක් අතට බෙල්ජියමේ තියෙන යුරෝපා පාර්ලිමේන්තුවේදී අතිබහුතරයක කැමැත්තෙන් ජීඑස්පී ප්ලස් අහෝසි කරන්න තීන්දු අරන් තියෙන පසුබිමක අපට ගැලවීමක් තියේවි කියා හිතන්න අසීරුයි. එකම ගැලවීමේ මාර්ගය පනතේ මානව හිමිකම් කඩන තැන් අහෝසි කිරීම.

අනෙක් පැත්තෙන් සැබෑ දේශද්‍රෝහීන් කවුද? ඔවුන්ද? මේ රටේ පුරවැසියන්ගේ අයිතීන් කඩමින් රට අමාරුවේ දාන විදියේ තීන්දු ගන්න පාලකයන්ද?

සුමන්තිරන් මහතා යුරෝපා කවුන්සිල නියෝජිතයන් හමුවීමෙන් පස්සේ එළියට ඇවිත් කීව කතාවෙන් කොටසක් මෙහෙමයි.

‘එතුමන්ලා දැනගන්නට ඇවිල්ලා තියෙන්නේ මේ රටේ මානව හිමිකම්, යහපාලනය වගේ තත්වය කොහොමද තියෙන්නේ කියලා දැනගන්න.

දැනටම ජීඑස්පී ප්ලස් ෆැසිලිටි එක ඉවත් කරනවා කියලා තීරණය අරන් තියෙනවා. ඒකට හේතුව තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරනවා කියලා 2017 දී පොරොන්දුවක් දුන්නා. තවම අවුරුදු හතරක් ඉක්මවලත් ඉවත් වෙලා නෑ. ඒ නිසා තමයි ඒ තීරණය ගත්තේ. අපි කීවා මේ පනත වහාම ඉවත් වෙන්න ඕනෑ බව. මේ පනත යටතේ හරිම අසාධාරණ වෙනවා.

දැන් නැවත මේ පනත භාවිතා කරනවා. ඒ නිසා ඒක අහෝසි කරන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි, ඒ යටතේ දීර්ඝකාලීන සිරකරුවන්, ළඟදී අත්අඩංගුවට ගත්ත සිරකරුවන් සියළුදෙනාම මුදාහරින්න ඕනෑ.

හමුදාකරණය ගැන අපි කීවා. රටේ තියෙන තත්වය යහපාලනය සුදුසු නැති බව.

(යුරෝපා සංගමය) අපට (ශ්‍රී ලංකාවට) එරෙහිව තීරණයක් ගන්න එක සුදුසු නෑ. එනමුත් රජය කොහොමහරි මුළු ජනතාවට එරෙහිව තමයි තීන්දු ගන්නේ. මේ බලපෑම තිබුණොත් විතරයි රජය වෙනස් වෙලා ජනතාවට නිදහසේ ජීවත් වෙන්න ඉඩ සලසන්නේ.’

ඔහු පෙන්වන කාරණය ඉතා වැදගත්. ජීඑස්පී ප්ලස් සහනය අහෝසි කළත්, එය තාවකාලිකව සිදුවන දෙයක්. අනෙක් පැත්තෙන් එහිදී ඉල්ලන්නේ මේ රටේ පුරවැසියන්ගේ අයිතීන් කඩමින් රටේ දේශපාලන නායකයන්ට අධිකරණයේ අවසර නැතිව හිතුමතේට මිනිසුනව හිරේ දමාගෙන ඉන්න ඉඩ සලසන නීතියක් වෙනස් කරන්න කියලයි. ඒක යුරෝපා කවුන්සිලයේ බම්බු කමිටු ආවත් නැතත්, මේ රටේ පුරවැසි අයිතිය වෙනුවෙන් ආණ්ඩුව කරන්න ඕනෑ දෙයක්.

ඒත් මේ රටේ ආණ්ඩු හරිම ආසයි පුරවැසි අයිතීන් කඩන නීති පාවිච්චි කරමින්, මිනිසුන්ට වධ දෙන්න චාන්ස් එක ලැබෙන තරමට. විශේෂයෙන් ඔය පනත යටතේ තමයි හරියට වරදක් නොකරපු මිනිසුන් හිරේ දාලා තියාගෙන, උන්ට නඩුවකුත් දාන්නේ නැතිව මීඩියාවලින් ‘අහවලා මෙහෙම කළා, මෙච්චර දරුණු ත්‍රස්තවාදියෙක්’ කියලා කතන්දර ගොත ගොතා සිංහල මිනිසුන්ව බය කළේ. අධිකරණයට චෝදනා ඉදිරිපත් කරලා හරි ක්‍රමයට ඔය මිනිසුන්ට නඩු දැම්මා නම්, එයාලාට තියෙන චෝදනා ඔප්පු කරන්න වෙනවා. ඒත්, ඒ වෙනුවට අර පනත යටතේ දාගෙන නඩුවකුත් නැතිව කතන්දරේ ගොතන්න පුළුවන්.

ඒත් ඔය පනතෙන් ඇත්ත ත්‍රස්තවාදීන් පරද්දන්න විශේෂ ශක්තියක් ලැබුණද? පනත තිබුණ කාලයක් තිස්සේ කොළඹ පිපිරුණ බෝම්බ ගාණත්, නැතිවෙච්ච ජීවිත ගාණත් ගණන් කරන්න. පාස්කු ප්‍රහාරය ගැන හිතන්න.

ත්‍රස්තවාදය මඬින්න ඔය පනත නැතත් පුළුවන්. අර නවසීලන්තයේ පුංචි සැකයක් තිබ්බ කෙනෙක් අධිකරණයේ චෝදනා ඔප්පු කරගන්නත් බැරි වෙලා පවා මඬින්න ආණ්ඩුවට හැකි වුණා. පොරට බෝම්බයක් පුපුරවගන්න කටයුතු සංවිධානය කරගන්න බැරි වෙන තැනට ආරක්ෂක අංශ ඔහුව නිරීක්ෂණය කරගෙන හිටියා. අන්තිමේ, මිනිහට කරගන්න බැරි තැන සුපර්මාකට් එකකට පැනලා එතැන තිබ්බ කඩුවක් අරන් කිහිපදෙනෙක්ට කොටන්න ට්‍රයි කරන්න සිද්ධ වුණා. වහාම මිනිහාව මැඬලුවා.

ඉතින්, ඕවා කළේ මිනිස්සුන්ව හිතුමතේට හිරේ දාන්න නීති තිබිලා නෙවෙයි. හොඳට මානව හිමිකම් රකින නීති තිබිලා. මානව හිමිකම් සංවිධානවල ඉල්ලීම්වලට පවා ගරුත්වය දීලා.

ඒත් ලංකාවේ මොකද වුණේ? මාවනැල්ලේ බුදුපිළිම කැඩුවා, වනාතවිල්ලුවේ පුපරනද්‍රව්‍ය අහු වුණා, නැගෙනහිර පොලිස් නිලධාරීන් මැරුවා, කෑගල්ලේ මධ්‍යස්ථ මනුස්සයෙක්ට වෙඩි තිබ්බා. ඒ විතරක් නෙවෙයි සැකකරුවන්ගේ අයිඩෙන්ටි අංක එක්ක ප්‍රහාරය ගැන පූර්ව අනතුරු හැඟවීම් තිබුණා. ඔව්, ඕනෑ වෙලාවක ඇරෙස්ට් කරන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් තිබුණා.

ඔය ඔක්කොම තියෙද්දී තමයි සංවිධානාත්මකව පුපුරනද්‍රව්‍ය ප්‍රවාහනය කරලා, ලොකු කමියුනිකේෂන් එක්ක ස්ථාන ගණනාවක බෝම්බ ගැහුවේ.

ඉතින්, අන්තිමේ ගත්තාම මානව හිමිකම්වලට ගරු කරලා, මානව හිමිකම් තියෙන නීතිරීති රැකලා ත්‍රස්තවාදය පරදවන්න බැරිකමක් නෑ. අනෙක මිනිස්සුන්ගෙ අයිතීන් කඩන දරුණු නීති කොච්චර දැම්මත් අසාර්ථක රාජ්‍යයක ත්‍රස්තවාදය මඬින්නත් බෑ.

ඒ අනුව මේ වෙලාවේ හැබෑ දේශද්‍රෝහියෝ රටේ ඇත්ත තත්වය කියන අය නෙවෙයි. ඒ වෙනුවට වෙන්න යන දේ දැන දැනම බොරු හේතු හද හදා මානව හිමිකම් කඩන්න කැසකවන පාලකයන්.