එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරි සාරා හල්ටන් මෙරට මානව හිමිකම්වලට අදාල කාරණා ගණනාවක් පිළිබඳ අවධානය යොමු කරමින් විදේශ ඇමතිවරයා එක්ක කතා කරලා තිබුණා.
මේ වෙද්දී ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සිදු කරමින් තිබෙන විමර්ශනවලට අදාලවයි ඇය ඔය විදියට කතා කරලා තිබුණේ. ශ්‍රී ලංකාව ඉදිරියටත් මානව හිමිකම් කවුන්සිලය එක්ක කටයුතු කරන ආකාරය ගැන කතා කළාලු.
නෑ, පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකදී සිංහලෙන් විදේශ ඇමතිවරයා දාපු සිංහනාදය බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය ඉදිරියේ දාපු බවක් සඳහන් වෙන්නේ නෑ. මානව හිමිකම් කවුන්සිලයේ චෝදනා අසාධාරණයි, සාක්ෂි නිර්නාමිකයි, අපව විතරක් ඉලක් කරනවා වගේ කිසිදෙයක් කී බවක් විදේශ අමාත්‍යාංශ නිවේදනයේ නැහැ.
ඒ වෙනුවට අපේ රජය ගත්ත ‘දේශීය සංහිඳියා පියවරයන්’ හා සංවර්ධනය කිරීම සඳහා වූ මෑත කාලීන මුලපිරීම් ගැන කීවාලු. ජාතික සමගිය හා සංහිඳියාව, අතුරුදහන් වූවන්, වගවීම සහ වන්දි ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනවල කටයුතු විදේශ අමාත්‍යවරයා මෙහිදී තානාපතිවරිය වෙත පැහැදිලි කළාලු.
‘අනේ අපි මානව හිමිකම් රකිනවා.’ ඕක තමයි විදේශ ඇමතිවරයා කියපු දේවල්වල හරය බව පෙනෙන්නේ.
විදේශ ඇමති සහ සාරා හල්ටන් මහත්මිය අතර 29 වැනිදා පැවති හමුව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් මගින්ද ප්‍රසිද්ධ කර තිබුණා. එහිදී කොළඹ වරාය නගරය ඇතුළුව ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන කතා කරපු බව විදේශ අමාත්‍යාංශයේ නිවේදනයේ සඳහන් වුණා.
මෙම හමුවට කලින් අපේ විදේශ ඇමතිවරයා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ඇමතිවරයෙක් වන තාරික් අහමඩ් සාමිවරයා මුණගැහිලා තිබුණා. නිව්යෝක්වලදී මුණගැහුණු ඒ ඇමතිවරයා දකුණු ආසියාව, එක්සත් ජාතීන් සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ ඒ රටේ රාජ්‍ය ඇමතිවරයා. තාරික් අහමඩ් රාජ්‍ය ඇමතිවරයා එක්ක ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සම්බන්ධ කරගෙන කතාබහ කිරීම ගැනත් අදහස් හුවමාරු වුණාලුනේ.