එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනයට ලුතිනන් කර්නල් වරයෙක් අත්අඩංගුවට

තොටලඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් මහතා පැහැරගෙන ගොස් ඝාතනයකර මළ සිරුර කැලණි ගඟට විසිකිරීම සම්බන්ධයෙන් මෝදර හමුදා කදවුරේ එවකට සිටි අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයාද කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල ලුතිනන් කර්නල්වරයා මාසයකට ආසන්න කාලයක් යුද හමුදා පොලිස් භාරයේ රදවා ගෙන සිට ඇත. එහෙත් ඔහුව පොලිසියට භාරදෙන ලෙස පොලිසිය විවිධ අවස්තාවලදී හමුදාවෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව යුද හමුදා පොලීසිය කළ විමර්ශනයකින් අනතුරුව සැප්තැම්බර් 29 දින අදාල පුද්ගලයාව පොලීසියට භාරදී ඇත.

ඒ අනුව අකිල සම්පත්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට හමුදාවේ 14 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ලුතිනන් කර්නල්වරයාට අමතරව කපිතාන්වරයෙක් සහ කෝප්‍රල්වරයෙක්ද ඇත. ලුතින් කර්නල්වරයා හැරුණු කොට සෙසු හමුදා සාමාජිකයින් ගැමුණු හේවා බලකායේ බුද්ධි අංශ සාමාජිකයන් බව පොලීසිය පවසයි.

මෙම ඝාතනයට අත්අඩංගුවට ගෙන සිටින අය අතර ඝාතනයට ලක්වූ එල්ලේ ක්‍රීීඩකයාගේ බිරිදද ඇත.

මට්ටක්කුළිය සමිත්පුර ග්‍රාම නිලධාරිනිය වන ඇය හමුදාවේ කෝප්‍රල්වරයෙක් සමඟ ඇතිකරගෙන තිබුණු අනියම් සම්බන්ධයක් නිසා මෙම ඝාතනය සිදු කළා යැයි පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත.

අදාල සම්බන්ධය ගැන එල්ලේ ක්‍රීඩකයාට දැනගැනීමට ලැබීමත් සමග ඇතිවුණු ආරවුලකදී සිය බිරිද වූ ග්‍රාමසේවා නිලධාරිනියට ඒ සම්බන්ධයෙන් ඔහු තදින් අවවාදකර පහරදීමක් කර ඇති බවත් ඒ බව ඇය කෝප්‍රල්වරයාට පවසා තිබෙන බවත් පොලීසිය කියයි.

ඉන්පසුව පසුගිය අගෝස්තු 16 වෙනිදා මෙම ඝාතනය කර ඇතැයි පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත.

එල්ලේ ක්‍රීඩකයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී රාත්‍රී කාලයේදී හමුදාවේ කැබ් රථයකින් ඔහුව පැහැරගෙන මාදම්පිටිය සුසාන භූමිය ආසන්නයේ ඇති කසල අංගනයකට ඔහුව රැගෙන ගොස් පහරදී ඝාතනය කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

අනතුරුව වෙනත් හමුදා කැබ් රථයක් එතැනට ගෙන්වාගෙන මළ සිරුර සේදවත්තට රැගෙන ගොස් එතැනින් කැලණිගඟට විසිකර ඇතැයිද පොලිසීය පවසයි.

එම මළ සිරුර දින හතරකට පසු මෝදර කාකදූපත ආසන්නයේ ගොඩගසා ඇත.

එල්ලේ ක්‍රීඩකයාගේ යතුරු පැදිය මෝදර කදවුරට රැගෛන ගොස් කොටස් වලට ගලවා එම කොටස්ද කදවුරට පිටුපසින් කැලණිගඟට විසිකර ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. ඒ අනුව කිමිදුම් කරුවන් යොදා කළ මෙහෙයුමකින් එම යතුරු පැදියේ කොටස්ද සොයා ගෙන ඇත.

එල්ලේ ක්‍රීඩකයාව පැහැර ගැනීමටත් මළ සිරුර කැලණි ගඟට විසිකිරීමට රැගෙන යාමට යොදාගත් හමුදා කැබ් රථ දෙකද පොලිස් භාරයට ගෙන ඇත.