මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෝහාරික විගණනයට බියක් දක්වන බව අපි මුලින්ම නිරීක්ෂණය කළෙමු. බියට හේතුවද එතෙක් පැවති කරුණු මත පදනම්ව අප ලීවේ වෝහාරික විගණන වාර්තාව නිකුත් වෙන්නටත් පෙරය. ඒ කරුණු සනාථ කරමින්, අප අනුමාන කළාටත් වඩා කරුණු වෝහාරික වාර්තාවෙන් හෙළිවී ඇත. පසුගිය සතියේ අප කීවේ එයින් සංක්ෂිප්තයක් පමණි. ලංකාවේ සිටින අනෙකුත් සියලු මාධ්‍ය ආයතන වෝහාරික විගණන වාර්තාවෙහි කිසිවක් නැති සේ නිහඬව සිටියද, ඒවායේ ඇති කරුණු සාගරයේ කිමිදීමට අපි බලාපොරොත්තු වෙන්නෙමු. එම කරුණු ඇසුරින් බැඳුම්කර ගැන කතාකරන්නට බලාපොරොත්තු වන්නෙමු. ඒ අතරින් මේ සතියේ අවධානය යොමුකරන්නේ එක් නිශ්චිත ප්‍රධාන කාරණයක් කෙරෙහිය. ඒ 2002 සිට 2015 දක්වා ඍජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩුව ගැනය.
එලෙස ඍජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමෙන් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 104ක් බව අපි පසුගිය සතියේ ලීවෙමු. අප එලෙස පෙන්වාදී ඇත්තේ පළවැනි වෝහාරික වාර්තාවෙන් පෙන්වාදී ඇති පාඩු අතරින් එක් පාඩු ලැබීමක් ගැන පමණය. මහ බැංකුව ඒ කාලයේ ලබා ඇති සමස්ථ පාඩුව නොවේ. ඇතැමුන් ඒ සංඛ්‍යාව හා 2015න් පසු ලැබූ කෝටි 690ක පාඩුව සංසන්දනය කරන්නට උත්සාහ ගෙන ඇත. යහපාලන ආණ්ඩුවේ වසර ගණනෙන් කෝටි ගණන බෙදීමත්, රාජපක්ෂ ආණ්ඩුව සමයේ වසර ගණනින් කෝටි ගණන බෙදීමත් ඔවුන් කර ඇත. ඉන්පසුව, එක අවුරුද්දකට ලබා ඇති පාඩුව රාජපක්ෂ පාලන සමයේ අඩු බව කියා ඇත. එය අපූරු ගණන් හැදීමකි.
එහෙත් ඔවුන් නොදන්නේ අප පසුගිය සතියේ පුවත්පතෙන් පෙන්වාදී ඇත්තේ රාජපක්ෂ පාලන සමයේ ලබා, වෝහාරික විගණන වාර්තාවේ පෙන්වා ඇති පාඩු ලැබීම් අතරින් එක් පාඩු ලැබීමක් ගැන පමණක් බවය. එම කාලයේදී ලබා ඇති පාඩු එකතු කළහොත්, එය අති දැවැන්ත බව ඔවුන් දන්නේ නැත. මේ සටහන කියවද්දීම, එවැනි විවිධාකාර පාඩු ලැබීම් ගැන අවබෝධ කරගත හැකිවනු ඇත.
තවත් පිරිසක් කියන්නේ වෝහාරික විගණන වාර්තා වලින් රාජපක්ෂ යුගයේ වංචාවක් සිදුව ඇති බව සඳහන් නොකරන බවත්, පාඩුවක් ගැන පමණක් සඳහන් කරන බවත්ය. පාඩු ලැබීම ඕනෑම ව්‍යාපාරයකදී සිදුවිය හැකි බවත් ඔවුන් කියයි. ඒ තර්කය මොනතරම් දුරට පාඩු ලැබූ ගනුදෙනුවට අදාලද යන්න අප පරීක්ෂා කළ යුතුය.
ඒ කතාවේ එක පැත්තක් ඇත්තය. පාඩු ලැබීම ඕනෑම ආයතනයක සිදුවිය හැකිය. එහෙත් යම් ආයතනයක් පාඩු ලබනවානම්, විශේෂයෙන්ම වෝහාරික වාර්තාවෙන් පෙන්වාදී ඇති තරමේ මහා පාඩුවක් ලබනවානම් කරුණු දෙකකින් එකක් ඒ ආයතනයේ ලොක්කන්ට අදාල විය යුතුය. එක්කෝ මේ තරමට නැවත නැවතත් පාඩු ලබන ආයතනය පාලනය කරන්නේ අන්තිම අසාර්ථක, මැට්ටන් පිරිසක්ය. නැත්නම් ඒ ව්‍යාපාරය පාලනය කරන අය සිතා මතා සූක්ෂ්ම ලෙස පාඩු ලබනවා විය යුතුය. එසේ ආයතනය පාඩු ලැබීමෙන් ඔවුන්ට වෙනත් වාසි සැලසෙනවා විය යුතුය.
මෙහෙයුම් අත්පොත
මහ බැංකුව පාලනය කරන්නේ මුදල් මණ්ඩලයෙනි. මහ බැංකු අධිපතිවරයා, නියෝජ්‍ය අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මුදල් මණ්ඩලයෙහි කටයුතු කරයි.
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව යනු මහ බැංකුව යටතේ ඇති දෙපාර්තමේන්තුවකි. රජයේ සුරැකුම්පත් වන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන්නේ එම දෙපාර්තමේන්තුවෙන්ය.
බැඳුම්කර නිකුත් කළ යුත්තේ කෙසේද කියා සඳහන් වන මුදල් මණ්ඩලයෙන් අනුමත කළ විධිමත් උපදෙස් මාලාවක් නැති බව මීට පෙර සිටම පැහැදිළිව පෙන්වාදී ඇත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අත්පොතේ පමණක් බැඳුම්කර නිකුත් කිරීම ගැන උපදෙස් තිබී ඇත. එම මෙහෙයුම් අත්පොතට නිසි අනුමැතිය ලැබී නැත. එමෙන්ම එම අත්පොත වාර්ෂිකව සංස්කරණය වී ඇත. එසේ සංස්කරණය වූ පිටපත් මුදල් මණ්ඩලයේ අනුමැතියට ලක් කර නැත. බැඳුම්කර නිකුත් වීමේදී වංචා සහගත වෙන්නට මහ බැංකුවේ ලොක්කන්ට හැකිව තිබෙන්නේ එම අඩුපාඩුව නිසාය. ඒ අනුව පැහැදිළි වන්නේ බැඳුම්කර නිකුත් කිරීමට අදාලව නිසි ක්‍රමවේදයක්ද නැති බවය.
විශේෂයෙන්ම මීට පෙර ලංකාවේ විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වාදී තිබුණේ එම මෙහෙයුම් අත්පොතේ පවා ඍජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන ප්‍රමාණවත් තරමට උපදෙස් නැති බවය. එනම්, ප්‍රමාණවත් තරම් ක්‍රමවේදයක් නැති බවය. වෙන්දේසි ක්‍රමයට අදාලව ක්‍රමවේද ඇති බවය. රාජපක්ෂ පාලන සමයේදී නිසි උපදෙස් මාලාවක් නැති, ඍජු ක්‍රමය වැඩිපුර පාවිච්චි කිරීම ගැන අප පුදුම විය යුතු නැත. ඒ ඔවුන්ගේ හැටිය.
2002 සිට 2015 මුල දක්වා ඍජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කළ අවස්ථා 4,670 කි. ඒ අතරින් අවස්ථා 4,504ක්ම 2005 ජනවාරි 1 වැනිදා සිට 2015 පෙබරවාරි දක්වා කාලසීමාවේදී සිදුව ඇත. ඒ නිසා එම ඍජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් අතරින් අති බහුතරය මහින්ද රාපජක්ෂ ආණ්ඩුව සමයේදී සිදුකර තිබේ.
ඍජු හා වෙන්දේසි
බැඳුම්කර ගැන කතාකරන සෑම මොහොතකම අපි මේ කරුණ ගැන පැහැදිළි කරන්නෙමු. ඒ මෙම කරුණ ගැන නොදන්නා හෝ අපැහැදිළි කෙනෙකුට තේරුම් ගැනීමේ පහසුව සඳහාය. බැඳුම්කර නිකුත් කිරීමට ඍජු හා වෙන්දේසි ක්‍රම යනුවෙන් ක්‍රම දෙකක් පාවිච්චි කරයි.
බැඳුම්කර ලබාගැනීම සඳහා ප්‍රාථමික ගැනුම්කරුවන් යැයි හඳුන්වන පිරිසක්ද සිටී. ඕනෑ කෙනෙකුට බැඳුම්කර නිකුත් කරන්නේ නැත. බැඳුම්කර යනු ශ්‍රී ලංකා රජය සතු මුදල් සංකේතවත් කරන සුරැකුම්පත්ය. ඒ නිසා ඒවා නිකුත් කරන්නේ පිළිගත හැකි ආයතනවලටය. මහ බැංකුවෙන් බැඳුම්කර මිලදී ගැනීමට සුදුසු යැයි විධිමත්ව තෝරාගත් පිරිසකට ප්‍රාථමික ගැනුම්කරුවන් යැයි කියනු ලැබේ.
මේ ප්‍රාථමික ගැනුම්කරුවන්ද දෙවර්ගයකි. කැප්ටිව් සෝසස් හෙවත්, මහ බැංකුවේ පාලනය යටතේ ඇති පාලිත මූලාශ්‍ර ඉන් එක් පිරිසකි. ඊපීඑෆ් ආයතනය, රජයේ බැංකු ආදිය පාලිත මූලාශ්‍රය. ඒවා පාලනය වෙන්නේත් රජය යටතේය. අනෙක් ඒවා පෞද්ගලික ආයතන වේ.
අප කලින් කී ඍජු ක්‍රමය හා වෙන්දේසි ක්‍රමය යන ක්‍රම දෙක පාවිච්චි කරද්දී පාලිත මූලාශ්‍ර හා එසේ නොවන ප්‍රාථමික ගැනුම්කරුවන් ගැනත් තේරුම්ගත යුතුය. රජයම නොවන පෞද්ගලික අංශයේ ගැනුම්කරුවන් වැදගත් වෙන්නේ වෙන්දේසි වලදීය. බැඳුම්කර වල මුහුණත අගය හා ඵලදා අනුපාතිකය පවත්වාගෙන යෑමට වෙන්දේසි පැවැත්වීම වැදගත් වෙයි.
වෙන්දේසි ක්‍රමය පමණක් පැවතීම ප්‍රමාණවත් නැත.
වෙන්දේසියක් පවත්වන්නේ නැතිව, කෙලින්ම ප්‍රාථමික ගැනුම්කරුවෙක් සමඟ කතාබහ කොට, අනෙක් අයට දැනුම් නොදී ඒ කෙනාට බැඳුම්කර අලෙවි කිරීම සිදුකළ හැකිය. එවැනි අවස්ථා සඳහා උදාහරණ ඇත. රජයට හදිසියේ මුදල් අවශ්‍යතා ඇතිවිය හැකිය. එවැනි මොහොතක වෙන්දේසියක් පැවැත්වීම වෙනුවට ඍජුවම බැඳුම්කර නිකුත් කළ හැකිය. එහෙත් එම ඍජු ක්‍රමය විනිවිදිභාවයෙන් අඩු ක්‍රමයකි.
පිළිගත් ක්‍රමය අනුව ඍජු ක්‍රමයට බැඳුම්කර නිකුත් කරන්නේ පාලිත මූලාශ්‍ර වෙතය. ඍජු ක්‍රමයට අනුව බැඳුම්කර නිකුත් කරද්දී, මුහුණත අගය හා ඵලදා අනුපාතිකය තීන්දු කරන්නට වෙන්නේ මිලදී ගන්නා කෙනා සහ විකුණන කෙනා අතරය. එලෙස මිල තීරණය කරද්දී මිලදී ගන්නා කෙනාට වාසියක් සලසන්නට එකඟ වුණොත්, විකුණන අයට ඒ ලාභයෙන් කොටසක් කඩාගන්නට පුලුවන්ය. එහෙත් ඊපීඑෆ් වැනි ආයතනයකට බැඳුම්කර නිකුත් කළොත් එහි විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නයක් නැත. රජයේ මුදල් අවශ්‍යතාවයත් සපිරෙයි.
එහෙත්, මුදල් මණ්ඩලයේ නිසි අවසරයක් නැතිවම. 2008 පෙබරවාරි මාසයේ සිට ඍජු ක්‍රමයට, පෞද්ගලික අංශයේ ගැනුම්කරුවන්ට බැඳුම්කර නිකුත් කර ඇත. එසේ පෞද්ගලික අංශයට බැඳුම්කර නිකුත් කිරීම ගැන මුදල් මණ්ඩලය කිසිදා ප්‍රශ්න කර නැත. මෙය ඉබේ ලැබුණු පාඩුවක් නොවන බව පෙන්වන්නට පළවැනි හේතුව එයයි.
2020.02.02