හාල් ගැසට් ටොයිලට් පේපර් වුණේ ඇයි? පැය දෙකක් කැබිනට් එකේ කතාලු!

සහල් පාලන මිල ගැසට් එක අකුලාගන්න කැබිනට් මණ්ඩලය තීන්දු කරලා. දැන් කාලෙ ගැසට් නිකං බූරු ඇඳවල් වගේ කියා කවුදෝ ලියා තිබුණා. දිගහරින, අකුලන හින්දා.

ඒත්, ඇත්තටම ඒවා ටොයිලට් පේපර් වගේ. දිගාරිනවා, පස්ස පිහදානවා, පෝච්චියට දාලා වතුර ගහනවා.

මෙතැන වැඩේ තමයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විදියට නිවුන්හැල්ල මහත්තයා දාගෙන හාල් මෝල් වටලලා, දැවැන්ත මාධ්‍ය සංදර්ශන දාලා තමයි උපරිම සහල් මිලක් නියම කරලා ගැසට් එකක් ගැහුවේ. ගහලා මාසයක් යද්දී මේ ගැසට් එකත් අහෝසියි. මේ විදියට මිල පාලනයට ගහපු කීවැනි ගැසට් එකද කියලා හිතාගන්නත් බෑ.

සහල් මෝල් හිමියන්ට මේ කියන මිලට විකුණන්න බැරි වුණා විතරක් නෙවෙයි, ආණ්ඩුවෙන් දාපු වී මිලදී ගන්න මිලට ගොවියන්ගෙන් වී ගන්නත් බැරි වුණා. ආණ්ඩුව කියන ගාණට වී දුන්නොත් ඉඳල හමාරයි කියලා ගොවීන් කිව්වා. මෝල් හිමියන් වැඩි මිලක් දීලා වී ගන්නවා. ඒත්, ඊට පස්සේ ඔවුන් හාල් විකුණන්නේ වැඩි මිලට.

මේ මිල ඉහළ යෑමේ සම්පූර්ණ අර්බුදය පිටිපස්සේ තියෙන්නේ මෝල් හිමියන්ගේ අවුලක්ම නෙවෙයි. ලංකාවේ ආර්ථික අර්බුදය තමයි ප්‍රශ්නය.

සැප්තැම්බර් 27 වැනිදා හැන්දෑවේ තිබුණ කැබිනට් රැස්වීමේදී ගත්ත තීන්දුව එදා රෑ මාධ්‍යවලට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා දැනුම් දීලා තිබුණා.

කෘත්‍රිම විදියට හාල් මිල ඉහළ යෑම වළක්වන්න ආරක්ෂිත හාල් තොගයක් විදියට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්නත් අවසර ලැබුණාලු.

මේ ගැන රෑ ට්වීට් එකක් දාපු හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මතක් කරලා තිබුණේ වෙළඳපොල නීති දාලා, තහංචි දාලා පාලනය කරන්න බැරි බව. වෙළඳපොල කියන්නේ හමුදා නිල ඇඳුමට බය වෙන ‘චරිතයක්’ නෙවෙයි. වෙළඳපොල ඇතුළේ ‘මිනිස්සු’ ඉන්න බව ඇත්ත. ඒත් වෙළඳපොළ පාලනය වෙන්නේ ඒ මිනිස්සු කැමති හැටියටවත්, මිනිසුන්ට තග දැම්මාම බය වෙන හැටියටවත් නෙවෙයි. මාෆියා තියෙන බව ඇත්තක්. ඒත්, මේ විදියේ නීතිවලින් ඒ මාෆියා මඬින්න බෑ.

ආණ්ඩුව මේක කලින් විශේෂඥයන් පෙනුණත් චණ්ඩි පුතාලා වගේ තීන්දු ගන්නයි ට්‍රයි කළේ. දැන් අමාරු ක්‍රමේට ඔවුන් පාඩම ඉගෙනගෙන.

මේ වෙද්දී කිරිපිටි, පාන් පිටි, ගෑස් සහ සිමෙන්ති මිල වැඩි කරන්න ඉල්ලීම් තිබුණත්, ඒ ගැන කැබිනට් එකේ කතා කිරීමෙන් පස්සේ තීන්දු කළේ ඒවා මිල වැඩි නොකර ඉන්නලු. අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් තිබුණ කැබිනට් සාකච්ඡාවේ මේ ගැන පැය දෙකක් තිස්සේ කතා කළාලු.