“තොරතුරු පනත රැකගැනීම මේ ආණ්ඩුවේ සදාචාරාත්මක වගකීමක් ” – නීතිඥ ජගත් ලියනාරච්චි

තොරතුරුවලට ප්‍රවේශ වීමේ ජාත්‍යන්තර දිනය අද(28)යි. එහෙත් එම සැමරුම පවා අපට කරන්නට සිදුව තිබෙන්නේ තොරතුරු සංස්කෘතිය පෝෂණයට අත්වැලක් විය යුතු දේශපාලන විධායකයට එය නයාට අඳුකොල බඳු වූ පසුබිමකය. නීතිඥ ජගත් ලියනාරච්චි මහතා සමග මේ අවිධිමත් කතාබහ විජයගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා වූ තොරතුරු සංස්කෘතියේ විකාශනය ගැනය.  

තොරතුරු සංස්කෘතියේ ලාංකික ඉතිහාසය ගැන පොඩි හැඳින්වීමකින් කතාව පටන්ගත්තොත්?  

රජකාලේ අවම සන්නිවේදන තාක්ෂණයක් යටතේ වුණත් ජනතාවට රජයේ පණිවිඩ ලබාදෙන්න යම් යම් උපක්‍රම පාවිච්චි කරලා තිබෙනවා. සෙල්ලිපි, ටැම් ලිපි, අණබෙරකරුවන් ආදී විදියට. හැබැයි රජයට අවශ්‍ය තොරතුරු. එහෙම නැතිව මිනිසුන්ට රජයෙන් ලබාගන්න අවශ්‍ය තොරතුරු නෙවෙයි. උදාහරණයක් විදියට ගමකට පාලකයෙක් පත්කරා කියමු. ඒ පත්කිරීම කළේ මොන සුදුසුකම මතද කියල ප්‍රශ්න කරන්න මිනිස්සුන්ට අයිතියක් තිබුණේ නෑ. ඊටපස්සෙ බි්‍රතාන්‍ය අපව පාලනය කළේ යටත්විජිතයක් විදියටනෙ. ඔවුන් ඒක කළේ බොහොම පරෙස්සමින්. ඇතැම් තොරතුරු ලබාදීම මගින් පාලනයට ප්‍රශ්නයක් වේවි කියන අදහසක ඔවුන් හිටියා. ඒත් පළාත් පාලන ආයතන වැනි ආයතනවල තොරතුරු ජනතාවට ලබාගන්න ක්‍රම ඇති කළා. ගැසට්පත්‍ර වුණත් පටන්ගත්තෙ ඔවුන්නෙ. නීති, රෙගුලාසි, ආණ්ඩු නිවේදන ආදිය එලියට ආවත් ජනතාවට තොරතුරු දෙන්න ඒ තරම් බරතැබීමක් වුණේ නෑ. ඒකට හේතුවක් තිබුණා. ඒ තමයි බි්‍රතාන්‍ය නිලධාරින්ගේ වගවීම තිබුණේ ජනතාවට නෙවෙයි. කිරීටයට. එතකොට මේක ජනරජයක් නෙවෙයිනෙ. හැබැයි ගම්කාර්ය සභා වැනි පළාත් පාලන ආයතනවල අයවැය බලන්න ජනතාවට අයිතියක් තිබුණා. අයවැය සම්මත කරන්න කලින් ප්‍රසිද්ධ කළ යුතු යැයි 1930 තරම් ඈත කාලයේම රීති මගින් අනිවාර්ය කර තිබුණා. 1948 දි නිදහස ලැබුණත් පරිපාලන තන්ත්‍රයේ වූ යටත්විජිත ඌරුව නිසා ලොකු වෙනසක් වුණේ නෑ.

1972 දී ජනරජයක් වෙලත් තොරතුරු හා ප්‍රජාතන්ත්‍රවාදය අතරේ සම්බන්ධය ගැන ලොකු සාකච්ඡාවක් ඇතිවුණේ නෑ. එතැන ඉඳලාත් තවත් දශක දෙකක් විතර ඊට කාලය වැයවුණේ ඇයි?

මම හිතන්නේ ඒකට හේතුව යටත්විජිත කච්චේරි ආකෘතිය කියලා. ඒකෙදි පුරවැසියන්ට වුණත් පුරවැසිභාවය ගැන ශක්තිමත් හැඟීමක් නෑ. නිලධාරින්ට වැටුප් ලැබෙන්නේ මහජන බදු මුදලින් කියන ඒ හැඟීම තිබුණේ නෑනෙ. උදාහරණයකට දොස්තර මහත්තයා හිතුවේ ඉස්පිරිතාලේ බෙහෙත් නොමිලේ දෙනවාය එහෙම නොමිලේ දෙන බෙහෙත් ටික මිනිස්සු යටත් වෙලා පහත් වෙලා වැඳගෙන ගන්න ඕනෑ කියලා. එතකොට ඒ ඉස්පිරිතාලෙම නඩත්තු වෙන්නේ මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් කියලා දොස්තර මහත්තයට හැඟීමක් තිබුණේ නෑ. තමන් ගන්න වැටුප වගේම නොමිලේ දෙනවාය කියන බෙහෙත් පෙත්ත මහජන බදු මුදලින් නිර්මාණය වූවක් බව ඔවුන් මුල්කාලයේ හිතුවේ නෑ.

එතකොට තොරතුරු දැනගැනීම මහජන අයිතියක් යන සාකච්ඡාව විධිමත් විදියට පටන්ගත්තෙ කොයි කාලේ වගේද?

මේ විධිමත් සාකච්ඡාව ආරම්භ වෙන්නේ 1994 දේශපාලන බල පෙරලියට එකතු වෙච්ච කණ්ඩායම් නිසයි. මාධ්‍ය සංවිධාන හා නීතිඥයන් තොරතුරු අයිතිය අවශ්‍යයි කියපු අය අතරේ ප්‍රමුඛ වුණා. විශේෂයෙන්ම බල පෙරලියේ ප්‍රබල සටන් පාඨයක් වූ දූෂණවිරෝධයේ ප්‍රධාන සාධකයක් බවට තොරතුරු අයිතිය පත්වෙනවා. ඒකෙ ප්‍රතිඵලය වුණේ කුමාරණතුංග ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමැති ධර්මසිරි සේනානායක ලංකාවේ තොරතුරු අයිතිය තිබිය යුතු බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කිරීම. හැබැයි ඒකෙ තිබුණේ ජනමාධ්‍ය නිදහස කියන එක. ඒ නිසා ඒ කාලේ රයිට් ටු ඉන්ෆොමේෂන් නෙවෙයි ප්‍රචලිත වුණේ. ෆ්‍රීඩම් ඔෆ් ඉන්ෆොමේෂන්. තොරතුරු නිදහස. ඊටපස්සෙ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ලබාගන්න ජනමාධ්‍ය ඇමැතිවරයා ආර්.කේ.ඩබ්ලිව්.ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. තොරතුරු නිදහසට අදාළව පනතක් ගේන්න කියන එක එහි එක නිර්දේශයක්. එහි මූලික රාමුවත් එහි සඳහන් වුණා. හැබැයි ඊටපස්සේ ආණ්ඩුවට ඒ ගැන උනන්දුවක් තිබුණේ නෑ. ඉන්පසුව 2002 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, කර්තෘ සංසදය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එකතු වෙලත් පනතක් හැදුවා. ඒක අගමැති රනිල් වික්‍රමසිංහට දුන්නාම ඔහු කැබිනට් එකට දාලා 2003 සම්මත කළා. ඔහු කැබිනට්ටුවට ඉදිරිපත් කළේ සංශෝධනයක් සහිතව. නමුත් 2004දි පාර්ලිමේන්තුව විසිරෙව්ව නිසා ඒක ගේන්නත් බැරි වුණා.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදි උත්සාහ කළේ නැද්ද?

මහින්ද රාජපක්ෂ මහතාත් යම් යම් තැන්වලදී දෙවැනි ධුර කාලයේදී තොරතුරු අයිතිය ලබාදෙන්නන් කියල සඳහන් කර තිබුණා. මොකද කුමාරණතුංග ආණ්ඩුව සමයේ ඒ ගැන වූ උනන්දුව ගැන ඔහුට දැනුමක් තිබුණා. ඇත්තටම ලෝක උදාහරණ ඇසුරෙන් ඔහුගේ පොරොන්දුව අපට තේරුම්ගන්න පු`ඵවන්. සාමාන්‍යයෙන් යුරෝපය වේවා ආසියාව වේවා ඕනෑම ආණ්ඩුවක් ආසන්න වාර දෙකක් වගේ බලය හොබවනවනෙ. ගොඩක් ආණ්ඩු තොරතුරු අයිතිය දෙන්නේ මේ දෙවැනි නිල කාලයේදි. ඒකෙත් අන්තිම කාලයේදි. මොකද ආණ්ඩුවලට අන්තිම අවාසි අයිතියක්නෙ මේක. හැබැයි එහෙම කිව්වට එයා ඒක කළේ නෑ. දවසක් ජනමාධ්‍යවේදීන් සමග වූ සාකච්ඡාවකදී මේ ගැන ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඇහුවා. එතකොට ඔහුගේ පිළිතුර වෙලා තිබුණේ “ තොරතුරු ගන්න පනත් ඕන නෑ. ඕගොල්ල මගෙන් අහන්න. මම කියන්නම් ”කියන එක. ඒක තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තොරතුරු දැනගැනීම සම්බන්ධයෙන් තිබුණු ආකල්පය. තොරතුරු යනු ඔවුන් ප්‍රකාශ කරන දේ. විශේෂයෙන් මෙහිදී මතක් කළ යුතුයි. මේ තත්ත්වය තුළ පවා කරු ජයසූරිය මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට තොරතුරු පනතක් ගේන්න විශාල පරිශ්‍රමයක් දැරුවා. ඒත් ඒකට එවක ආණ්ඩුව සහාය දුන්නේ නෑ.

එහෙම නම් යහපාලන ආණ්ඩුව තමන්ගෙ පළමු නිල කාලයේදීම ඒක දුන්නේ?

එහෙමම දුන්නා කියන්නත් බෑ. ඒකට ලොකු සමාජ බලපෑමක් තිබුණා. සමාජයත් එකතු වෙලා දින වකවානු ඇතුළත් පොරොන්දු පත්‍රයක් තිබුණානෙ. ඒ නිසා ආණ්ඩුවටම ක්‍රෙඩිට් එක දෙන්නත් ඕන නෑ.

එහෙම බැලුවාම ඒක හුදු ආණ්ඩුවක පොරොන්දුවකට වඩා ලංකාවෙ දේශපාලන සංස්කෘතියේ සතුටුදායක පරිවර්තනයක් කීම නිවැරැදිද?

අනිවාර්යෙන්ම. විශාල වෙනසක්. නිලධාරින් හා පුරවැසියා අතරත් පුරවැසියන් හා දේශපාලකයන් අතරත් නිලධාරින් හා දේශපාලකයන් අතරත් සම්බන්ධයේ උඩුයටිකුරුවීමක් මෙමගින් සිදුවුණා. කිසියම් ආකාරයකට සබඳතා යළි සකස්කිරීමක් වැනි දෙයක් මෙමගින් වුණා. සරලව කිව්වොත් ඉස්සර දේශපාලකයන් කියන කියන දේ කරපු නිලධාරින් “සර් ඕක කළොත් ආර්.ටී.අයි දාලා මිනිස්සු ප්‍රශ්න කරාවි” කියල කියන්න පටන්ගත්තා.

තොරතුරු දැනගැනීමේ පනත නීතිගත වූ දවසේ සිට අද දක්වා කාලය ඔබ දකින්නේ කොහොමද?

ඇත්තටම ලංකාවේ තොරතුරු පනත ගේන වෙලාවේ සිවිල් සංවිධාන හැටියට අපි හිතුවේ මේක ක්‍රියාත්මක වෙද්දි දේශපාලකයන්ගෙන් හා රාජ්‍ය නිලධාරින්ගෙන් විශාල විරෝධයක් ඒවි කියලා. හැබැයි වාසනාවකට එහෙම වුණේ නෑ. විපක්ෂය කොහොමත් සපෝට්. ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු වුණත් ආර්.ටී.අයි සංස්කෘතිය ප්‍රවර්ධනය තමන්ගේ කාර්යක් විදියට සැලකුවා. සාමාන්‍යයෙන් තොරතුරු පනතක් ගෙනෙද්දි ඒක මු`ඵමනින් සක්‍රීයවීම සඳහා පනතින්ම යම් සංක්‍රාන්ති කාලයක් තිබෙනවා. ලංකාවේ මාස හයක් වැනි කෙටි කාලයක් තිබුණේ. ඒත් ඉන්දියාව ගත්තොත් තොරතුරු සංස්කෘතිය ගැන විශාල උනන්දුවක් ඇති ජනසමාජයක් වෙලත් ඒ සඳහා අවුරුද්දක් ගත්තා. එතකොට 2015 අගෝස්තු 04 වැනිදා අස්සන් කරපු පනතට 2016 පෙබරවාරි 03 වැනිදා වනවිට මු`ඵමනින් බලාත්මක වෙන විදියට ගැසට් එක ගැහුවා.

රජය ගත්ත ඒ තීරණය හරිම අභියෝගාත්මකයි. පනතේ පොදු අධිකාරින් වර්ග ගණනාවක් තිබුණා. සාමාන්‍යයෙන් මාස හයක කාලයේදී ගැසට් කරන්නේ ඒ වර්ග අතරින් කීපයක් වුණත් යහපාලන රජය ඒ සියල්ල එකවර ගැසට් කළා. හැබැයි නිලධාරිනුත් ඒ අභියෝගය බාරගත්තා. හැම අමාත්‍යාංශයක්ම දෙපාර්තමේන්තුවක්ම වගේ තමන්ගෙ කණ්ඩායම් පුහුණු කිරීම සඳහා විශාල මහන්සියක් ගත්ත බව මම දැක්කා. තොරතුරු කොමිසම ප්‍රමුඛව පනත බලාත්මක කිරීමේ ආයතනය ජනමාධ්‍ය අමාත්‍යාංශයනෙ. ඒත් රජයේ අනෙක් අංශ ඒ ආයතන දෙක ක්‍රියාත්මක වනතුරු බලාගෙන සිටියේ නෑ. ඔවුන් ඒවාට වෙනම සැලසුම් හදාගත්තා. ඒක මම දකින්නේ ලංකාවේ තිබුණු සුවිශේෂී තත්ත්වයක්. ඕනෑ නම් ඒ අයට අමාත්‍යාංශය හෝ කොමිසම නිලධාරින්ව පුහුණු කරාවි කියල හිතල පැත්තකට වෙලා ඉන්න තිබුණානෙ. එහෙම වුණේ නෑ. මම උදාහරණයක් කියන්නම්. ගැසට් එකට අනුව පොදු අධිකාරින් තොරතුරු දැනගැනීමට අදාළව මහජනයාට ප්‍රසිද්ධ කළ යුතු දැන්වීමක් තිබුණා. ගැසට් එක ගැහුවෙ සෙනසුරාදා දවසක. සඳුදා උදේ ෆේස්බුක් එකේ මාතර නාගරික කොමසාරිස් දාලා තිබුණා මාතර මහ නගර සභාව ඔබට තොරතුරු ලබාදීමට සූදානම් කියල පෝස්ට් එකක්.

තොරතුරු දැනගැනීමේ අයිතියට අදාළ යාන්ත්‍රණයේදී රාජ්‍ය නිලධාරින් සමග ක්‍රියාකිරීමෙන් පුහුණු කිරීමෙන් අත්දැකීම් ඇති ඔබ රාජ්‍ය නිලධාරින් ඊට දැක් වූ අනුකූලතාව විස්තර කරන්නේ කොහොමද?

මම හිතන්නේ නිලධාරින් තොරතුරු පනත ආකාර දෙකකින් වාසිසහගත බව දැක්කා. එකක් තමයි දේශපාලකයන්ගේ අනවශ්‍ය බලපෑම්වලින් මිදෙන්න හොඳ මාර්ගයක් විදියට. තොරතුරු පනත යටතේ මිනිසුන් තොරතුරු ඉල්ලුවොත් තමන්ට ඒවා දෙන්න සිද්ධවෙනවා කියල දේශපාලකයන්ගෙන් හා ඔවුන්ගේ කාර්යමණ්ඩලවලින් ආපු බලපෑම්වලින් නිලධාරින් මිදෙන හැටි මම දැකලා තිබෙනවා. දෙවැනි වාසිය වුණේ තමන්ට අනවශ්‍ය ලෙස කරන සේවාමාරුකිරීම්, වැටුප් වර්ධක ලබා නොදීම් ආදී අයුක්තිසහගත ක්‍රියාවලදී නිලධාරින්ට පවා මේ තොරතුරු දැනගැනීමේ පනතින් පිහිටක් ලබාගැනීමට හැකිවීම.

රාජ්‍ය නිලධාරින්ට තොරතුරු පනත පිහිට වූ අවස්ථා සහ ඒ පරිසරය ගැන කතා කළොත්?

මීට වසර කීපයකට කලින් සහකාර පොලිස් අධිකාරිවරුන් පිරිසකට පත්වීම් ලැබුණේ මේ තොරතුරු දැනගැනීමේ පනතට පිංසිද්ධ වෙන්න. ඒ අයගෙ නඩුව ජීවිතේට ගෙනියන්න වෙන්නේ නෑ ආර්.ටී.අයි තිබුණේ නැත්නම්. ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තමන්ගෙ සම්මුඛ සාකච්ඡාවේ ලකුණු තමයි අධිකරණයේදී සාක්ෂි විදියට පාවිච්චි කළේ. පොලිස් කොමිසමෙන් ඒ ලකුණු ලබාගත්තේ තොරතුරු පනතින්. එක්තරා හමුදා නිලධාරිනියකට වූ බලපෑම් කිරීමට අදාළ විමර්ශන වාර්තාව ලබාගත්තේ මේ පනතින්. මේ වගේ රාජ්‍ය නිලධාරින් රැසකට පිහිට වූ පනතක් බවට මේක පත්වුණා. මේ නිසාම විමර්ශන කරනවා කියල බොරුවට ඉන්නේ නැතිව ඇත්තටම ඒවා කරන තැනට අදාළ අංශත් පත්වුණා.

ඇත්තටම මැද හා පහළ මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරින් තොරතුරු පනතට හරිම කැමැතියි. ඒ වගේම මේ නිලධාරිනුත් වෘත්තිය භූමිකාවෙන් එළියෙදි නැවතත් පුරවැසියන්. ඔවුන්ට තමන්ගෙ දරුවාට පාසලක් ලබාගැනීම වැනි එදිනෙදා කටයුතුවලදීත් විශාල වාසියක් වුණා. තොරතුරු කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2017 දී කිව්වේ වැඩිපුරම තොරතුරු අයැදුම් කරන්නේ රාජ්‍ය නිලධාරින් කියලා. ඒ කාලේ මාස හයකට වරක් සෑම පළාතකම තොරතුරු නිලධාරින් සමග සාකච්ඡා කරන පුහුණු වැඩසටහනක් තිබුණා. 2018 මැදභාගය වනතුරු ඒක කෙරුණා. ඒකෙදි ඔවුනුත් මේ කතාව කිව්වා. මේකට ප්‍රධාන හේතුව වුණේ සාමාන්‍ය පුරවැසියන්ට වඩා තොරතුරු පනත ගැන රාජ්‍ය නිලධාරින් දැනුවත්වීම. පුරවැසියන් මේ ගැන උනන්දුවකින් කටයුතු කළත් තොරතුරු අයැදුමක් නිවැරැදිව සිදුකිරීමේ තාක්ෂණික දැනුම රාජ්‍ය නිලධාරින්ට වැඩිපුර තිබීම වාසියක් වුණා. සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය කරන දැනුවත්කිරීම් එක්ක දැන් නම් පුරවැසියනුත් විශාල වශයෙන් මේ තාක්ෂණය ගැන අවබෝධයෙන් ඇති කියල මම හිතනවා.

වර්තමාන ආණ්ඩුවේ දේශපාලන තන්ත්‍රය තොරතුරු ලබාගැනීම හා හෙළිකිරීම සම්බන්ධයෙන් බොහොම පසුගාමී විදියට ප්‍රතිචාර දක්වන ආකාරයක් අපට දකින්න පු`ඵවන්. මේ පරිසරයෙහි තොරතුරු අයිතිය භාවිත කිරීම සම්බන්ධයෙන් සමකාලීන ජනමාධ්‍ය හා පුරවැසි සමාජය ගැන ඔබට ඇති විවේචනය කෙබඳුද?

මට තිබෙන්නේ මිශ්‍ර හැඟීමක්. ඇතැම් ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදීන් පවා තොරතුරු පනත පාවිච්චි කරන ආකාරය අපි දකිනවා. අපට නම් පනත නැතිව වුණත් තොරතුරු ගන්න පු`ඵවන් කියන අදහසේ හිටපු ජ්‍යෙෂ්ඨයන් හිටියා. ඒ වගේම ඔය තොරතුරු පනත නිසා ගන්න තොරතුරු ටිකත් නැතිවේවි යැයි ප්‍රසිද්ධියේ කියපු ජ්‍යෙෂ්ඨයන් හිටියා. අද ඔවුන් පවා මේ පනත භාවිත කරලා සාර්ථක ලෙස මාධ්‍යකරණයේ යෙදෙනවා. ඒක හොඳ දෙයක්. හැබැයි මේ පනත වැඩිපුරම භාවිත කරන බව පෙනෙන්නේ තරුණ මාධ්‍යවේදීන්. ඒ නිසා ලංකාවේ තොරතුරු පනතේ අනාගතය හොඳ වේවි කියල මම විශ්වාස කරනවා.

ආණ්ඩු වෙනස සමග තොරතුරු පනත ගැන පොදු සමාජයේ දුර්මුඛවීමක් දකිනවාද?

මෙහෙමයි. ආණ්ඩුව මාරුවීම සමග පනත අහෝසිවෙලාද වැනි අදහස් තිබෙනවා. සමහර අය ප්‍රසිද්ධ සංවාදවලදි අහලම තිබෙනවා. සමහරු කියනවා 20 වැනි සංශෝධනයෙන් පසුව තොරතුරු දැනගැනීමේ අයිතියත් අහෝසියි කියල කියපු නිලධාරින් ඉන්නවලු. ඒ නිලධාරියා නොදන්නාකමට කිව්වද එහෙම නැත්තන් පුරවැසියාව නොමග යවන්න කිව්වද කියල මම දන්නේ නෑ. කොහොම වුණත් තොරතුරු අයැදුම්කරුවන් සමග තිබෙන සමීප සම්බන්ධය තුළ මට එක නිරීක්ෂණයක් තිබෙනවා. 2020න් පසුව ඇතැම් තැන්වල තොරතුරු ප්‍රදානයේදී ලොකු උනන්දුවක් නෑ. ඒකට හේතුව ආණ්ඩු මාරුවද කොරෝනා වසංගතයද කියල හරි පැහැදිලිකමක් නෑ. මොකද මෙවැනි වසංගත සමයක කාර්යමණ්ඩල ප්‍රශ්න වැනි කාරණා සමග එවැනි තත්ත්වයක් වෙන්න පු`ඵවන්නේ.

තොරතුරු පනතේ අනාගතය ගැන මොකද හිතන්නේ?

නරකක් වෙන්න විදියක් නෑ. මොකද මේක ඡන්දයකින් තොරව විපක්ෂයේත් ආශිර්වාදයෙන් ගෙන ආ පනතක්. අද ආණ්ඩුවේ ඉන්න ඇතැම් ඇමැතිවරු පවා ඒ කාලේ විපක්ෂයේ සිටිද්දී තොරතුරු අයිතිය පාවිච්චි කළා. ඒ නිසා තමන් ප්‍රයෝජනයට ගත් මේ මූලික මිනිස් අයිතිය අනාගත පරම්පරාවටත් ආරක්ෂා කරදීමට ඔවුන්ට සදාචාරාත්මක වගකීමක් තිබෙනවා.

කතාබහ – බිඟුන් මේනක ගමගේ