මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනා ලබා ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනය බැඳුම්කර ගණුදෙනු සඳහා සුදුසුකම් ලත් ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස තෝරා පත්කර ගැනීමට සුදුසුකම් ලබා නොසිටියදී, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිර්දේශවලට පිටින් ගොස් එම සමාගම ප්‍රාථමික ගැණුම්කරුවෙකු ලෙස තෝරා පත්කරගෙන ඇතැයි වෝහාරික විගණන වාර්තාවකින් හෙළිවී තිබේ.
එම තීරණය සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දූරකථන ඇමතුමකින් බලපෑම් කර ඇති බවද එම වාර්තාවෙහි කරුණු සඳහන් වේ.
ජනවාරි 21 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කර තිබුණු වෝහාරික විගණන වාර්තා අතරින් පස්වන වාර්තාවෙහි එම කරුණු සඳහන් වේ.
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනය ප්‍රාථමික ගැණුම්කරුවෙකු ලෙස තෝරාගැනීමට අදාල එම සමාගමේ අයදුම්පත්‍රය 2012 වර්ෂයේදී ලැබී තිබේ. එම වසරේ නොවැම්බර් 06 වැනිදා එම අයදුම්පත්‍රයට අදාල දැන්වීම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී වෙත පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ අයදුම්පත පිළිබඳ දැනුම්දී ඇති අතර කෙටි කාලයක් ඇතුළත 2013 මැයි 09 වැනිදා මුදල් මණ්ඩලය පර්පෙචුල් ට්‍රෙෂරීස් ආයතනයට ප්‍රාථමික ගණුදෙනුකරුවෙකු ලෙස කටයුතු කිරීම සඳහා අනුමැතිය ලබාදීමට එකඟ වී ඇත.
කෙසේ වෙතත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කළ අයදුම්පතෙහි අඩුපාඩු රැසක් තිබී ඇතැයි වෝහාරික විගණනයෙන් පෙන්වාදෙයි. එම සමාගමට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නොතිබුණු බවද එමගින් පෙන්වාදෙයි. ඊට අමතරව මූල්‍ය සේවා ක්ෂේත්‍රයෙහි පෙර අත්දැකීම් නොතිබීම ඇතුළු අඩුපාඩු රැසක් එම අයදුම්පතට අදාලව තිබී ඇතැයි පෙන්වාදෙයි.
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර සමග විගණනයේදී කර ඇති සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කියා ඇත්තේ තමන්ගේ උපදෙස්වලට පිටින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස තෝරාගෙන ඇති බවය. මහ බැංකුවේ සහකාර අධිපති බී.ඩී.ඩබ්ලිව්.ඒ. සිල්වා වෙත තම නිර්දේශය දැනුම්දී ඇති බවය.
කෙසේ වෙතත් මහ බැංකුවේ සහකාර අධිපති බී.ඩී.ඩබ්ලිව්.ඒ. සිල්වා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනය ප්‍රාථමික ගැණුම්කරුවෙකු ලෙස තෝරාගැනීමට අදාල මුදල් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමේදී නානායක්කාර මහතාගේ නිර්දේශය ඇතුළත් කර නොමැත. එයට හේතු කිහිපයක් බලපා ඇති බවත්, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම ආයතනයට අදාල මුදල් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් නොවී ප්‍රමාද වෙන්නේ ඇයිදැයි දූරකථනයෙන් අමතා විමසා ඇති බවත් එම වාර්තාවෙහි සදහන්ව ඇත.
2020.01.26