කෑම ටික රට ඇතුළට ගන්න ඩො. කෝටි දෙකහමාරක් දෙන්න! ආනයනකරුවන් මහ බැංකුවට ලියලා

වරායේ හිරවෙලා තියෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තියෙන කන්ටේනර් 1500ක් නිදහස් කරගන්න ඇමෙරිකන් ඩොලර් කෝටි දෙකහමාරක් හෙවත් මිලියන 25ක් අවශ්‍ය බව සඳහන් කරමින් සැප්තැම්බර් 27 වැනිදා ලේඛනයක් ඉදිරිපත් කරපු බව ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අරුණ පත්තරයට කියා තියෙනවා.

මේ කන්ටේනර් වහා මුදා හරින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ආනයන අපනයන පාලක ජනරාල්වරියට හා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේ දවස් දෙකතුනකට කලින්. ඒත්, ඒවා නිදහස් කරන්න ඩොලර් නැතිකම තමයි ප්‍රශ්නය වුණේ. ඉතින්, මහ බැංකුවට ඔය කියන ලේඛනය යවලා තියෙන්නේ මුදල් ලබාගන්න.

ඉන්දික ශ්‍රී අරවින්ද ලියූ වාර්තාවේ සඳහන් වෙන්නේ ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්නගේ ප්‍රකාශයක්. ඔවුන් කියා තියෙන්නේ මහ බැංකුවට යවපු ඒ ලැයිස්තුවේ තියෙන වියදම් ටික පරක්කු වෙන තරමට තවත් වැඩි වෙන බව. ඒ ප්‍රමාද ගාස්තු නිසා.

මේ වෙද්දී ශ්‍රී ලංකාවෙන් යවන එල්සී පවා ලෝකෙන් අපට භාණ්ඩ එවන රටවල් බාරගන්නේ නෑ. ඉන්දියාව, ඩුබායි, ඕස්ට්‍රේලියාව, චීනය, නවසීලන්තය ඇතුළු රටවල් ගණනාවක අපනයනකරුවන් මේ රටේ එල්සී හෙවත් ණයවර ලිපි බාරගන්නේ නැති බව නිහාල් සෙනෙවිරත්න මහතා කියලා.

වරාය පරිශ්‍රයේ හාල්මැස්සන්, පරිප්පු, සුදුළූණු, ධාන්‍ය වර්ග, කිරිපිටි සහිත කන්ටේනර් බහාලුම් අටසීයක්, සීනි බහාලුම් හයසීයක්, වෙනත් ආහාර ද්‍රව්‍ය තියෙන කන්ටේනර් සීයක් විදියට 1500ක් විතර තියෙනවා කියලා තමයි ඒ වාර්තාවේ තියෙන්නේ.

මේවා නිදහස් කරන්න සල්ලි කොහෙන්ද කියලා නිව්ස්ෆ්‍රස්ට් එක මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගෙන් විමසීමක් කරලා තිබුණා. ඔහු කියා තිබුණේ උක්ත ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් නිදහස් කිරීමට බලාපොරොත්තු වෙන බව.

සැප්තැම්බර් 27 වැනිදා මාධ්‍ය ආයතන ගණනාවක් වාර්තා වෙලා තිබුණේ මිල වැඩි වෙන බව ආරංචිවෙලා කිරිපිටි, පාන් පිටි, ගෑස් මිලට ගන්න මිනිසුන් පෝළිම්වල දවසේම රස්තියාදු වුණ හැටි. ආණ්ඩුව ගැන හොඳ වර්ණනා ඒ මිනිසුන්ගෙන් අහන්න ලැබුණා.

මේ විදියට එදිනෙදා පාරිභෝගිකයන් පීඩා විඳිමින් ආර්ථික අර්බුදය උග්‍ර වෙද්දී ආවා කල්ලිය නැගිටීම්, රෝහලකට බෝම්බ තැබීම් සහ ඒ බෝම්බය හිටපු කොටි සාමාජිකයෙක් සිදු කළ බව ප්‍රවෘත්ති වාර්තා වීමත් පෙනෙන්නට තිබෙනවා. ඒ හැරුණාම ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට අයිටීඑන්, හිරු ටීවී වැනි ආයතන සහ චමුදිත සමරවික්‍රම වැනි මාධ්‍යවේදීන් සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් රට ගිනිතියන හනුමාගේ රාජකාරිය කිරීමට එහිමියන්ට වැඩි වශයෙන් ඉඩ දෙන බව දකින්නට ලැබුණා.

මේ ගැන කැබිනට් ඇමති රෝහිත අබේගුණවර්ධන මෙහෙම කියා තිබුණා.

‘ජීවන වියදම් කමිටුවේදී අග්‍රාමාත්‍යතුමා මේ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වපු ආනයනකරුවන්ට ඒවා නිදහස් කරන්න අවශ්‍ය කරන රේගුවට සහ අනෙකුත් ආයතනවලට උපදෙස් ලබාදීලා තියෙනවා. ඉතිං දැන් ඔවුන්ට පුළුවන් ඉතා ඉක්මනින් ඒ බඩු ටික නිදහස් කරගෙන පෞද්ගලික මට්ටමින් වෙන්න පුළුවන්. නැත්නම් රාජ්‍ය සේවයේ සතොස හරහා හරි ඉතා ඉක්මනින් ලබා දෙන්න. සමහර ව්‍යාපාරිකයන් කියනවා අපි ආනයනය කරන කොට ඒ අයට ගෙවන්න ඩොලර් ඕනේ කියලා. හැබැයි දැන් බඩු ඇවිල්ලා ඉවරයි. මේ ආනයනකරුවන් ඒ සමාගම් එක්ක වැඩ කරන්නේ වසර ගණනාවක් තිස්සේ. ඉතිං ඒ නිසා දැන් තියෙන්නේ ඉතා ඉක්මනින් මේ බඩු ටික ගරු අග්‍රාමාත්‍යතුමා දීපු නියෝගයත් එක්ක ඉතා ඉක්මනින් ගන්න.’