වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට කඩා වැදී ඉතා දරුණු අපරාධකාරී ස්වරූපයෙන් හැසිරුණු බවට මූලාශ්‍ර ගණනාවකින් චෝදනා එල්ල වුණාට පස්සෙත් රාජ්‍ය ඇමතිකමක් තවම දරාගෙන ඉන්න ලොහාන් රත්වත්තේ ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් නිහඬයිලු.
බන්ධනාගාර විෂය ලොහාන්ගේ රාජ්‍ය ඇමතිකමෙන් අයින් කෙරුණා හැරුණාම ඔහුට කිසිම දඬුවමක් ලැබී නැහැ. තාවකාලිකව හෝ අනෙක් අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමක් හෝ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමක්වත් සිදු වී නැහැ. ලෙහෙසි පහසු චෝදනාවක් නෙවෙයි පිස්තෝලයක් අරන් මිනිසුන් දණගස්සා මරණ තර්ජන කරපු මිනිහෙක් ගැන මේ කතා කරන්නේ.
ම්හු! ඒ චෝදනා ආවාට මදිලු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ගෙන්
ඒ කියන්නේ පොහොට්ටුවේ අයට පිස්තෝල තියන් දණගස්සලා ඔළුවට තැබීමේ චෝදනා කලබල වෙන්න තරම් නොවෙන හිංචි පිංචි කාරණා විදියට දැනෙනවා ඇති.
මේක එච්චර චෝදනාවක් නෙවෙයි වෙන්න ඇති. සමහරවිට එයාලා වැරදිවල බරපතළකම මනින ලිස්ට් එකේ හැටියට මොන්ටිසෝරි ළමයින්ගෙන් ලොලිපොප් පැහැරගැනීම, පිංකැට කැඩීම, හොරපොල් බෑම, කාන්තාවන් නාන හැටි හොරෙන් බැලීම කියන වැරදිවලින් පස්සේ ඊළඟට තියෙන්නේ මිනිස්සු දණගස්සලා නළලට පිස්තෝලෙ තියලා මරණ තර්ජන කිරීම වෙන්න ඇති.
‘හදිස්සියක් නෑ. පර්යේෂණ වාර්තාව එනකල් ඉම්මු. කලබලවෙලා තාවකාලිකව සාමාජිකත්වය අහෝසි කරන්න තරම් කේස් එකක් නෙවෙයිනේ’ කියා හිතෙනවා ඇති.
කොහොම වුණත් අපේ බලාපොරොත්තුව සරෝජිනී කුසලා වීරවර්ධන විනිසුරුතුමියගෙන් හොඳ ස්වාධීන වාර්තාවක් ඉදිරිපත්වේවි කියන එක. ඒ වාර්තාවෙන් පස්සේ බාලගිරි දෝසෙට මොනා වේවිද කියන එක.
මීට කලින් මහර ඝාතන පිළිබඳ සෑහෙන දුරට මධ්‍යස්ථ වාර්තාවක් ඇගෙන් ලැබුණා. ඇය යම් දුරකට සාම්ප්‍රදායික මතවාද නියෝජනය කරන විනිසුරුවරියක් බව කීවත්, ඇය ස්වාධීනව තීන්දු දුන් අවස්ථා ගණනාවක් ගැන නීති ක්ෂේත්‍රයෙන් අප කළ විමසීම්වලදී අහන්න ලැබුණා.
අනෙක් පැත්තෙන් තියෙන බිය තමයි මේ වාර්තාවට සාක්ෂි දීම සඳහා ඉදිරිපත් වෙන නිලධාරීන්ගෙන් ස්වාධීන සාක්ෂ්‍ය ලැබේවිද කියන බය.
මේ ගැන ලංකාදීපයේ සුජිත් හේවාජුලිගේ ලියූ වාර්තාව පහතින්.
‘වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට මිතුරන් පිරිසක් සමග අයුතු ලෙස ඇතුළුවී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගැනිම එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
එම පරීක්ෂණ වාර්තාව කෙටි කලකින් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පසුගියදා පත් කරනු ලැබීය.
එම පරීක්ෂණ මණ්ඩලය ඒ විමර්ශන කටයුතු දැනටමත් අරඹා ඇතැයි දැනගන්නට ඇත.
ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාරයට පසුගිය 12 වැනිදාත් අනුරාධපුර බන්ධනාගාරයට පසුගිය 6 වැනිදාත් සිය මිතුරන් පිරිසක් සමග අයුතු ලෙස ඇතුළුවී ඇතැයි චෝදනා එල්ලවී ඇත.
ලොහාන් රත්වත්තේ මහතා එම සිද්ධීන් පිළිබඳව තොරතුරු ප්‍රසිද්ධවීමෙන් පසු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පසුගිය 15 වැනිදා ඉල්ලා අස්විය.’