බණ්ඩාරණායක මිත්‍යාව – නිර්මාල් රංජිත් දේවසිරි

තමන් ‘බණ්ඩාරණායක ප්‍රතිපත්ති’ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන අය ගොඩක් ඉන්නවා. ‘බණ්ඩාරණායක’ කියන්නේ මෙරට දේශපාලනයේදී අදටත් පාවිච්චි කෙරෙන නමක්. ඒත් බණ්ඩාරණායක ප්‍රතිපත්ති කියා තනි එකක් තියෙනවාද? ඒකට තේරුමක් තියෙනවාද? කවුරුහරි බණ්ඩාණායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා කීවොත් අපි සතුටු වෙන්න ඕනෑද? දුක් වෙන්න ඕනෑද?

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් අපි අහපු ප්‍රශ්නවලට උත්තර විදියට ඔහු ‘බණ්ඩාරණායක ප්‍රතිපත්ති’ ගැන මෙසේ කීවා.

‘මිතිෆිකේෂන් කියලා අපි කියනවා. ඒ කියන්නේ යම් යම් දේවල් මිත්‍යා ප්‍රබන්ධ බවට පත් වෙනවානේ. මිත්‍යා කියන්නේ අර සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන බොරු කියන එකම නෙවෙයි. ජනප්‍රවාද කියන්නත් බෑ. ‘මිත්ස්’ කියලා කියනවානේ.

විජේවීර, ප්‍රේමදාස ආදී ඕනෑ කෙනෙක් ගැන හෝ ඕනෑ දෙයක් ගැන මිත් එකක් හැදෙන්න පුළුවන්. ඒක තිබුණාද, නැද්ද කියලා අපි දන්නේ නෑ.

උදාහරණයක් විදියට පෘතුගීසීන් එක්ක මල්වාන ගිවිසුම කියා එකක් තිබුණු බව කියනවා. ටිකිරි අබේසිංහ ලිපියක් ලියා තිබුණා ‘මිත් ඔෆ් මල්වාන ගිවිසුම’ කියලා. ඒ කියන්නේ එහෙම එකක් තිබුණාද නැද්ද කියලා දන්නේ නැති වුණත්, තිබුණු බවක් විශ්වාස කරනවා. තිබුණා කියලා හිතාගෙන ඒ අනුව වැඩ කරනවා.

නිව්ටන් ගුණසිංහ ලියා තිබුණා අසූ තුනේ කතාවක් ගියා කොළඹට කොටි ආපු බවට. මිනිසුන් කොළඹින් යන්න ගිහින්, කලබගෑනියක් ඇවිත් ආයෙත් දෙමළ අයට ගහන්න වගේ තත්වයක් ඇති වුණා. ඒත් කොටි ආවේ නෑ. නිව්ටන් කියන විදියට කොටියෙක් තියා පූසෙක්වත් ආවේ නෑ. ඒත් ඒක ඇත්ත කියලා පිළිඅරන් තමයි ක්‍රියා කළේ.

‘මිත්’ එකකට ඇත්ත පසුබිමක් තියෙන්න පුළුවන්. විජය ලංකාවට ආපු කතාව අපි පිළිගන්නවානේ. ඒකට ඇත්ත පසුබිමක් තියෙන්න පුළුවන්. පස්සේ මිනිසුන්ගේ අවශ්‍යතා, දන්න දේවල්, නොදන්න දේවල් අරවා මේවා එකතු වෙලා හැදෙනවා මිත් එක.

සාමාන්‍ය ව්‍යවහරයේ තියෙන්නේ කාක් පිහාට්ටක් වමනය ගොඩේ තිබුණාම කාක්කන් හත් දෙනෙක් වමනය කළා කියලා කතාවක් හැදුණ බවට කතන්දරයක්.

ඒ වගේ තමයි අපි දන්නේ නැහැ හරියට. බණ්ඩාරණායක ප්‍රතිපත්ති කියලා කියන්නෙත් එහෙමයි. ඒ ප්‍රතිපත්ති ගැන ඔය වගේ මිතිෆිකේෂන් එකක් තියෙනවා. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ. කාටවත් බැණලා වැඩකුත් නෑ. ඕවා ඔහොම තමයි වෙන්නේ.

1956 කියලා කියන්නේ දෘෂ්ඨිවාදීව (යම් දේවල් ගැන බලන විදිය, දැක්ම අනුව.) ගත්තාම ඉතා වැදගත් සිදුවීමක්. ජාතිය, ජාතික අභිලාෂ මේවා වෙනයි. මේවා වැඩිය ආකර්ශණය වුණ සමාජ පන්තියකුත් තිබුණා. ඒ තමයි ග්‍රාමීය, මැද මට්ටමේ ඉඩම් හිමිකාර පන්තිය. ඒක තමයි සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු කියා හැඳින්වුවේ.

ඒත් එතැන හිටියේ සඟ, වෙද, ගුරු කියන තුන සහ ඊට අමතරව නොතාරිස්ලා ආදී සමාජ තත්වයක් තිබුණ මධ්‍යම පන්තියක්. ඒගොල්ලෝ ගම්වල ඉන්න, නැෂනල් අඳින, කුඩයක් අතින් අරගෙන යන, රැස්වීම්වලට එන, භාෂාව ගැන සංවාදවලට හෙම එන පිරිසක්. සමසමාජ පක්ෂය ආදී තැන්වලත් ඒ අය හිටියා.

එයලා තමයි ලංකාව කෙසේ විය යුතුද කියන එක ගැන මතවාදී ආධිපත්‍යයක් තිබුණ (දේශපාලන බලයක් 1956 දක්වා නොතිබුණ) අය.

ලංකාවේ දැන් ඉන්නවානේ කඩුවෙල,  මහරගම ආදී නගරවල හැදිලා ඉන්න මධ්‍යම පන්තිය. එයාලානේ දැන් ෆේස්බුක් එකේ ලියන්නේ, ක්‍රියාකාරී වෙන්නේ. එයාලානේ සමාජයේ මත හදන පන්තිය.

ඒ වගේ 1956 කාලයේ මත හැදූ පන්තිය තමයි ඔය සඟ,වෙද,ගුරු ප්‍රමුඛ මධ්‍යම පන්තියේ අය.

හැබැයි මෙහෙමයි. බලය ගන්නකොට  කවුරුහරි නියෝජිතයෙක් එනවානේ. මහින්ද රාජපක්ෂ 2005 දී බලය ගත්තේ. මහින්ද රාජපක්ෂ හැදුණේ වෙනම ඉතිහාසයක් ඇතුළේනේ. ජාතිකවාදී ව්‍යාපාරයේ නලින් ද සිල්වා, අමරසේකර, විමල් වීරවංශ, චම්පික ආදී අය ප්‍රමුඛව හැදුණ මතවාදී බලය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ ආවානේ.

ඒ වගේ එකක් තමයි 1956 වෙනස. ඇත්තටම එජාපයේ බෙදීමක් ඇති වෙලා ශ්‍රීලනිපය බිහිවෙන්න කලිනුත් සිංහල මහා සභාව වගේ ඒවා තිබුණා. ඒ කාලයේ දේශපාලනය කියන එක ටිකක් ෆෝමටිව්. (හරියට ස්ථාවරව සංවිධානය වෙලා නෑ. බලවේග හැඩගැහෙමින් තිබුණ කාලයක්.) නිදහසින් පස්සේ පක්ෂ ක්‍රමය අරවා මේවා හැදෙමින් තිබුණා. ඇත්තටම 1956 ආණ්ඩුව ගත්ත මහජන එක්සත් පෙරමුණ (එදා බලය ගත්තේ අත ලකුණින් ශ්‍රීලනිපය නෙවෙයි. රෝදය ලකුණෙන් බිහිවුණ සන්ධානයක් වන මහජන එක්සත් පෙරමුණ) කියන්නේත් හරියට හැදුණ පක්ෂයක් නෙවෙයි.

බණ්ඩාරණායක කෙටි කාලයක් ඇතුළේ මැරෙනවානේ. කෙනෙක් මැරුණාම ඒ මරණය නිසාම ලොකු ජනප්‍රියත්වයක් හැදෙනවා. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ, විජේවීර, විජය කුමාරතුංග වගේ අය වුණත් මැරුණාම ලෙජන්ඩ් එකක් වෙනවානේ. මරණය නිසා ඇති වෙන කම්පනය, ශෝකය එක්ක.

අපි හිතනවා ‘අපරාදේ අහවලා හිටියා නම්’ කියලා. උදාහරණයක් විදියට ‘දයා පතිරණ හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ.’ කියලා කියන්නේ. චරිතය ලොකු වෙන තරමට ඒක වැඩියි. අපට යම් බැරිකමක්, අසමත්කමක් තියෙනවානේ. ඒ අසමත්කම ඇතුළට මේක පිරෙනවා.

ඇත්තටම අපි බණ්ඩාරණායක ප්‍රතිපත්ති කියලා කියන්නේ ඒ කාලේ තිබුණ දේශපාලන විඥාණයේ එකතුවක්. (අහවල් දේ බණ්ඩාරණායකගේ ප්‍රතිපත්තියක් කීවොත්) බණ්ඩාරණායක ඇවිත් කියන්නේ නෑනේ ඕක මගේ ප්‍රතිපත්තියක් නෙවෙයි කියලා. ඒ වගේ අපට පුළුවන් ඒක (මියගිය ලෙජන්ඩ් එක, මිත් එක) වටේට අපට ඕනෑ එක දාගන්න.

ඕකට ඉතින් සමහර දේවල් කියන්න පුළුවන්. ඕනෑ නම් ටිකක් විභාග කරලා කියන්න පුළුවන් බණ්ඩාරණායක කියන්නේ ලිබරල්වාදියෙක් බව. ඔහු එංගලන්තයේ ගිහින් ඉගෙනගත්ත කාලයේ ඔක්ස්ෆර්ඩ් එකේ ලිබරල් අදහස්වලට ආවා. දැන් ඇන්.ඇම්., කොල්වින් වගේ අයට රැඩිකල් වාමාංශික අදහස් ආවා වගේ බණ්ඩාරණායකට ලිබරල් අදහස්වල බලපෑම ආ බව කියන්න පුළුවන්.

නැත්නම් බණ්ඩාරණායක ෆෙඩරල් ක්‍රමය ගැන කතා කරපු බව කියන්න පුළුවන්.

ඊට පස්සේ බලයට එන වෙලාවේ ග්‍රාමීය මැද පන්තියේ බලය ගැනීමට වෙනස් වුණා වෙන්න පුළුවන්.

බණ්ඩාරණායකගේ කතාවක් හරි ගත්තොත් ඒවායේ තියෙන්නේ කලින් කී දේවල්වලින් හැදිච්ච මික්ස්චර් එකක්.

හැට ගණන්වල සමගි පෙරමුණු ආණ්ඩුව විවිධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා නේ. ඒවා බණ්ඩාරණාක ප්‍රතිපත්තිම නෙවෙයි. එදා ලෝක තත්වය, ලංකාවේ වාමාංශික ව්‍යාපාරවල බලපෑම ආදී දේවල් මත හැදුණ ප්‍රතිපත්ති තිබුණේ.

ඒත් ඕනෑ දෙයක් ග්‍රවුන්ඩ් කරන්න ඕනෑනේ. (මහ පොළොවට හොඳ දෙයක් විදියට මාකට් කරන්න ඕනෑ.) අපි දැන් උදාහරණයකින් ගත්තොත් අපි හිතමු කෙරවළපිටිය ගිවිසුම ගැන කියද්දී සෞභාග්‍යයේ දැක්මේ තියෙනවාලු. නැත්නම් තව මොනවහරි දෙයක් යහපාලන ප්‍රතිපත්තියේ කෑල්ලක් කියාවි. ඔය වගේ හැට ගණන්වල සහ හැත්තෑ ගණන්වල තිබුණ එක තමයි ‘බණ්ඩාරණායක ප්‍රතිපත්ති’ කියන එක. දේශීය මැද මාවතේ දේශපාලනය නම් බණ්ඩාරණායක කියා එකක් හැදුණා.

ඒත්, ඒක දැන් එච්චරම ආකර්ශණීය නැහැ. නමුත් (තවම) ඒක කියනවා ටිකක්. උදාහරණයක් විදියට ආණ්ඩුවට සහයෝගය දුන්න අයගේ පවා යම් කිසි බෙදීමක් තියෙනවානේ. මෛත්‍රීපාල පාර්ශ්වය ආදී අය පසුබහින්න, හෝල්ඩ් බැක් පොසිෂන් එකක ‘අපි බණ්ඩාරණායක ප්‍රතිපත්ති අනුගමනය කරනවා’ කියනවා. (පසු පාදයේ සෙල්ලම් කරද්දී) ඒක පාවිච්චි කරනවා. ඒක අමුතු එකක් නෙවෙයි.

ඕක ගැන හොඳටම ලියැවිලා තියෙන එකක් තමයි කාල් මාස්ක්ගේ පොතක්. The Eighteenth Brumaire of Louis Bonaparte කියලා. ලුවී බොනපාට්ගේ දහඅටවැනි බෘමරය කියලා. ඒකේ තියෙන්නේ 1851 විතර නැපෝලියන් බොනපාට්ගේ බෑණා ප්‍රංශයේ ජනාධිපති වෙන එක ගැන විග්‍රහයක්.

ඒක පටන් ගන්නේ අතීතයේ දේවල්. ඒ කියන්නේ අපි වර්තමානයේ ජීවත් වුණාට වර්තමානයට අවශ්‍ය යුක්ති සහගතභාවය ගන්නේ අතීතයෙන්. උදාහරණයක් විදියට (රාජපක්ෂලා) දුටුගැමුණු වගේ වෙනවා කීම. නැත්නම් රනිල් වික්‍රමසිංහ පරාක්‍රමබාහු වෙනවා කියන එක.

මාක්ස්ගේ පොතේ තියෙන්නේ නැපෝලියන් බොනපාට් රෝම ජෙනරල් කෙනෙක් වගේ හිටියා, බෑණා ඇවිත් මාමා වගේ හිටියා ආදී වශයෙන් තමයි මාක්ස් කියන්නේ. මේකේ තමයි ප්‍රසිද්ධ කතාව තියෙන්නේ අර පළවැනි පාර ට්‍රැජඩියකුයි, දෙවැනි පාර කොමඩියකුයි විදියට ඉතිහාසය සිද්ධවෙන බව.

“ඉතිහාසය පළමුව ශෝකාන්තයක් ලෙසත් දෙවනුව විහිළුවක් ලෙසත් නැවත නැවතත් සිදුවෙමින් පවතී….”

හෙගල් කිව්වා ලෝක ඉතිහාසයේ එක සිදුවීමක් දෙපාරක් වෙනවා කියලා. නමුත් ඔහුට අමතක වුණා කියන්න, පළවැනි පාර ඒක වෙන්නේ ට්‍රැජඩියක් විදියට, දෙවැනි පාර වෙන්නේ කොමඩි එකක් විදියට කියලා.

ඇත්තටම මාක්ස් එතැන කරන්නේ නැපෝලියන් බලයට පත්වීම සහ බෑණා බලයට පත්වීම සංසන්දනය කිරීමක්. නැපෝලියන් ට්‍රැජඩි එකක් නම්, ලුවී බොනපාට් කොමඩි එකක්.

ඉතින් (බණ්ඩාරණායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව කීම) එහෙම එකක් තමයි.’