IMF යන්නේම නෑ! 2022 ඩො.බි. 5ක් ණය වාරික! – කබ්රාල්ගේ රට හදන සැලැස්ම එළියට

 
ශ්‍රී ලංකාව විදෙස් ණය නොගෙවා ඒවාට නිගරු නොකර නියමිත කාලයට ගෙවන බව සහතක වෙලා

රජයට මෙරට තුළදී ගත හැකි ප්‍රායෝගික විසඳුම් සොයාගත හැකි බව විශ්වාස කරනවාලු

අයිඑම්එෆ් විශේෂඥ සහයෝගය අනවශ්‍ය බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ප්‍රමාණවත් තරම් විශේෂඥ දැනුමක් තිබෙන බව කියලා.

විසඳුම් නැතිව ලංකාව බිත්තියට හේත්තු වෙලා නැහැලු.

ශ්‍රී ලංකාවට 2022 දී ඩොලර් බිලියන 5ක ණය ගෙවන්න තියෙනවාලු. 2023-2027 කාලයේ ඩොලර් බිලියන 25ක  ණය තියෙනවාලු.

(ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට එහි කතෘ නිස්තාර් කාසිම් මහතා ලියූ වාර්තාව ඇසුරෙන්.)

පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉතා තීරණාත්මක ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල උපදේශන සහ ආර්ථික සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු නොවෙන බව කියා තිබුණා. ඒ වෙනුවට දේශීය ප්‍රායෝගික විසඳුම්වලට යොමු වෙන බව කියා තිබුණා.

එසේ කියා තිබුණේ සෙනසුරාදා ආර්ථික ක්ෂේත්‍රයේ පිරිසක් සමඟ පැවැත්වූ වෙබිනාර් එකකදී.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන් සහ ආර්ථික විශේෂඥයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘බේල්අවුට් ප්ලෑන්’ එක සහ ණය ප්‍රතිසැකසුම් මූලාරම්භකය ලබාගන්න ඕනෑ බව කීවත් මහ බැංකු අධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරලා. 2022 දී ඩොලර් බිලියන 5ක ණය ගෙවීමට තිබුණත්, 2023-2027 කාලසීමාවේ ඩොලර් බිලියන 25ක ණය ගෙවීමට තිබුණත් උක්ත වැඩසටහනට සම්බන්ධ වෙන්න ඕනෑ නැහැලු.

අපට පුළුවන්ලු.

ඔක්තෝබර් 1 වැනිදා ඔහුගේ කෙටිකාලීන මාර්ග සැලැස්ම එළිදැක්වීමේදී ‘දේශීය සැලසුම්’ ඇතුළත් වෙන බව ඔහු කියා තිබුණා. ‘මාර්ග සැලැස්මෙන් ස්ථාවරත්වයයි වර්ධනයයි නැවත ඇති කරන්න පුළුවන් වේවි’ යනුවෙන් කියා තිබුණා.

‘අපි අපගේ ණය ගෙවීමට සඳහා ඇති වගකීම්වලට ගරු කරනවා. ඒ අතරේම අපගේ දුර්වලතා ගැන අවධානය යොමු කරනවා.’

යනුවෙන් 2009-2015 කාලයේ මහ බැංකු අධිපතිවරයාව සිටි ඔහු කියා තිබුණා. මීට කලින් තනතුරේ හිටපු කාලයේ ආර්ථිකය අති සාර්ථක බව ඔහුගේ අදහස. ඒත් ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ පාතාලය දෙසට ඇදවැටෙමින් සිටි ගමනේ ඔහුත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව තමයි පොදු මතය.

ඔහුගේ සැලසුම් අතර 2022 ජුලි මාසයේදී ඩොලර් බිලියන 1ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වාරිකයක්  ගෙවීමේදී වට්ටම් ලබාගෙන ගෙවීමට බලාපොරොත්තුවක් තියෙනවා. මේ වෙද්දී ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ජාත්‍යන්තර ආයෝජන බැංකුවලට යෝජනා ඉදිරිපත් කර තියෙනවාලු.

ඒ හැරුණාම ඍජුව විදෙස් රාජ්‍යයන් සමඟ ආර්ථික උපායමාර්ගවලට යොමු වීම ඔහුගේ තවත් සැලසුමක්.

පාඩු ලබන රාජ්‍ය දේපළ අලෙවි කරමින් ණය නොවන ආයෝජන ලබාගැනීම තවත් සැලසුමක්.

අපනයන සිදු කරන ව්‍යාපාරවල විදෙස් මුදල් ඉක්මනින් පරිවර්තනය කර ගැනීම.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නැවත අලෙවි කරමින් ‘රෝල් ඕවර්’ කිරීම. (2022 දී ඩොලර් බිලියන 1.35ක සංවර්ධන බැඳුම්කර කල් පිරෙනවා. ඒ කියන්නේ අපි ගෙවන්න ඕනෑ. ඒවා ගෙවන්නේ නැතිව ආපහු විකුණන්නයි මේ සැලසුම.)

ආනයන සීමා කරමින් සංචාරක කර්මාන්තයෙන් සහ අපනයනවලින් මුදල් ඉපැයීම.

අයිඑම්එෆ් සැලසුම් අවශ්‍ය නැති බව නැවත නැවතත් සිහිපත් කරමින් ඔහු සඳහන් කර තිබුණේ මෙරට සිටින දේශීය විශේෂඥයන් සමඟ එක් එක් විදේශ ණය සහ වගකීම් පියවන ආකාරය ගැන එකිනෙක වෙන වෙනම අධ්‍යනයට ලක් කරන බව.

‘ඔව්, අද අපේ විදෙස් ගිණුමේ ටෙන්ෂන් එකක් තියෙනවා. අපි තද සහ පරෙස්සම් සහගත තීන්දු ගනිමින් ඉන්නවා. ශ්‍රී ලංකාව කිසිම ඔප්ෂන් එකක් නැතිව බිත්තියට හේත්තු කරලා නෙවෙයි.’

කෙටිකාලීන ඉලක්කයක් විදියට ඔහු කියා තිබුණේ දැනට තිබෙන ඩොලර් බිලියන 13ක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රමාණය (අපි නැවත ගෙවන්න ඕනෑ වගකීම්.) අඩු කරගන්න ඕනෑ බව. ඒ ප්‍රමාණය ඊළඟ අවුරුද්ද ඉවරවෙද්දී ඩොලර් බිලියන 11ත් 11.5ත් අතර ප්‍රමාණයකට අඩු කර ගැනීම තම බලාපොරොත්තුව බව ඔහු කියා තිබුණා. ඒ අනුව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ලංකාවේ ණය ප්‍රමාණය අතරින් සීයට 10ක් දක්වා අඩු කරගැනීම අපට පහසුවක් වනු ඇතැයි ඔහු අදහස් කර තිබුණා.

කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයා කතා කළ මේ වෙබිනාර් එකේදීම අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝජ්ටවුන් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්ත දේවරාජන් ප්‍රමුඛ විශේෂඥයන් කිහිපදෙනෙකු කියා තිබුණේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිසැලසුමට යන්න ඕනෑ බව.

එවැනි පියවරක් ගැනීමෙන් දුර්වලතාවක් නොව ශක්තියක් ප්‍රකාශයට පත් වෙන බව ඔහු කියා තිබුණා. එමගින් ණය ස්ථාවරත්වය, විශ්ලේෂණය පහසු වන බව කියා තිබුණා. එමෙන්ම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහයෝගය ලබාගැනීමත් පහසු වෙන බව කියා තිබුණා.

ප්‍රතපත්ති අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ දුෂ්නි වීරකෝන් කියා තිබුණේ රජය ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විශ්වාසදායක වැඩ සැලැස්මක් ප්‍රසිද්ධ කර නොමැති වීමෙන් වෙළඳපළ අස්ථාවරත්වයක් ඇතිව තිබෙන බව. එවැනි පසුබික ඔක්තෝබර් 1 වැනිදා ප්‍රසිද්ධ කරනවා කියන මාර්ග සැලැස්ම ගැන ඇය බලාපොරොත්තු තබන බව කියලා. නෙදර්ලන්තයේ රොටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය හොවාර්ඩ් නිකොලස් කියා තිබුණේ රජයේ ණය පොළී ගෙවීමට ඇති ප්‍රමාණය ජාතික ආදායමෙන් සීයට 90ක් වන නිසා තවමත් තත්වය ඉතා බරපතල බව. ඔහු කියා තිබුණේ ඉහළ වටිනාකමක් ඇති අපනයන ප්‍රමාණය ඉහළ නැංවීමෙන් ස්ථාවරත්වයක් ඇති කර ගන්න ඕනෑ බව.