දවසේ විහිළුව! ලෝකෙට බලු වෙලා ෂේප් න්‍යාය දැමූ විදෙස් ඇමති ලංකාවට සිංහනාද කරයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය නීතිය හා සම්ප්‍රදාය අනුව ලෝකයේ හැම රටකටම උස් පහත් භේදයක් නැතිව සමානතාවයෙන් සැලකිය යුතු බවත්, ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉලක්ක කරගෙන අපේ රටට සීමා වූ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවාට එකඟ වෙන්නේ නැති බවත් විදේශ ඇමති ජී.එල්. පීරිස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ…. ආ වැරදුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියලා.

මේ වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, බටහිර රටවල් ආදී පාර්ශ්ව එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න ආණ්ඩුව පෙළඹෙනවාය කියන ඇත්තට වඩා, වෙන එකක් තමයි ඔහුගේ කතාව සමස්තයක් විදියට ගත්තොත් දකින්න ලැබුණේ. ඩයස්පෝරාව එක්ක කතා කරන්න ලෑස්ති, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කරන්න ලෑස්ති, හානි සිද්ධවුණ අයට හානිපූර්ණ කරන්න ලෑස්ති, අතුරුදන්වූවන්ගේ කොමිසම ඉදිරියට ගෙනියන්න ලෑස්ති ෂේප් න්‍යායෙන් ඒ ආයතන එක්ක යාප්පුවෙන් කතා කරන්න ලෑස්ති විදේශ ඇමති තමයි අපි ජාත්‍යන්තර වශයෙන් දැක්කේ.

ඒත් මෙතැන හිටියේ ඕනෑ එකක් කිව්වොත් අහන, තමන්ගෙ ඔලුව ඇල්ලුවාම අං අහුවෙන ඉතා සුළු භක්තිවන්තයො ටිකකට කතා කරන පොහොට්ටු පක්ෂෙ සභාපති මිසක් ජාත්‍යන්තරේ අපි දැකපු රාජ්‍යතාන්ත්‍රික විදේශ ඇමති නෙවෙයි.

අපේ රටේ ගැලු විසඳීම සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ දේශීය ආයතනවලටලු. ලංකාව ගැන සාක්ෂි එකතු කළේ සම්පූර්ණ විනිවිදභාවයකින් තොරවලු.

සෑහෙන සිංහනාද වගේ තමයි ඒ මාධ්‍ය හමුවෙදී කියා තිබුණ සමහර දේවල් පෙනුණේ.

හත් දෙයියනේ! ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පෙරේදා ගිහින් එක්සත් ජාතීන්ගේ මහලේකම් මුණගැහුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුව ඇමතුවා. විදේශ ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතුවා. ඇයි තව අගමැතිතුමා එක්ක ඉතාලියේ ගිහින් අර සවුත්තු පුටු දාපු හෝල් එකක ඉඳගෙනත් හිටියේ.

ඉතින් ඔය සිංහනාද ටික ඒ සංචාරවලදී ඉංග්‍රීසියෙන් ඒ අයට දමන්න තිබුණානේ. ලංකාවට ඇවිල්ලා හිරු ටීවී, අද දෙරණ, අයටීඑන් මයික් ටික ඉස්සරහා තියාගෙන ඕවා කියන්නේ අහවල් එකකටයැ?

ඇත්තටම ඔය කියන විමර්ශන ලංකාව විතරක් ඉලක්ක කරලා කරන දේවල්ද? පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ ලෝකෙ රටවල් කීයක් ගැන ඔය විදියේ විමර්ශන කළාද? ලංකාව ගැන වුණත් යුද්ධය ඉවරවෙලා අවුරුදු දොළහකට වැඩි කාලයක් තිස්සේ උඹලා ස්වාධීන විමර්ශනයකින් ඕවා ගැන හොයා බලාපල්ලා කියලා හැමපාරම ඉල්ලීම් කරලා මෙහේ උං කණකට අහන්නේ නැති නිසානේ ජාත්‍යන්තර විමර්ශනේකට යන්නේ. අනෙක සාක්ෂි දෙන අයගේ අනන්‍යතාව ගැන කිසිම තොරතුරක් නෑ කියන එකත් සෑහෙන දුරට බොරුවක්.

අතරින් පතර තමන්ගේ අනන්‍යතාව නොකියා සාක්ෂි දෙන අය ඉන්නවා. මොකද, ඒ අය ආරක්ෂාව ගැන බය නිසා. ඒත් ඔය ගොඩක් සිද්ධි ලංකාවම දන්න ප්‍රසිද්ධ සිද්ධි. අනන්‍යතා හොයන්න දෙයකුත් නෑ. අනෙක ඔය සාක්ෂිවල වුණත් අනන්‍යතාවක් නැති වුණාට සාක්ෂි ඉදිරිපත් කරලා ජාත්‍යන්තර විභාගයක් කළොත් ඒකෙදී විධිමත් විමර්ශනයකින් පස්සේ මිසක් නිර්නාමික සාක්ෂි මත තීන්දු ගන්නේ නෑ.

ඕවා හොඳයි රෑට බත් පිඟාන කන ගමන් ටීවී එකෙන් එයාලා කියන ඕනෑ එකක් කට ඇරන් බලන් ඉඳලා සැනසෙන සාම්ප්‍රදායික අයට. අපි දැක්කා ඔය මහත්තුරු ජාත්‍යන්තරේට ගිහින් කිව්ව එක සහ ලංකාවේ දැන් ඇවිත් ටීවීවලට කියන එක.

ජීඑල් පීරිස් මහතාගේ ප්‍රකාශය පහතින්.

‘කොවිඩ් 19 වසංගතය නිසා උද්ගතවු සියලුම අභියෝග මධ්‍යයේ අපේ රටේ සංවර්ධනය හා  සංහිඳියාව සම්න්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල ලබාගත් ප්‍රගතිය පිළීබඳ සවිස්ථර කරුණු අපි මානව හිමිකම් කවුන්සිලයට අඛණ්ඩව ඉදිරිපත් කළා.  ඒ සම්බන්ධයෙන් අපේ රජය පැහැදිලි කැපවීමක් තිබෙනවා. අපි මේ සියල්ල කරන්නේ  එක කොන්දේසියකට යටත්වයි. අපේ රටේ ගැටලු විසඳිම සම්න්ධයෙන් වගකීම  පැවරෙන්නේ අපේ රටේ දේශීය ආයතනවලටයි.

ශ්‍රි ලංකාවේ ජනතාවගේ අපේක්ෂාවන් අපේ රටේ සංස්කෘතියට අනුකූලව තමයි මේ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් සෙවීමට ඉදිරිපත්වෙලා තියෙන්නේ. ඒ කාර්ය භාර්ය විදේශීය ආයතනවලට පැවරීමට අපි එකඟවන්නේ නෑ. ඒක අපේ රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිය හා සම්ප්‍රදායට අනුකූලව සියලුම රටවල් වලට උස් පහත් භේදයකින් තොරව සමානතාවයෙන් සැලකිය යුතුයි. ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉලක්ක කරගෙන අපේ රටට පමණක් සීමා වූ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අපි කිසිසේත්  එකඟ වන්නේ නැහැ. අපේ රටට විරුද්ධ සාක්ෂි රැස් කරගෙන ඒවා විශ්ලේෂණය කරලා අපේ රට ජාත්‍යන්තර අධිකරණ හමුවට ගෙන යාමට පදනමක් සකස් කිරීමට අපි එකඟ වන්නේ නැහැ.

අපේ රටට විරුද්ධව සාක්ෂි ලබා ගන්නේ සම්පූර්ණයෙන් විනිවිදභාවයෙන් තොරවයි. මේ සාක්ෂි ලබා දෙන අයගේ අනන්‍යතාවය පිළිබඳ කිසිදු තොරතුරක් නැහැ. එම නිසා මේ සම්පූර්ණ ක්‍රියාදාමය ස්වභාවික යුක්තියට පටහැනියි. ඒ නිසා අපි කිසිසේත් මේවා පිළිගන්නේ නැහැ.

අපේ රටට වැදගත් රටවල් සමග අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගට සාකච්ඡා සිදු කළා.

මේ සියලු සාකච්ඡාවල හුදු ප්‍රතිඵලය තමයි අනාගතයේ මේ රටට මුහුණ දෙන්න තිබෙන අභියෝගවලට ඒ රටවල් සහයෝගය ලබා දෙන බවට වන යහපත් ප්‍රතිචාරය අපට ලැබුණා.’