බණ්ඩාරණායක සමරු අස්සේ විහිළු! චන්ද්‍රිකා මාරු වුණා! දයාසිරිට උත්තර නැති වුණා!

හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතාගේ ගුණ සමරුව සැප්තැම්බර් 26 වැනිදා හොරගොල්ල බණ්ඩාරණායක සමාධිය අසලදී පැවැත්වුවා. මෙම උත්සවය එක්තරා ආකාරයකට විහිළු සහගත එකක් වුණේ ශ්‍රීලනිපයේ අද පවතින බෙදීම් නිසා. සමහරු මඟහැරලා යන හැටි, හැමෝම බණ්ඩාරණායක උරුමයට අයිතිවාසිකම් කියන්න උත්සාහ කරන හැටි පේන්න තිබුණා.

උදේම මෙම සමරුවට බණ්ඩාරණායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ සුනේත්‍රා බණ්ඩාරණායක පැමිණ සිටියා. ඒ එක්කම වාගේ කුමාර වෙල්ගම සහ හිටපු උතුරුමැද ආණ්ඩුකාර පේෂල ජයරත්න ඇතුළු ‘නව ශ්‍රී ලංකා’ පක්ෂයේ කණ්ඩායම ආවා.

ඒත්, ඒ පිරිස මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා ටීම් එක බහින්න කලින් එතැනින් මාරු වුණා. ඒක බයේ පැන යෑමකටත් වඩා මුහුණදීමට අකැමැත්තෙන් ඉවත්ව යෑමක් විදියට සලකන්න පුළුවන්.

‘මැඩම් අර කට්ටිය එන්න කලින් අපි යන්නම්.’ කියා වෙල්ගම පිළේ කෙනෙක් කීවා.

ඒ එක්කම ‘ඒ කට්ටිය එන්න  කලින් මමත් යනවා’ යනුවෙන් චන්ද්‍රිකා මැතිණිය කීවා. ‘මට පණිවිඩ දුන්නා කීයටද එන්න ඕනෑ කියලා. මම කිව්වා අපේ පෞද්ගලික වැඩක් තියෙනවා උදේ 8ට. ඒ නිසා ඒ වෙලාවට නම් එන්න එපා 10න් පස්සේ එන්න කියලා. මෙච්චරකල් අපිව එපා වෙලා දැන් හිටපු ගමන් ඕනෑ වෙන්නේ නෑනේ.’

මෙතැනදී මාධ්‍යවේදීන් චන්ද්‍රිකා මැතිණියගෙන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ නෑ. ශ්‍රී ලංකා පක්ෂයෙන් සැමරුම සංවිධානය කළාද වගේ ප්‍රශ්නයක් ඇහුවා විතරයි. ඒවාට ප්‍රතිචාර විදියට මැතිණිය කීවේ මෙහෙමයි.

”පක්ෂයෙන් කවදාවත් සංවිධානය කළේ නැහැ ඒවා කළේ, බණ්ඩාරනායක පවුලෙන් පක්ෂේ බණ්ඩාරනායක නම විකුණාගෙන කෑවා මිසක් කිසි දෙයක් සංවිධානය කළේ, නැහැ . මෙතන. ඔක්කොම කළේ අපි. මැතිණිය ඒවා කරන්නත් ඉඩ සලස්වලා දිලා ගියේ. ඒවා කරනවා. පක්ෂයේ සභාපති ජනාධිපතිවෙලා හිටියා නේ අවුරුදු 5 ක් මෙතනට ආවේ එක සැරයයි. අ නම් එයි. හැම තැනින්ම පන්නලා තියෙන හින්දා. දැන් ආයෙත් බණ්ඩාරණායකලා විකුණගෙන කන්න හදන්නේ.”

ඊට අමතරව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රමුඛ ‘නව ශ්‍රී ලංකා’ කණ්ඩායම පිටව යද්දී ශ්‍රීලනිපය දැන් පංච මහා බලවේගය එක්ක නෙවෙයි, ගජමිතුරු බලවේගය එක්ක වැඩ කරනවා කීවා.

”රටේ ඔක්කෝම දන්නවා අද හතර පස්දෙනෙක් එක්කහුවලා තමයි මේ රටේ සම්පුර්ණ ව්‍යාපාරික කටයුතු කරලා අයුතු ලෙස මේ රටේ මුදල් ගසා කන්නේ ඒ හින්දා මේ රජය කරන්නේ මහජනතාවට නෙවෙයි ඒ ගොල්ලන්ගේ බඩ වඩාගන්න”

ශ්‍රීලනිප පාක්ෂිකයන් එක්ක අලුත් ගමනක් යනවා කියලත් ඔහු කියා තිබුණා. “හිටපු මහ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු මන්ත්‍රීවරු ආදී ගොඩාක් දෙනෙක් අපිත් එක්ක මේ ගමනට එකතු වෙන්න යන්නේ. නායකත්වය දෙන්නේ මම තමයි. වෙන කවුරුත් නෑ.” 

කොහොම වුණත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකල සමීප හිතවතෙක් වූ උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න කීවේ චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය ඔවුන්ගේ අනුශාසක විදියට වැඩ කරනවා කියලා. 

“කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් චන්ද්‍රිකා මැතිනියගේ අනුශාසකත්වයෙන් දැවැන්ත ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ප්‍රතිඥා දුන්නා සමාධිය අසලදී. නිදහස් පක්ෂයේ නායකයින්ට අපිට එකතු වෙන්න පුළුවන්, අපේ ප්‍රතිපත්ති සමග එකඟ වෙනවා නම්. අපි එයාලගේ ප්‍රතිපත්තිවලට යන්නේ නැහැ. එයාලා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති පැත්තකට දාලා තමන්ගේ වාසියට කටයුතු කරනවා.”

කොහොමහරි ඔවුන් ගියාට පස්සේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආවා.

බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනය තුළ එතුමාගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීම බණ්ඩාරනායක මැතිතුමාට කරන ලොකුම ගෞරවය කියලා කිව්වා.

”ඒ නිසා එතුමා ගෙන ගිය දර්ශනය සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම තමයි අපි රට වෙනුවෙන් රටේ අනාගතය ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට කටයුතු කරන්නේ”

කෙසේ වෙතත් ඒ කණ්ඩායමේ හිටපු දයාසිරි ජයසේකර මහතාට ළං වූ ශ්‍රීලනිප පාක්ෂිකයෙක් විවේචනාත්මකව අදහස් දැක්වූ බවත් පෙනුණා. ‘මල් තියලා වැඳලා යන එක නෙවෙයිනේ. බණ්ඩාරණායක දර්ශනයක් තියෙනවානේ. ඒකටනේ අපි ගරු කරන්නේ. චන්ද්‍රිකා මැතිණිය ඉන්නවානේ. එතුමියත් අපි දන්න විදියට වැරැද්දක් කරලා නෑ. මේක ගොඩනගන්න, ඔක්කොමල්ලා එකතුවෙලා මේක ගොඩනගමු.’

යනුවෙන් ඒ පාක්ෂිකයා කීවා. දයාසිරි ජයසේකර මහතා ඒ පාක්ෂිකයාට ළංව, උරහිසට අත තබා ‘කෑගහන්න එපා.’, ‘මං දන්නවා’ ආදී වචන කියමින් මිත්‍රශීලීව ප්‍රතිචාර දැක්වීමත් විශේෂයි. ඔහු උක්ත පාක්ෂිකයාගේ ප්‍රකාශයට උරණ වූ බවක් පෙනුණේ නෑ. කෙසේ වෙතත් ඔහුට දෙන්නට උත්තරයක් නැති වූ බව නම් පැහැදිලියි.

දැන් පේන විදියට හැමෝම කියන්නේ තමන් බණ්ඩාරණායක ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවා කියලා. හැමෝටම දැන් ඕනෑ බණ්ඩාරණාක කේක් එකෙන් තමන්ගේ පංගුව. ඒත්, ඇත්තටම මොකක්ද ඔය බණ්ඩාරණායක ප්‍රතිපත්ති කියන්නේ? ඒක වෙනම උත්තර හොයන්න සිද්ධවෙන ප්‍රශ්නයක්.