ඡන්ද බිල්ලන් තව එයි! ආවා ඩ්‍රාමා එකක්! 5 දෙනෙක් අත්අඩංගුවට

යාපනය දිස්ත්‍රික්කයේ හැටහුටහමාරක් හමුදා කඳවුරු දැම්මත් පාලනය කරගන්න බැරි බව කියන ‘ආවා’ නම් කල්ලියේ තවත් 5 දෙනෙකු තියුණු කඩු තුනක් එක්ක අත්අඩංගුවට ගත්තා කියලා වන්නි ප්‍රාදේශීය මාධ්‍යවේදී රොමේෂ් මධුශංක වාර්තා කරලා.

ඒ සැප්තැම්බර් 01 වැනිදා මරදනාමඩම් ප්‍රදේශයේ වෙළෙන්දෙකුට හානි කිරීමේ සිදුවීමකින් පස්සේ.

ආවා කල්ලිය යන නමින් ක්‍රියාත්මක වෙන පිරිස අසූ ගණන්වල තිබුණු සන්නද්ධ දෙමළ කණ්ඩායම් වාගේ දෙමළ ජනතාවගේ සහයෝගය ලබන සංවිධානයක් නෙවෙයි. ඒ නිසා හරියට ක්‍රියාත්මක වුණොත් මේ කණ්ඩායම මැඩලිය හැකි බව තමයි දෙමළ ජනතාව කියන්නේත්. එහෙත් බොහෝ අයගේ චෝදනාව මේ කණ්ඩායම්වලට හරිහැටි නීතිය ක්‍රියාත්මක නොකර බිල්ලන් මෙන් අනවශ්‍ය බිය මවමින් දිගින් දිගටම ඉන්න බව.

වසර දෙකතුනකට පෙර ආවා කල්ලියේ ප්‍රධානියෙක්යැයි කියා ගනිමින් අද දෙරණ ඇතුළු මාධ්‍ය ආයතනවලට සම්මුඛ සාකච්ඡා දුන්නේ අරුල් සිද්ධාර්ථන් තරුණයා. දැන් ඔහු ආණ්ඩුවට හිතවත් දේශපාලන ක්‍රියාකාරීත්වයක යෙදෙනවා. කොටින්ම කිව්වොත් 2021 නිදහස් උළෙලේදී ඔහු පැවැත්වූ නිදහස් සැමරුමට මාධ්‍ය ආවරණ දෙමින් එහි ඡායාරූප, වීඩියෝ ආදිය මාධ්‍යවලට එව්වේ ශ්‍රී ලංකා යුධ හමුදාව. ඒ කියන්නේ හිටපු ආවා ලොක්කෙක්ට යුධ හමුදා මාධ්‍ය ආවරණය පවා ලැබෙනවා.

ලබන අවුරුද්දේ මුල පළාත් පාලන ඡන්දය මෙන්ම ජාත්‍යන්තර බලපෑම් නිසා පළාත් සභා ඡන්දයද නුදුරේදී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග කියනවා. එවැනි පසුබිමක අනුමාන කළ ලෙසම දෙමළ, මුස්ලිම් ජනතාව කුපිත කරවන සිදුවීම් සහ එයට ප්‍රතිචාර ලෙස සිංහල ජනතාව ආවේගාත්මක ලෙස කුපිත කරවන සිදුවීම් තව තවත් සිදුවේයැයි අනුමාන කළ හැකියි.

මේ වෙද්දී රජයේ මාධ්‍යවලට සහ රජයට හිතවත් මාධ්‍ය ආයතනවලට ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සහභාගී වී ජාතීන් අතර අනවශ්‍ය ගැටුම් ඇතිවෙන ප්‍රකාශ කරන්නට පටන් අරන්.

කොයි මොහොතේ හෝ බෝම්බ එල්ලවෙන බවට දරුණු ප්‍රකාශයක් මෙන්ම පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා අල්ලාහ් දෙවියන් බවට අතිශය දරුණු, ශිෂ්ඨ සමාජයක් අනුමත නොකරන අන්දමේ අපහාසාත්මක ප්‍රකාශයක් එහිමියන් කර තිබෙනවා.

රොමේෂ් මධුශංකගේ පුවත පහතින්.

‘යාපනය දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුලු 05 දෙනෙකු තියුණු කඩු තුනක්ද සමගින් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස් සැප්තම්බර් මස 01 වනදා යාපනය මරදනාමඩම් ප්‍රදේශයෙ පළතුරු වෙළෙන්ඳෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්ද පොලීසිය විසින් සොයමින් සිටි ප්‍රධාන සැකකරුවන් බවටද අනාවරනය වී ඇත.

එමෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේ පුද්ගල පහරදීම්, බියවැද්දීම්, තුවාල සිදුකිරීම් ඇතුලු සමාජ විරෝධී ක්‍රියාවන් රැසකට සම්න්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ ජෙනී සහ දේවා යන අයද අත්අඩංගුවට ගත් අය අතර සිටින බවට පොලීසිය පවසයි.

කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් පිරිසෙන් සිව් දෙනෙකු ආවා කල්ලි සාමාජිකයින් බවටත් එම සාමාජිකයින්ට තියුණු කඩු නිහ්පාදනය කොට ලබාදෙන අයෙකුද එම සිව්දෙනා සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස් යාපනය චුන්නාම්, මල්ලාකම්, මාණිප්පායි සහ කෝපායි ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25 ත් 28 ත් වයස්හි පසුවන අතර ඔවුන් පිළිබඳව වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකිරීම සඳහා චුන්නාකම් පොලීසියට භාරදීමට පියවර ගෙන ඇතැයිද යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ’