බණ්ඩාරණායක ප්‍රතිපත්ති කියා සංග්‍රහගත එකක් නෑ! තියෙන්නේ ‘සිංහල පමණයි’ තමා – අශෝක පීරිස්

තමන් ‘බණ්ඩාරණායක ප්‍රතිපත්ති’ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන අය ගොඩක් ඉන්නවා. ‘බණ්ඩාරණායක’ කියන්නේ මෙරට දේශපාලනයේදී අදටත් පාවිච්චි කෙරෙන නමක්. ඒත් බණ්ඩාරණායක ප්‍රතිපත්ති කියා තනි එකක් තියෙනවාද? ඒකට තේරුමක් තියෙනවාද? කවුරුහරි බණ්ඩාණායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා කීවොත් අපි සතුටු වෙන්න ඕනෑද? දුක් වෙන්න ඕනෑද?

පරිපාලන සේවයේ ඉහළම ගෞරව ලද හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අශෝක පීරිස් මහතා බණ්ඩාරණායක ප්‍රතිපත්ති ගැන මෙසේ කීවා.

‘ඔය සමහර ඒවා ජනසතු කරලා සුද්දන්ගෙන් ගත්තා මිසක් වෙන ප්‍රතිපත්ති කියලා විශේෂ එකක් ඇත්තටම එළියට එන්නේ නෑනේ.

ඔහුගේ ප්‍රතිපත්ති එකට ගොනු කරපු නිශ්චිත ලේඛන, දේශනවල සටහන් ආදී කිසිවක් නැහැනේ. සංග්‍රහගත වෙච්ච එකක් නෑ. ඔහුගේ කාලයේ කරපු දේවල්වල එකතුවක් මිස නිශ්චිත දර්ශනයක්, ප්‍රතිපත්තියක් පේන්න නැහැ.

ඔහුගේ ‘චරකය සහ ගොයම් කෙත’ කියන පොතේ තියෙන්නේ ගාන්ධි කරපු දේ විස්තර කිරීමක්. චරකය කියන්නේ අතින් රෙදි වියපු අත් යන්ත්‍රයනේ. චරකය පාවිච්චි කරලා රට හදන්න අද බැහැනේ.

මුලින් ඔහු ලංකාවේ ජනවාර්ගි ඔහු පටන්ගන්නකොට තිබුණානේ බලය බෙදීම ගැන. ඒ ගැන දේශනයක් කරලා මනුස්සයා තමයි ඉස්සෙල්ලාම. දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කරන්න ඕනෑ වගේ මතයක් තිබිලා 1955 වගේ වෙනකොට ‘සිංහල පමණයි’ මතවාදයට ආවානේ.

එතකොට සර් ජෝන් කොතලාවල ගිහින් ඩෙල්ෆ්ට් දූපතේදී කියා තිබුණා සිංහල-දෙමළ දෙකටම සම තැන කියලා. ඒක මෙහේ ලොකු රැල්ලක් වුණා. පත්තරවල ලොකු කාටූන් දාලා තියෙනවා සර් ජෝන්ව බූරුවෙක් වගේ ඇඳලා දෙමළ මිනිසුන් ඔටුන්නක් දානවා ඔහුට.

මේවා එක්ක බණ්ඩාරණායකට පෙනුණා කතාව මේක නෙවෙයි කියලා. ඒ අනුව සිංහල පමණයි කීවා. යූඇන්පී එකත් අනෙක් පැත්ත හැරිලා සිංහල පමණයි කිව්වා.

ඒ අනුව මා හිතන විදියට බණ්ඩාරණායක ප්‍රතිපත්තියේ මූලය තමයි ඔය සිංහල පමණයි කියන එක. කොල්වින් පස්සේ කීවානේ භාෂා දෙකක් නම් එක රටයි, එක භාෂාවක් නම් රටවල් දෙකයි කියලා.

අපි සීමා නිර්ණය කමිටුව වෙනුවෙන් පුදුකුඩුඉරුප්පු ගියාම කීවේ 1956 දී තමයි සිංහල පමණයි කියලා ඔබ අපව ශ්‍රී ලංකා රාජ්‍යයෙන් එළියට දැම්මේ. අපි තවමත් ඉන්නේ එළියේ. අපව සිංහල රාජ්‍යය ඇතුළට ගන්නේ නැද්ද කියලා.

ඒ කාලයේ සිංහල පමණයි කියන පදනම මත කොළඹ බෝඩ්වල දෙමළ භාෂාවෙන් තිබුණ කොටස් මැකුවා. අග්‍රාමාත්‍ය කාර්යාලය කියන එකේ පවා දෙමළ කොටස මැකුවාලු. වාහන ලියාපදිංචියේදී සිංහලෙන් ‘ශ්‍රී’ අකුර දැම්මේත් ඔහුගේ කාලයේ. බෝඩ් ලෑලිවල දෙමළ කොටස මැකීමට ප්‍රතිචාර විදියට යාපනේ වාහනවල ශ්‍රී අකුරේ තාර ගෑවාලු.

ඒ වෙනුවට සිංහල පමණයි කියන එකේ ජාතිවාදය යන අතරේම ස්වභාෂා අධ්‍යාපනය එක්ක ඉංග්‍රීසි දන්නේ නැති පරම්පරාවකුත් ලංකාවේ හැදුණා. ලංකාවේ රාජ්‍ය සේවයේ තිබුණු අභිමානය සීමා වුණේත් එතැනින්.

අද දක්වා ඉංග්‍රීසි භාෂා ප්‍රශ්නයට විසඳුමක් නෑනේ. දැන් කියවන මිනිස්සුත් කියවන්නේ සිංහලෙන් විතරයි. ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනයක් ආවොත් තමයි කියවන්න පුළුවන්. ඒක හිතලා ගහපු දෙයක් වගේ. ග්‍රාමීය ප්‍රජාවට දැනුම අහිමි කිරීමක්. මේ භාෂා දැනුම නැතිකම අද විශාල පන්ති ප්‍රශ්නයකුත් වෙලා. අද ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමඟ පිළිසඳරට ගිහින් ප්‍රශ්න ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරන්න කියනවා. පරිපාලන සේවයේත් හිටපු සමහර අයට ඉංග්‍රීසි දැනුම නැති නිසා ඉදිරියට යන්න බැරිව ඉන්නවා.

බණ්ඩාරණායක ගැන කියෙව්වාම ඔහුගේ ප්‍රතිපත්ති කියලා දෙයක් ගන්න පුලුවන් කියලා හිතමුකෝ. හැබැයි 1970 ඉඳලා අවුරුදු හැත්තෑවකට පස්සේ එදා තිබුණ ආර්ථික, සමාජ, දේශපාලන තත්වයන් වෙනස් වුණාට පස්සේ අදට ඇප්ලයි කරන්න පුළුවන්ද?

ඒක තමයි ඔතැන තියෙන මූලධර්ම ප්‍රශ්නය. ඔය යටත් විජිත තත්වයෙන් නිදහස් වෙලා අවුරුදු අටකට පස්සේ. යටත් විජිත රාමුවෙන් එළියට එන එක තමයි ඒ වෙලාවේ තිබුණ ප්‍රධානම වැඩේ. අපි හිතමු ඔහු ඒකෙන් මිදෙන්න ප්‍රතිපත්ති හැදුවා කියලා එදාට. හැබැයි ඒකෙන් පස්සේ අවුරුදු හැත්තෑතුනක් ගියාට පස්සේ ඒ ප්‍රතිපත්ති වලංගුයි කියලා කියනවා නම් මං හිතන්නේ කියන කෙනාගේ මොළේ පරීක්ෂා කරන්න එපායැ.

අනෙක එහෙම හරයාත්මක දේකුත් නෑ ඒ ප්‍රතිපත්තිවල. මම ළඟදී කියෙව්වා බ්‍රැඩ්මන් වීරකෝන් ලියූ අරලියගහ මන්දිරයේ ස්පන්දනය කියලා. 1958 කලබල ඇතිවුණ වෙලාවේ උඩරට වතුකරයට පවා ගහලා තියෙනවා. ලංකාවේ හිටපු ප්‍රකටම මාධ්‍යවේදියෙක් වන ටාසි විට්ටච්චි පොතක් ලියලා තියෙනවානේ 1958 හදිසි අවස්ථාව කියලා. ඒ වෙලාවේ හැටන් ආදී ප්‍රදේශවල වතුකරයේ දෙමළ මිනිසුන්ට පවා ගිහින් ගැහුවා. ඕවා තමයි බණ්ඩාරණායක ප්‍රතිපත්තියේ කෑලි.

ඉස්සෙල්ලාම ජාතිවාදයේ ලොකුම කලබලය ආවේ ඔය වෙලාවේනේ. ඒක බණ්ඩාරණායක මහතාට පාලනය කරගන්නත් බැරිව ගියානේ. අර සිවානන්දන්ගේ පොත ‘මතක මියඇඳන සඳ’ කියලා සිංහලෙන් ගහලා තියෙනවා. ඒකේත් ඔය කෑල්ල තිබුණා.

මීට අමතරව යාපනයේ දිසාපති ලෙස කටයුතු කරපු නෙවිල් ජයවීර ලියපු පොතේත් තියෙනවා බණ්ඩාරණායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරපු හැටි. ඒකේ තියෙන්නේ මැතිණිගේ කාලේ දේවල්. බදුල්ල දිසාපති විදියට හිටපු නෙවිල් ජයවීරට කතා කරලා යාපනේ යැව්වා. භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න යැව්වේ.

වඩා නිවැරදිව කීවොත් බණ්ඩාරණාක සමයේ ආපු ‘සිංහල පමණයි’ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න තමයි නෙවිල් ජයවීරව දිසාපති විදියට පත් කළේ.

ඔය භාෂා ප්‍රතිපත්තිය නිසා දෙමළ මිනිසුන්ට සිංහලෙන් ලියුම් ලැබීම ආදිය සිද්ධ වුණා. මිනිසුන්ට ලියුමක් තේරුම් ගන්න සිංහල පරිවර්තකයෙක්ව හොයාගෙන යන්න වුණා.

භාෂා ප්‍රතිපත්තිය හැරුණාම බස් ජනසතු කිරීම ආදියෙන් පෙනෙන්නේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිපත්තිය විදියට හඳුන්වන්න පුළුවන්. ඒත් ඒක අද ලංකාවේ හරියට නෑනේ. දැන් කියන්නේ රජය ව්‍යවසාය ක්ෂේත්‍රයෙන් හැකිතාක් අයින් වෙන්න කියලානේ. නීතිය හා සාමය, මහජන සෞඛ්‍ය ආදිය හැරුණාම ඉතිරිවා පෞද්ගලික අංශයේ තියලා නියාමනය කරන්න කියලානේ කීවේ. මේකෙන් ගැලවෙන්න බැරිව චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිගේ කාලේ කිව්වේ විවෘත වෙළඳපොළට මානුෂීය මුහුණුවරක් දෙනවා කියලානේ.

ඒ කියන්නේ ඒ කාලයේ පවා වෙළඳපොළ ක්‍රමයට ගියේ. රාජ්‍ය ව්‍යවසාය ක්‍රමයට නෙවෙයි.

පංච මහා බලවේගය පටන්ගන්නේ ‘සඟ’ කියන බලවේගයෙන්නේ. ඒත් අද රාජ්‍ය පාලනයට සංඝ මැදිහත්වීම් ප්‍රශ්නයක් වෙලානේ තියෙන්නේ. ජාතිවාදී ගින්දර අවුළුවන්න සංඝයා අද පාවිච්චි කරනවානේ. එදා හිටියේ කැළණියේ විද්‍යලංකාර පිරිවෙනේ හාමුදුරුවරුන්. වල්පොල රාහුල, මඩිහේ පඤ්ඤාසීල වගේ හිමිවරුන්.

අපේ ගම් පළාත්වල මාමලා හෙම හිටියා ගුරුවරුන්. සම සමාජ පක්ෂයේ. සඟ,වෙද,ගුරු,ගොවි, කම්කරු එද්දී ඔවුන් ඔක්කෝම බණ්ඩාරණායක පැත්තට ගියා. සංඝයා හැරුණාම ගුරුවරුන් තමයි ලොකු කාර්යභාරයක් කළේ.

ඒ වෙලාවේ ප්‍රගතිශීලීයි කියලා කියන්න පුළුවන් වැඩත් ඔහු කරපු බව ඇත්ත. ඔය කාලයේ රාජ්‍යය සම්පූර්ණයෙන් යටත් විජිත ආකෘතියක තිබුණේ. රජයේ ආයතනවල ඔෆිස් පවා තිබුණේ යටත් විජිත ක්‍රමයට. ඒක වෙනස් කළේ බණ්ඩාරණායක. ඒත් වෙනස් කරනවා කියලා සම්පූර්ණයෙන් අනෙක් පැත්තට ගියේ. ඒත්, දීර්ඝකාලීනව හානිකර සිදුවීම් තමයි වැඩිපුර තිබුණේ.’