යූඇන්පීය අභයාරාම අල්ලාගනී? වජිර ඩීල් එකක්

නාරාහේන්පිට අභයාරාමයේ යූඇන්පීය මාධ්‍ය සාකච්ඡා තියන්න බලාපොරොත්තු වෙනවාලු. මේක ඒ පක්ෂයේ වැරදි දේශපාලන ගමන ගැන තීරණාත්මක සංකේතයක්.

මෑතකාලීනව එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පුරුදු ප්‍රතිපත්තිවලින් බැහැරව ‘ව්‍යාජ ජාතිකවාදී’ රැල්ලකට මාරු වෙන්නට උත්සාහ කරන බව පෙනෙන්නට තිබුණා. හාමුදුරුවරුන් මුණගැසෙමින් ‘බෞද්ධකමට මුල් තැන දෙන’ සුපුරු දේශපාලන ගැලරි ටෙලිනාට්‍ය ආකෘතියට එක්සත් ජාතික පක්ෂයත් මාරු වෙන බව පෙනුණේ වජිර අබේවර්ධන සහ රනිල් වික්‍රමසිංහගේ සමීප සම්බන්ධය එක්ක.

මෛත්‍රී-රනිල් ආණ්ඩුව 2015 ජනවාරි 08 වැනිදා බිහිවීමෙන් පස්සේ ශ්‍රීලනිප කාර්යාලයේ අයිතියත් ආණ්ඩුව සතු වුණා. මාස කිහිපයක් තිස්සේ නිහඬව සිටි මහින්ද පිළට 2015 මුල්ම කාලයේ හඬක් වුණේ විමල්,වාසු, උදය ප්‍රමුඛ පිරිසගේ හඬ. ඔවුන් මාධ්‍ය හමු පැවැත්වුවේ ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ දේශපාලනයට පැමිණි විගස නාරාහේන්පිට අභයාරාමය මාධ්‍ය හමු පවත්වන ප්‍රධාන කේන්ද්‍රය වුණා. එදා ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්, මාධ්‍ය හමු ආදිය පැවැත්වීමට භූමිය වුණේ එතැන. දැන් එක්සත් ජාතික පක්ෂය එතැන සාකච්ඡා පැවැත්වීම සංකේතාත්මකව ඉතා ප්‍රබල දෙයක් වේවි. ඒත් එක්සත් ජාතික පක්ෂයේ කලින් තිබුණ දේශපාලන දැක්ම වෙනුවට එදා රාජපක්ෂලාට තිබුණ ජාතියේ පටු දැක්මෙන් ඒ පක්ෂය කටයුතු කරනු ඇතිද යන්න දැන්ම හිතාගන්න බැහැ. පෙනෙන විදියට වජිර අබේවර්ධන උත්සාහ කරන්නේ එවැන්නකට.

අරුණ පත්තරයේ වාර්තාවේ මෙසේ සඳහන්.

‘නාරාහේන්පිට අභයාරාමය නම දැන් ප්‍රසිද්ධියට පත් වූයේ ආමික පුදබිමට වඩා දේශපාලන සටන් බිමක් ලෙසය. වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා යහපාලන රජය සමයේ මාධ්‍ය හමු පැවැත්වූයේ මෙම පන්සල් භූමියේය. එහෙත් එක්සත් ජාතික පක්ෂයටද මෙවර මාධ්‍ය හමු පැවැත්වීමට විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවසර දී තිබිණි. පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් විහාරාධිපති හිමියන් ඊට අවසර දී ඇත. ප්‍රථම මාධ්‍ය හමුව වජිර අබේවර්ධන විසින්ම පවත්වන ලදී.’