ආණ්ඩුවෙන් සමරන්න ඉඩ නොදෙන, තිලීපන් කවුද?

ත්‍යාගරාජා තිලීපන්. ත්‍යාගි තිලීපන් කියන්නේ කවුද? ඉතා සරල බසින් කීවොත් ලංකාවේ ඉතිහාසය වෙනස් කරපු චරිතයක්. අපේ ඉස්කෝලේ පෙළපොත්වලදී පවා උගන්වන්න ඕනෑ, ඒත් උගන්වන්නේ නැති චරිතයක්.

තිලීපන් සමරන්න මෙච්චර දෙමළ මිනිසුන් දඟලන්නේ ඇයි? ඒක වළක්වන්න සිංහල හමුදාව දඟලන්නේ ඇයි? අපි කතා කරන්න යන්නේ තිලීපන් ගැන. ඉතාම ඓතිහාසික කරුණු එක්ක ඔබ දැනගන්නම ඕනැ චරිතයක් ගැන දැනගන්නම ඕනෑ කාරණා ගණනාවක් අපි මේ වීඩියෝවෙදී කතා කරනවා.

පහුගිය දවස් කිහිපයේ උතුරු-නැගෙනහිර පළාත්වල තිලීපන් සමරුවලට ඉඩ නොදී, මර්දනය කරපු අවස්ථා වාර්තා වුණා. ඒ අතරේ සැප්තැම්බර් 23 වැනිදා සෙල්වරාජා ගජේන්ද්‍රන් කියන මන්ත්‍රීවරයා තිලීපන් සමරුවක් කළා කියලා අත්අඩංගුවට ගත්තා. ඒ අනුව 2020 අවුරුද්දේ වගේමයි. තිලීපන්  සමරු තහනම්. උසාවි නියෝග, බාධා කිරීම් සිද්ධවෙනවා. 2020 දී තිලීපන් සමරු තහනම් කළාම දෙමළ ජනතාව ලොකු හර්තාල් එකක් කළා. කඩ වහලා. ඒකෙනුත් පස්සේ මේ අවුරුද්දේ මුල පී2පී කියලා දැවැන්තම පා ගමනක් ගියා.

2010 දී යාපනය නල්ලුර් කෝවිල ඉස්සරහා තිලීපන් උපවාස කරපු තැන තිබුණ ස්මාරකය ආණ්ඩුවෙන් කඩා දැම්මා. අදටත් ඒ සමරුවේ ඉතිරි කොටස තිලීපන්ගේ සමරුව විදියට සලකනවා. ඒ නිසා මිනිසුන් එතැන පහන් පත්තු කරමින් සැමරුම් කරනවා.

ලොකුම විහිළුව

මේ සැමරුම් මර්දනය කිරීම පිටිපස්සේ තියෙන ලොකුම විහිළුව මේකයි.

මීට දවස් ගාණකට කලින් කොටි සංවිධානය වෙනුවෙන් ආයුධ අතට අරන් සටන් කරපු මිලිටරි නායයෙක් වෙච්ච පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්න් මහතා සතොස ශාඛාවක් ඕපන් කරන හැටි අපි දැක්කා. සෙනඟ පිරිවරාගෙන, මල් මාලා දාගෙන ඔහු ඒවා කළා. නිරෝධායන නීති ගැන ඒ වෙලාවේ කවුරුත් කතා කළේ නෑ. වසංගතය පැතිරෙනවා කියලා උසාවි නියෝග ගත්තේ නෑ.

ආයුධ අතට අරන් මිනිසුන් මරපු නායකයෙක් එහෙම කරද්දී, පොදුවේ ගත්තාම පිල්ලෙයාන්, කරුණා අම්මාන් වගේ හිටපු සන්නද්ධ නායකයන් ඡන්දෙ ඉල්ලමින් දේශපාලනය කරන රටක් මේක.

ඉතින් අවිහිංසාවාදී උපක්‍රමයක් පාවිච්චි කරමින්, උපවාසයකදී මරණයට පත් වුණ තිලීපන් සමරන එක තහනම් වෙන්නේ ඇයි?

අනෙක දැන් මේ ඔක්කොම වෙන්නේ සංහිඳියාව වෙනුවෙන් වැඩ කරනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉස්සරහා දහ අතේ දිවුරද්දී.

එවැනි පසුබිමක අපි තිලීපන්ගේ උපවාසයේ ඉතිහාසයට හැරී බලමු. මේ ගැන අපි කරුණු එකතු කරද්දී ප්‍රධාන මූලාශ්‍රය විදියට පාවිච්චි කළේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයෙන් ප්‍රකාශයට පත් කරපු ‘බිඳුණු තල් රුක’ පොත. මේක රාජන් හූල්, දයා සෝමසුන්දරම්, කේ ශ්‍රීධරන් සහ රාජිණී තිරාණගම කියන විද්වතුන් එකතු වෙලා ලියපු පොතක්. කොටි සංවිධානය ඇතුළු ආයුධ සන්නද්ධ කණ්ඩායම්, ශ්‍රී ලංකා රජය, ඉන්දියාව වගේ හැම පාර්ශ්වයකම වැරදි, අඩුපාඩු ගැන විවේචනාත්මකව මධ්‍යස්ථාව ලංකාවේ යුද්ධය ගැන ලියපු පොතක් ඒක.

උපවාසයේ ආරම්භය

තිලීපන් සැප්තැම්බර් 15 වැනිදා නල්ලූර් කන්දසාමි කෝවිල ඉදිරිපිට තමන්ගේ උපවාසය පටන්ගත්තා. ඉතා තීරණාත්මක කතාවක් එක්ක ඔහු උපවාසය ආරම්භ කළේ.

සිංහල හමුදා කඳවුරු දෙමළ පළාත් වලින් ඉවත් කර ගත යුතුයි, දෙමළ ජනතාවගේ පළාත්වල තාවකාලික දෙමළ ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපන වැඩ තාවකාලිකව අත්හිටවිය යුතුයි, දෙමළ ජනතාවට අයිති ගම් පළාත්වල සිංහලයන් පදිංචි කරවීම කරගෙන යාම නැවැත්විය යුතුයි, දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කළ යුතුයි, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ආරක්ෂක මූලස්ථාන වල සිටින දේශපාලන රැඳවුම්කරුවන් වහා නිදහස් කළ යුතුයි ඇතුළු ඉල්ලීම් තිලීපන් ඉදිරිපත් කළා.

තිලීපන්ගේ කතාව

‘ජාතික උද්යෝගය උත්සන්න වීමේ සලකුණු පෙනුණු හැම විටම අපේ සතුරෝ එම උද්යෝගය හීන කිරීම් වස් ගිවිසුම් පිළියෙල කොට ඇත. අද ඉන්දු ලංකා ගිවිසුම මගින් අදහස් කරනු ලබන්නේ විමුක්තිය සඳහා වූ අප ජනතාවගේ පිපාසය යටපත් කර දැමීමයි.’

‘මේ කොටුවේ පළමු පදිංචිකරුවෝ වූවෝ ලන්දේසීහුය. ඔව්හු අප වහලුන් බවට පත් කළහ. ඊළඟට එලෙසම පැමිණියෝ සිංහලයෝය. දැන් අළුත් ගිවිසුම් හා අළුත් පොරොන්දු රැගෙන ඉන්දියානුන් පැමිණ ඇත. අපේ අරමුණ වනුයේ ඉන්දියානුවන් පළවා හැර අපේම නිදහස් ධජය මේ කොටුව මත එසවීමයි.’

ඔහුගේ කතාවේදී එවැනි අදහස් කියා තිබුණා.

ප්‍රචාරක ව්‍යාපාරය

තිලීපන්ගේ උපවාසය වටේට සංවේගය මතුවෙන විදියේ කැම්පේන් එකක් කරන්න කොටි සංවිධානය උපරිම මහන්සි වුණා. සම්පූර්ණ සංවිධාන ශක්තිය ඒකට යෙදෙව්වාලු. ශබ්ද විකාශන යන්ත්‍ර සෙට් කරපු වාහන තැනින් තැන ගිහින් තිලීපන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කළාලු. ‘තිලීපන් අන්නා’  ගැන ලොකු හැඟීමක් යාපනය පුරා හැදුණා. තිලීපන්ට සපෝට් කරමින් හර්තාල් බිහි වුණා.

හැබැයි ඒක ඉබේම වුණ දෙයක්ද? නෑ. ඒ වෙද්දී ඉන්දියන් හමුදාව කරමින් හිටපු දේවල්, ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය තිලීපන් වෙත සංවේගය ඇති කරන්න හේතු වුණා.

ඒත් පුදුම හිතෙන විදිය දේ තමයි දින ගතවෙද්දී තිලීපන්ගේ සිහිය ටිකෙන් ටික නැතිවෙමින් යද්දීත් ඔහු සටන අල්ලාගෙන ඉඳීම. ටිකෙන් ටික ඔහුට කතා කරන්නත් අමාරු වුණාලු. ඒ වෙද්දී ඔහු මිමිණුවේ තමන් මරණයෙන් පස්සේ දිව්‍යලෝකයට ගිහින් ඊළම බිහිවෙන හැටි බලා ඉන්න බවලු. ඒ වගේම තිලීපන්ගේ සමුගැනීම දෙමළ ආගමික සැමරුම් එක්ක තමයි වට වෙලා තිබුණේ.

සැප්තැම්බර් 26 වැනිදා තිලීපන්ගේ සමුගැනීමත් එක්ක ලොකු පිපිරීමක් සිද්ධවෙනවා වෙනුවට ඉතාම නිවුණු, කම්පනය වුණ ස්වරයක්ලු තිබුණේ. තිලීපන්ට අමාරු බව හැමෝම දන්න නිසා එකතු වෙලා හිටපු මහා සෙනඟ නොසන්සුන් වෙලාලු හිටියේ. මොකද වෙන්නේ කියලා දැනගන්න හැමෝටම ඕනෑ.

අන්තිමේ දුර්වලව හිටපු තිලීපන්ගේ නාඩි පරීක්ෂා කරලා දොස්තර සංඥා කළාලු ඔහු අවසන් හුස්ම හෙළූ බව. තිලීපන්ගේ තාත්තාගේ හැඬීමලු මුලින්ම පටන්ගත්තේ. ඒත් එක්කම එකතු වෙලා හිටපු මහා ජනකාය අඬන්න පටන් අරගත්තාලු.

ඓතිහාසික බලපෑම

තිලීපන්ගේ උපවාසය ලංකාවේ ඉතිහාසය වෙනස් කළේ කොහොමද? මීට මාස තුනකට විතර කලින් තමයි ඉන්දු-ලංකා ගිවිසුම ජේ.ආර්. ජයවර්ධන- රජීව් ගාන්ධි කියන නායකයන් අතර අත්සන් කෙරුණේ. ඒ අනුව ලංකාවට බලය බෙදපු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් හඳුන්වාදීම ඇතුළු දේශපාලන විසඳුම් නියම කෙරුණා.

මේ දේශපාලන විසඳුම් රට පාවාදීමක් විදියට සිංහලයන් අතර ලේසියෙන් මතය පැතිරුණා. ඒත්, දෙමළ මිනිසුන් අතර ලේසියෙන් මේකට විරෝධයක් මතු වුණේ නෑ. දෙමළ මිනිසුන් ඉන්දියාවේ මැදිහත්වීම ඉතා සතුටින් බාරගත්තා. කොටි සංවිධානය ආයුධ බිමින් තියන්න නියමිත වුණා.

තිලීපන්ගේ ඉතිහාසයට මාසෙකට කලින් අගෝස්තු මාසයේදී ආයුධ බිම තැබීම වෙනුවෙන් ඉන්දියාවේ හිටපු ප්‍රභාකරන්ව ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් යාපනයට ගෙනාවා. සුදුමලෙයිවලදී ඔහු ජනතාව අමතා කතාවක් කළා. ඒ කතාවේ කොටස් අන්තර්ජාලයෙන් බලන්න වුණත් පුළුවන්. මේ කතාවේදී පෙනුණේ ඔහු ආයුධ බිමින් තියන්න කැමති නැහැ කියලා. ඔහු ඉන්දියාවේ බලපෑම නිසා ආයුධ බිමින් තියන්න සිද්ධවෙන අසරණ නායකයෙකුගේ චරිතයට තමයි පණ පෙව්වේ. ඔහුගේ ශරීර භාෂාව, කතාවේ පාවිච්චි කළ වචන සැලකුවත් ඒ සානුකම්පාව දිනාගැනීමේ වුවමනාව පේන්න තිබුණා.

ඒත්, අනුකම්පාව වෙනුවට ඔහු ආයුධ බිමින් තියන බව කියද්දී එකතුවෙච්ච දෙමළ මිනිසුන්ගෙන් ආවේ ඔල්වරසන් නාදය. බිඳුණු තල්රුකේ තියෙන විදියට මේ මිනිසුන්ගේ ප්‍රතිචාරය නිසා එක මොහොතකට ප්‍රභාකරන්ගේ මුහුණේ කේන්තියක සේයාවකුත් මැවුණාලු.

ඔය විදියට ඉන්දීය මැදිහත්වීම සාදරයෙන් පිළිගත්ත දෙමළ ජනතාවට ඊට පස්සේ මුහුණදෙන්න වුණේ හොඳ අත්දැකීම් නෙවෙයි. මේ ගැන විවිධාකාර මූලාශ්‍රවල විවිධ අදහස් තියෙනවා. ඒත් සරලව කීවොත් ඉන්දීය හමුදාවේ හිංසාකාරී ක්‍රියා නිසා දෙමළ ජනතාවට සියල්ල එපා වුණා. ඉන්දියාව තමන්ව පාවාදුන් බව හැඟුණා. ඒ අතරේ කොටි සංවිධානය ඉන්දු ලංකා ගිවිසුම අනුව දෙන්න ලෑස්තිවෙන විසඳුමට හරස් කොන්දේසි දැම්මා.

තිලීපන්ගේ උපවාසය පටන්ගත්තේ ඔය පසුබිමේ. තිලීපන්ගේ උපවාසය ටික දවසකින් නතර වේවි කියලා ඉන්දියාවත් හිතන්න ඇති. ඔහු මැරෙනතුරු ඉල්ලීම්වලට විසඳුම් ආවේ නෑ. මේ පසුබිමේ තිලීපන්ගේ උපවාසය ඉන්දීය හමුදාව ගැනත්, දේශපාලන විසඳුම් ගැනත් දෙමළ ජනතාවගේ බලාපොරොත්තු කඩ කරන තැනට හේතු වුණා.

තිලීපන් ඉන්දියන් මැදිත්වීම් දෙමළ සටන අඩපණ කරන වැඩක් කියලා කීවානේ. ඒක මිනිසුන්ට තදින්ම වැදුණා. අන්න ඒ නිසයි තිලීපන් ලංකාවේ ඉතිහාසය වෙනස් කළේ.

අවිහිංසාවද?

තිලීපන්ගේ අරමුණ අවිහිංසාවාදීද නැද්ද කියන එක මොනවා වුණත්, කොටි සංවිධානය මොන මතවාදයේ හිටියත් එක දෙයක් පැහැදිලියි.

ඒ තමයි තිලීපන් තමන්ගේ සටනට තෝරාගත්ත ක්‍රමය.

ඒ මොහොත අවිහිංසාවාදයේ මොහොතක්. මිනිසුන් ඒ වෙලාවේ කම්පා වුණ විදිය, ඒක බාරගත්ත මොහොත අවිහිංසාවාදයේ අවස්ථාවක්. අනුන්ට හිංසා කරනවා වෙනුවට උපවාසය සටන් උපක්‍රමයක් විදියට පාවිච්චි කරපු අවස්ථාවක්. ඒ නිසා අද තිලීපන්ව සැමරීම තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් ජීවිතය අහිමි කරන්න තරම් කැපවීමක් සැමරීමක්. ඒ නිසා අපි හිතන්නේ තිලීපන්ව සැමරීම කියන්නේ දෙමළ ජනතාවගේ අවිහිංසාවාදී උරුමය සැමරීමක්.

යුද්ධයට පසුබිම

නිදහසෙන් පස්සේ ලංකාවේ පාලනයට දෙමළ අයව තෝරගත්තේ නෑ. දෙමළ අයගේ පැත්තෙනුත් හරි මධ්‍යස්ථ පාලනයකට ඕනෑ වෙන පසුබිමක් හැදුණේ නැහැ.

ඒ මදිවාට බොහෝදුරට දෙමළ ජනතාව මර්දනය කරන සිංහල රාජ්‍යයක් බවට ලංකාව හැරුණා. හැත්තෑ ගණන් වෙද්දී මේක තවත් දරුණු වුණා. සිරිල් මැතිව් වගේ දේශපාලනඥයන් සිංහල මිනිසුන්ගේ ලේ අවුස්සන චෝදනා දෙමළ අයට එල්ල කළා. දෙමළ අයගේ පැත්තෙන් හිතුවේ

හැත්තෑනවයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත වුණා. ටික දවසක් ඇතුළත උතුරට හමුදාව ගියා. දෙමළ තරුණයන් හයදෙනෙක් අතුරුදන් කළා.

සාමකාමී උද්ඝෝෂණවලට පහරදීම්, පුද්ගල ඝාතන වගේ දේවල් සිද්ධ වුණා. අසූතුනේ කළු ජූලිය සිද්ධ වුණා.

දශක ගාණක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය, අවිහිංසාවාදී ගාන්ධිවාදී ප්‍රතිපත්තිවලින් දෙමළ ජනතාවට යහපතක් හොයපු පරණ දේශපාලන පක්ෂ මිනිසුන්ට එපා වෙමින් හිටියා. ඒ වෙනුවට ආයුධ අරගත්ත අරගලයකට දෙමළ මිනිස්සු යොමු වුණා.

ඒ අනුව තිලීපන්ගේ උපවාසය වෙද්දීත් කොටි සංවිධානය අවිහිංසාවාදී පාරට සම්පූර්ණයෙන්ම පරස්පර පාරේ යමින් හිටියේ. 1985 දී අනුරාධපුරේදී අහිංසක සිංහල මිනිස්සු ඝාතනයක් කළා. 1986 දී ප්‍රහාර ගණනාවක් එල්ල කළා. කටුනායක ගුවන් තොටුපලේදී එයාලංකා යානයක් විනාශ කළා, කොටුවේ මධ්‍යම විදුලි සංදේශ කාර්යාලයේ පිපිරවීමක් කළා. අලියා කම්පැණියට, අනුරාධපුරේ ඛනිජ තෙල් සංස්ථා ගබඩාවේ ආදී වශයෙන් බෝම්බ පිපිරෙව්වා.

1987 අප්‍රේල් 16 වැනිදා අලුත් අවුරුදු සමරලා ආපහු යමින් හිටපු 150 දෙනෙකු මරා දැම්මා.

අපි දැන් කතා කරන අප්‍රේල් 21 ප්‍රහාරය තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය. ඒත් 1987 අප්‍රේල් 21 වැනිදා පිටකොටුව බස් නැවතුම්පළේ බෝම්බයක් පිපිරෙව්වා.

ෆැසිස්ට්වාදය

ඒ හැරුණාම ටෙලෝ සංවිධානය ප්‍රමුඛව කොටි නොවන අනෙක් සංවිධානවලට විරුද්ධව දැවැන්ත මර්දනයක් දියත් කරලා තිබුණා. සමහර ටෙලෝ සාමාජිකයන් ඝාතනය කළේ නින්දේදීලු. ඒ වගේම ටෙලෝ සංවිධානය මර්දනයටත් දෙමළ මිනිසුන්වම ඝාතනයටත් හේතුව විදියට කිව්වේ ඉන්දියාවට සපෝට් කිරීම. ඒ විතරක් නෙවෙයි, ඒ වෙද්දී කොටි සංවිධානයට එරෙහි අදහස් ප්‍රකාශ කිරීම් තහනම් කරලා නීති දාලා තිබුණේ.

සම්පූර්ණයෙන්ම කොටි සංවිධානය ආගමික භක්තියෙන් අදහන තැනට දෙමළ මිනිසුන් තල්ලු කරමින් හිටියේ. කොටි සාමාජිකයෙක් මැරුණාම විරුවෙක් විදියට දිව්‍යලෝකයට යන බව කිව්වා. එහෙම මරණයකදී වාහනවල පීකර් බැඳගෙන ආගමික ස්වරූපයේ ගීත වාදනය කළා. කෙහෙල් කඳවල් කපලා, මරණවලට පාරවල් සැරසුවා. තිලීපන් කියන්නේ ඒ අතරින් වැඩිපුරම ආගමික මට්ටමේ ඇගයීමට ලක් වූ කෙනෙක්.

කොහොමහරි සරලව කීවොත් ඒ වෙද්දී දෙමළ මිනිසුන් අතරින්ම ෆැසිස්ට් බලවේගයක් හැදිලා තිබුණේ. ‘මහවිරු’ සංකල්පයත්, දෙමළ අයිතිය වෙනුවෙන් සටන් කරන්නන් දෙව්ලෝකවලට යනවා වගේ අදහස් පද්ධතිත් සෑහෙන දුරට ෆැසිස්ට්වාදී අදහස්.

ඔවුන්ගේ පැත්ත

ඒත් ඔතැන අනෙක් කතාව තමයි දෙමළ මිනිසුන්ට තිබුණ ඔප්ෂන් එක තමයි ඒ සංවිධානයට පක්ෂපාතී වෙන එක. මොකද, අඩුපාඩු තිබුණත් නැතත් ඔවුන්ට සිංහල ආණ්ඩුවකට වඩා ආරක්ෂිත බව දැනුණේ ඒ පාලනය. මහා දේශපාලන විග්‍රහ, ගැඹුරු දේශපාලන සංකල්ප ගැන තේරුම් ගන්න ඔවුන්ට ඉඩක් තිබුණේ නෑ.

හැම පැත්තෙන්ම තුවක්කු කටවල් එල්ල වෙච්ච, පීඩාකාරී මොහොතක ඔවුන්ටත් තුවක්කුවම විසඳුමක් වෙන හැටි අමුතුවෙන්  තේරුම් ගන්න දෙයක් නෑ.

හිංසනයේ අඳුර මැද

තිලීපන් කියන්නේ ඒ ෆැසිස්ට් සංවිධානය වෙනුවෙන් පෙනී හිටපු, සමහර තැන්වලදී මිනිස්සුන්ට හිංසා කරන වැඩවලට සහභාගී වෙච්ච කෙනෙක්. කොටින්ම කීවොත් ඔහු උපවාසයට කලින් කරපු කතාවේදී පවා ආයෙමත් ආයුධ අතට ගන්න වුණොත් ගන්න බව ප්‍රකාශ කරනවා.

ඒ නිසා කොහෙත්ම ඔහු ගාන්ධිට සමාන නැහැ. ඔහු අවිහිංසාව විශ්වාස කරපු බවත් හිතන්න බැහැ. කොටි සංවිධානයත් තිලීපන්ගේ උපවාසයෙන් අවිහිංසාවාදී පාරට යන ගමන් නෙවෙයි හිටියේ. අවිහිංසාවාදය කියන්නේ ස්විච් එකක් වගේ ඔන් ඕෆ් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ඒත් අන්තිමේ අපි බලන්න ඕනෑ හිංසනයේ අඳුරෙන් සම්පූර්ණයෙන්ම වැහිච්ච කාලෙක තිලීපන්ගේ ක්‍රියාවෙන් සංකේතවත් වුණේ මොකක්ද කියන එක. හිංසනයේ අඳුර මැද්දට අවිහිංසාවේ ආලෝකය වැටුණ අවස්ථාවක් තමයි තිලීපන්ගේ උපවාසය.

බෝම්බ සහ තිලීපන්

අහිංසක සිංහල මිනිසුන්ට මේ බෝම්බ පුපුරවාගැනීමෙන් තමන්ගේ ප්‍රශ්නය ‘තේරුම් කරලා’ දෙන්න කොටි සංවිධානය හිතුවාලු. මේ ප්‍රශ්නය මඟහරින්නේ නැතිව ඒ ගැන කල්පනා කරන්න පොළඹවන්න හිතුවාලු. ඔව්, ඇත්තටම සිංහල මිනිසුන් ඒ ගැන හිතන්න පෙළඹුනා. ලංකාවේ ලොකුම ප්‍රශ්නය විදියට ඒක සලකන්න පෙළඹුණා.

ඒත් සම්පූර්ණ වැරදි විදියට. අහිංසක දෙමළ මිනිසුන් වෙනුවෙන් හිතනවා වෙනුවට පොදුවේ දෙමළ මිනිසුන්ට එරෙහිව වෛර බැඳගන්න තමයි ඒක හේතු වුණේ. ඒත්, තිලීපන්ගේ මරණය කියන්නේ ඒකට වඩා සම්පූර්ණ වෙනස් සිදුවීමක්.

තිලීපන් මරාගෙන මැරෙන බෝම්බයක් බැඳගෙන ඇවිත්, සාමාන්‍ය සිවිල් වැසියන් පුපුරවාගෙන මැරුණා නෙවෙයි. ඒ වෙනුවට තමන්ගේ ජීවිතය පමණක් කැප කරන්න ඔහු පෙළඹුණේ. සමහරවිට කොටි සංවිධානය වැඩි වැඩියෙන් ඒ ක්‍රමවේදය පාවිච්චි කළා නම් සිංහල ජනතාවගේත් අනුකම්පාව, සහයෝගය ඒ සංවිධානයට ලැබෙන්න තිබුණා.

ඉතින්..

තිලීපන් ගැන කෝ. ආනන්ද හිමියන් ලීව, සාධු ජනරාව ප්‍රසංගයට ජයතිලක බණ්ඩාර ගායනා කළ ගීතයේ පහත ගී පද අපි මතක් කරනවා.

‘අහස බලා ගිනි අව් කූටකේ දරාපන්
පොළොව පලා වැගිරූ ලේ සයුර බලාපන්

ජීවිතයෙන් වන්දි ගෙවූ සොයුර තිලීපන්
උඹයි මමයි එක අම්මගෙ දරුවො තිලීපන්…

අපි සිහලය අපි දෙමළය අපේ මෝඩකම් නොතකන
මතු පරපුර රට එක් කර මිනිස්කමට පේ‍්‍රම කරනු
මොහොතක උඹ ගුණ සිහිකර ඒ කෝවිල ළඟ ඉඳගෙන
මම ඇවිදින් දණ නමනව උඹගේ පිළිරුව ඉඹගෙන’

ඔහු වීරයෙක්ද?

අන්තිමේ ගත්තාම අපට තිලීපන් වීරයෙක් හෝ දුෂ්ඨයෙක් කියලා ලියන්න බැහැ. ඔහු අඳුරු කාලෙක තමන්ගේ දැනුමේ හැටියට දීප්තිමත් දෙයක් කරපු තරුණයෙක්. 1987 ඔක්තෝබර් 4 වැනිදා සන්ඩේ ටයිම්ස් පත්තරයට ලූෂන් රාජකරුණානායක මෙහෙම ලියා තිබුණා.

‘මම තිලීපන්ගේ ව්‍යාපාරයට එකඟ නොවෙමි. උපවාස කරන බව තර්ජනය කරන මේ පැත්තේ බොහෝ අයගේ ඒ හා සමාන ව්‍යාපාරවලටද මම කිසිදාක එකඟ නොවීමි. එහෙත් තමන් ඉදිරිපත් කරන සටන් පාඨ වෙනුවෙන්, අන් අය දිවි පුදනු ඇතැයි බලාපොරොත්තු වන අය මෙන් නොව, යම් කිසි පුද්ගලයෙකු වැරදි අරමුණක් කරා යොමු වුවද, මහා දේශපාලන කැපවීමකින් යුතුව සෙමින් මරු කැඳවන විට ඒ ගැන නොපැහැදී සිටිනු බැරිය.

තිලීපන් නිරාහාරව ගිය ගමනින් අඩක් දුර යෑමට තමන් සූදානම්දැයි ප්‍රසිද්ධ වේදිකාවලට නැගී බෙරිහන් දෙන හා ප්‍රතිඥා දෙන සිංහල දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීමට, සිංහල ජනයා ඉදිරිපත් වන්නේ නම් සිංහල වීරයන්ගේ වේශයෙන් හැසිරෙන දෙමළ වංචාකාරයන් තුරන් කර ලීමට එය උපකාරී වනු ඇත.’