‘ජංගි ආනයන සීමාව’ ගැන නැවත සලකා බලනවාලු! පීබී කියලා

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව පාරිභෝගික භාණ්ඩ 623කට දාපු ආනයන සීමාවන් නැවත සලකා බලනවා කියලා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර කියා තියෙනවා.

මේ රටේ ‘යටඇඳුම්’ තීන්දුව හෝ ‘ජංගි ආනයන සීමාව’ ලෙස ජනප්‍රිය සංස්කෘතියේ ලොකු කතාබහකට ලක් වුණ එම සීමා ඇත්තටම ආනයන සීමා විදියටම සලකන්න බැහැ. මේ තීන්දුවේ තිබුණේ ඒ භාණ්ඩ ආනයනය වෙනුවෙන් ණයවර ගිණුම් විවෘත කිරීම්වලදී බැංකුවලට යම් සීමා පැනවීමක්.

අනෙක හුදු යටඇඳුම් තීන්දුවක් නෙවෙයි ජංගම දූරකථන, ගෘහ විදුලි උපකරණ සහ සමහර ආහාර වර්ග ඇතුළු භාණ්ඩ වර්ග 623ක් ඔය කැපිල්ලට මූණ දුන්නා.

මේ සීමා වැඩි වෙන්නට ප්‍රධාන හේතුව වුණේ ඩොලර් මදි වීම.

හැබැයි අපි කලින් නිතරම කීවා වගේ මේ භාණ්ඩ බොහොමයක් තවත් නිෂ්පාදන කරන උදවියගේ යෙදවුම්. ඒ කියන්නේ ගොඩක් අයට තමන්ගේ වැඩ කටයුතු කරන්න මේ භාණ්ඩ අවශ්‍යයි. ජංගම දූරකථන වගේ උපකරණ පවා පාවිච්චි කරමින් ආදායම් උපයන උදවිය ඉන්නවා. අනෙක් පැත්තෙන් දැන් ඔන්ලයින් අධ්‍යාපන, ඔන්ලයින් රැකියා අවස්ථාවල යෙදෙන උදවියට පවා දූරකථනය අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ඉතින් ඒවායේ මිල ඉහළ යෑමත්, භාණ්ඩ හිඟ වීමත් ඒ අයගේ ඔලුවට පොලු පාරක්.

මේවා ‘සැප භාණ්ඩ’ නෙවෙයි.

ඉකොනොමි නෙක්ස්ට් එක්ක කතා කරමින් ජනාධිපති ලේකම්වරයා කියා තිබුණේ ඒ වගේ සීමා කිරීම් පශ්චාත් කොවිඩ්-19 ආර්ථික ප්‍රතිසාධන සැලැස්මට නොගැලපෙන බව.

‘තොරතුරු තාක්ෂණය යනු අපනයන වේගයෙන් ඉහළ ගොස් ඇති අංශයක් වන අතර එම ක්ෂේත්‍රය මේ වසරේදී ඩොලර් බිලියන එකයි දශම හතක අපනයන ඉලක්කයක් හඹා යයි. දැන් මහ බැංකුව තොරතුරු තාක්ෂණ නිෂ්පාදන සඳහා සියයට සියයක ණය ආන්තිකයන් පනවා ඇති අතර එය හිතකර නොවේ.’ යනුවෙන් ජනාධිපති ලේම්වරයා කියලා.

පශ්චාත් කොවිඩ් ප්‍රතිසාධන සැලැස්ම සියලු පාර්ශ්ව එක්ක සාමූහිකව කෙරෙන නිසා අපනයන ආදායම් අඛණ්ඩව තියාගන්න මේ කරුණු නැවත සලකා බලනවාලු.